වර්ථමානයේදී සිද්ධ වෙන බොහෝ දේවල් ගොඩාක් වෙලාවට ඒ විදිහටම අතීතයෙදීත් සිද්ධ වෙලා තියෙනවා. එකම වෙනස අතීත කතාවට සහ වර්ථමාන කතාවට මුහුණ දෙන අය වෙනස් වෙන එක. මේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණයක්.
ඊයේ තිබුණු යූරෝ 2021 අවසන් තරගයේදී එංගලන්තය පැනල්ටි ෂූට් අවුට් එකෙන් 3-2 ක් විදියට ඉතාලියට පරාද වෙනවා. එංගලන්තය වෙනුවෙන් දඬුවම් පහර එල්ල කරන ක්රීඩකයෝ තුන් දෙනෙක් පැනල්ටි මිස් කරනවා. ඒ තුන් දෙනාම කළු ජාතිකයෝ වීම විශේෂයක්. මේ ක්රීඩකයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි බුකායෝ සාකා. සාකා කියන්නේ අවුරුදු 19 ක පොඩි කොල්ලෙක්. සමස්ථ රටක බලාපොරොත්තු විනාශ කරලා දාපු එක මේ පොඩි කොල්ලට දරා ගන්න අමාරුයි. ඌ ග්රවුන්ඩ් එක මැදම හඬා වැළපෙනවා. ඒ වෙලාවේ ඒ පොඩි එකාගේ හිත හදන්න ඉදිරිපත් වෙන්නේ එංගලන්ත පුහුණුකරු ගැරත් සවුත්ගේට්.
1996 අවුරුද්දේ තිබ්බ යූරෝ තරගාවලියේදීත් මේ වගේම දෙයක් වෙනවා. එතකොට සවුත්ගේට් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. තරගාවලියේ අවසන් පූර්ව වටයට තරග වැදුණේ එංගලන්තය සහ ජර්මනිය. මේ තරගයේ විසඳුමත් තීරණය වෙන්නේ පැනල්ටිවලින්. එදා අවුරුදු 25 කට කලින් සවුත්ගේට් එයාගේ පැනල්ටිය මිස් කරනවා. එංගලන්තය තරගාවලියෙන් එළියට වීසි වෙනවා.
ඊයේ බුකායෝ සාකා කරපු විදිහටම එදත් සවුත්ගේඩ් ග්රවුන්ඩ් එක මැද හඬා වැටෙනවා. එදත් ඔහුගේ හිත හදන්න ඉදිරිපත් වෙන්නේ එවකට එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු වෙලා හිටපු ටෙරී වෙනබල්ස්. එදත් තරගය තිබ්බේ වෙම්බ්ලිවල.
ඔවු… වර්තමානය විදිහට අපි දකින්නේ අතීතයේ සිද්ධ වෙච්චි දේවල්…