දිනය කවදාදැයි හරියට මතකවත් නැති දවසක මා ඇගෙන් ප්රේමය ඉල්ලුවෙමි.
ඒ වන විට මා ප්රේමය යනු කුමක්දැයි කියාවත් හරියට දැන සිටියේ නැත.විභාගය අවසන් කොට ජොබ් එකක් සොයා ගන්නවා වෙනුවට මහපාරේ අයිනක තිබූ බෝක්කුව මත හිද දවස ගෙවීම එකල මාගේ විනෝදාංශයයි.මවත් පියත් රජයේ රැකියාවල නියුතු පවුලක එකම දරුවා වූ මා හට ජොබ් එකක් කිරීමේ අවශ්යතාවයක් කිසිවිටෙකත් නොතිබුණි.
“රස්තියාදුකාරයෙක්ට මම කැමති නෑ”
රස්තියාදුව.හරිම වචනය එය වන්නට ඇත.සැබැවින්ම මා එකල හුදෙක් රස්තියාදුකාරයෙක් පමණක්ම විය.එයටම හරියන මිතුරන් කිහිප දෙනෙක්ද මා සහයට සිටි අයුරු මතකය.
ඇය සුන්දරය.මාගේ මිතුරන් කී ලෙසට නම් ඇයට වඩා සුන්දර ළඳුන් ඕනෑ තරම් සිටී.නමුදු මා දුටු සොදුරුතම දෑස තිබුණේ ඇය සතුවය.ඒ දෑස් තුළ තිබුණේ අහිංසකකමකි.මා එයට වසඟ විය.එතැන් පටන් මාගේ මිතුරන් සුන්දර දෑස් ඇති ළඳුන් දුටු දුටු සැනින් මට පෙන්වුවද මා සිත තුළ රැකුණු එකම සුන්දර දෑස් ඇයගේම පමණක් විය.ඒ හැඟීම ප්රේමය වන්නට ඇතැයි මා විශ්වාස කළෙමි.
මගේ වයසට වඩා ඇය අවුරුදු දෙකක් බාලය.යමක්කමක් තියෙන දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දැරිය ඇයයි.වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම මා ඇයගෙන් ප්රේමය ඉල්ලුවෙමි.සෑම විටෙකම රස්තියාදුකාරයා යනුවෙන් පවසා මා මඟහැරියා විනා ඇය වෙනත් කිසිවක් නොපැවසුවාය.නමුදු ඒ දෑස් තුළින් මා තේරුම් ගත නොහැකි පන්නරයක් ලැබුවෙමි.ඒ නිසාම මා ඇය අතේ දුරින් තබාගෙන රැකගත්තෙමි.ඒ පරිස්සම් කිරීම ප්රේමය වන්නට ඇත.
මා ටිකෙන් ටික රස්තියාදුවේ යෑම අත්හැරියෙමි.නිවසට වී කල් ගත කල මා ඇය බැලීම සදහාවත් බෝක්කුව මත රැදී නොසිටියෙමි.මා බීමට හුරු වූයේ පාසල් කාලයේදීමය.ගෙදරට හොරෙන් සතියට තුන්වතාවක්වත් මත්පැන් පානය කිරීම සදහා අප රැස් වූයේ මිතුරෙකුගේ නිවසටය.ගෙදරටද රහසක් වූ මගේ බීමත්කම පිළිබඳව ඇය දැනගෙන තිබුණේ මගේ මිතුරෙකුගේ මාර්ගයෙනි.
“බේබද්දෙක් බැඳගෙන අඩු වයසින් කනවැන්දුම් වෙන්න මම කැමති නෑ”
“බොන්නැති පිරිමි නෑ දැන්”
“ඒත් ඔයාට වඩා අඩුවෙන් බොන පිරිමි ඇතිනෙ”
ඇය දිගින් දිගටම මා ප්රතික්ෂේප කළාය.මා බීමත්කම අඩු කර ගත්තෙමි.ප්රතික්ෂේප කිරීම් හමුවේ ජීවිතය කඩා ගන්නා උන්අතර මා ජීවිතය හදා ගැනීමට උත්සහ කළෙමි.රස්තියාදුවෙන් ඈත් වී බීමත්කමින් ඈත් වී මා නැවත ඇයගෙන් ප්රේමය ඉල්ලුවෙමි.
“අම්මවයි තාත්තවයි බලාගන්න ඕන කාලේ ඒ අයගේ පඩියෙන් කකා ඔහේ ඉන්න කොල්ලෙක් බැදලා අනාගතයක් ගැන හිතන්නෙ කොහොමද”
ඇය දන්නා එකම දේ ප්රතික්ෂේප කිරීමම පමණි.අද වන තුරුත් එකම එක ප්රේමණීය වදනක්වත් ප්රකාශ නොකළ ඇය වෙනුවෙන් මා බොහෝ සේ වෙනස් විය.අවසානයේ මා රට ගියේ ඇය කී ලෙසටම තවදුරටත් අම්මටයි තාත්තටයි වදයක් වීමට නොහැකි බැවිනි.
අවුරුදු තුනකට පසු ලංකාවට පැමිණි මා මගේම ව්යාපාරයක් ආරම්භ කිරීමට ප්රමාණවත් තරම් මුදල් සොයා ගත්තෙමි.නිවසට ආ විගස මා නැවත ඈ සොයා ගියමුත් ඒ මා ඇය බැලීමට ගිය අන්තිම දවස විය.
“මං ගිය සුමානේ බැන්දා.තාත්තගේ යාලුවෙක්ගේ පුතෙක්”
“මං ගැන ආදරයක් ඇති උනේම නැද්ද”
“ඔයා අද ඉන්න තැන ගැන මට සතුටුයි”
“අදවත් කියන්න පළවෙනි සහ අන්තිම වතාවට මගෙ ආදරේ පොඩ්ඩක්වත් දැනුණෙ නැද්ද”
“දැනුණා.ඒ තරමටම මමත් ආදරේ කළා.ආපහු එයි කියලා දැනන් හිටියා.ඒත් මට තාත්තගේ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න සිද්ධ උනා”
සියල්ල කඩ උනු දෑසින් මා ඇය දෙස මොහොතක් බලා සිටියෙමි.ඒ දෑස් තුළ තිබු හැඟීම වටහා ගත නොහැකි වුවද එහි කුමක් හෝ ආලෝකයක් ඇති බව වටහා ගැනීමට අපහසු නොවුණි.ඇතැම් විට ඇයගේ ප්රේමය අපේක්ෂාවෙන් මා ලැබූ දියුණුව ඇයගේ සතුටට හේතු වන්නට ඇත.
“මොනවා තිබ්බත් වැඩක්ද.ඔයා නිසයි හැමදේම කළේ.දැන් ඔයා නෑ.මං යන්නම්”
“පරිස්සමින්.හදාගත්ත ජීවිතේ නැති කරගන්න එපා.ජීවිතේ තනියම විදවන්නත් එපා”
ඇය මගෙන් අන්තිමට ඉල්ලා සිටියේ එපමණය.ඉදින් ඈ මගේ ප්රේමයයි. කිසිදාක විද නැති ප්රේමයයි.කිසිදාක දෑත් පටලානොගත් ප්රේමයයි.කිසිමදාක කෙතෙරම් ප්රේම කරනවා දැයි නොකියූ, නොඇසූ ප්රේමයයි.මගේ ජීවිතේ සාර්ථකත්වයට අඩිතාලම දැමූ ප්රේමයයි.කවදාවත් හිමිකම් කීමට නොහැකි වුවද ඇයගේ අවසාන ඉල්ලීමද අහක දැමීමට නොහැකි තරම් මා ඇයට ප්රේම කළෙමි.
එයින් දෙවසරකට පසු මා විවහා විය.
මෙතෙක් කල් ලබා දුන් ප්රේමය වෙනුවට මා මාගේ බිරිදගෙන් ප්රේමය ලැබුවෙමි.එහි සුන්දරත්වය වින්දෙමි.පෙර දා මා පෙම් කරන ලද ඇය මට මාවත පෙන්වා පසෙක සිට ගත් අතර අද මාගේ බිරිද මා සමග මාවත දිගේ ඇවිදමින් සිටී.මගේ අතීත මතකයන් මා සමඟ බෙදා ගනිමින් සිටී.
“ඔයාගේ ජීවිතේ දුෂ්කරම කාලේ ළඟ ඉන්න මට බැරි උනා.කවදා හරි ඇය මුණ ගැහුනොත් කියන්න මම නැති කාලේ ඔයාව මේ තැනට ගෙනාවට මම ඇයට ස්තූති කලා කියලා”
මගේ බිරිද ඇය ගැන සිහි කරන්නෙ ඉතා කැමැත්තෙනි.අතීත මතකයන් බෙදා ගැනීමට තරම්වත් ඉවසීමක් නොමැති ගැහැණුන් අතර මට මගේ බිරිද සම්පතකි.
සැබවින්ම ප්රේමය, නම් මේ තේරුම් ගැනීමම ය.
නිමි.
උපුටා ගැනීම: Hirusha Wijerathna