කොමස් ක්ලාස් එකේ ඉදන් උගත් සිංහල පාඩම් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
A/L කරද්දී මා කොමස් වලට පයින් ගසා සයන්ස් තෝරාගෙන, අවසානයේ සියලු සයන්ස් කාරයෝ නැසෙන සුළුය යන සදාතනික සත්ය අවබෝධ කර ගත්තේ, ඇත්තෙන්ම අපේ පාසලේ O/L කොමස් ටීචර්ට පිංසිදු වෙන්නටය. ඒ අනිත්ය වටහා ගනිද්දී, නොපමාව කොමස් කරන්නටත් ටූ ලේට්ය.. ලේට් නොවුනත් ඒ වෙද්දීත් මට කොමස්, බග්ස් බනීට කැරට් වාගේ ඇලෙජික්ය..(දැන් බග්ස් බනී කවුදැයි සොයා දිවි නහගන්ට වුවමනා නැත..”හා..හා..හරි හාවා..කැලේ මැදින් ආවා..”කියන්නේත් ඌටමය.) O/L ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණත් කොමස් වලදී නම් මගේ ශේෂ පත්ර, අති විශිෂ්ඨ ලෙස කිසිදා බැලන්ස් වූයේ නැත. එසේ නොවූයේ කෙසේද යන්න අදටත් “නොවිසඳුන ඝණයේ අභිරහසක් ලෙස” කේස් එක ෆයිල් එකේම පුස් කන්නේ මගේ නරක වෙලාවට ශර්ලොක් හෝම්ස් තියා ඩොක්ට වොට්සන්වත් ජීවත්ව නොසිටි නිසාය. සියයට අනූ පහකට පමණ බැලන්ස් වෙන ගාණ ( ඉතුරු 5%න් ගාණ නොහැදූ 4% අඩු කළ විට ඉතුරු වන්නේ අන්බැලන්ස් මාය.) මට විතරක් බැලන්ස් නොවෙන්නේ එක්කෝ දේව සාපයකින් විය යුතුය.
අපේ දහම් පාසලේ බුද්ධ චරිතය හා ගාථා,නිබ්බුත පද උගන්න උගන්නා හිටි ටීචර්/අක්කා කෙනෙක් අපේ ඉස්කෝලේ කරක් ගහන්නේ පාර වැරදිලාද, වැරදි බස් එකේ නැගලාද කියා විපරං කරද්දී, එයැයි ඇවිත් තිබ්බේ අපට කොමස් තිත්ත කරවන්නට බව මා දැන සිටියේ නැත. දැන ගත්තාය කියාත් අමුතුවෙන් කරන්න දෙයක් අපට ඉතුරු වී නොතිබුණේ එයැයිට ගුරු පත්වීම දුන්නේ අපෙන් අහලා නොවෙන නිසාය. එයැයි ගැන මගේ හිතේ පර්චස් කාලකවත් මනාපයක් නැතත් කොමස් ගැන මනාප හිතක් ඇති කරගන්නෙමී යි හිත දිරිමත් කරගෙන රෙඩි වී දකුණු පය පෙරට තියද්දීම,”මං අහන්නෙ නම් නෑ රත්තරනේ හිත හදා ගත්තෙ කොහොමද කියලා..” අහන්නවත් කොමස් ටීචර් හිටියේ නැත. මා හිත හදන් දතකට මැදන් ලක ලැහැස්ති වෙද්දී ටීචර්ට බබෙක් හම්බුවෙන්න ඇවිල්ලාය…අන්න එතකොට “පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා…”කියා මාගේ කොමස් ප්රේමයටද බබා හම්බු උනේය. ඉඳහිට ඇවිත් උඩින් පල්ලෙන් උගන්නා ගිය එයැයිටත් නොතේරුණු, අපිටත් නොතේරුණු අන්ඩර දෙමළ ටික නිසා හර බැර තියා අපි දන්නා එකතු කිරීම අඩු කිරීමත් පැටලී මොළේ කොලොප්පන් වී අන්ත අසරණ තත්වයට පත් වූ බව කිව යුතුය.
අපිට කොමස් උගන්නන ටීචර්ට බබ්බු හම්බුනාය කියා කොමස් පේපර් එක අපිට විතරක් ලියන්න නොදී ඉන්නේ නැත.. එතෙක් ඉගෙනගත් ටිකත්, අරයැයිගේ අණ්ඩර දෙමළත් එක්ක රීමික්ස් වී ආගිය අතක් හොයාගන්ට නැති වූයේ, මගේ ඔලුව ඇතුලේ බර්මියුඩා ත්රිකෝණයක් තියෙන නිසාදැයි හරියටම සුවර් නැත….කොහොම නමුත් යන්තං සංතංපදං හෝ කොමස් ගොඩ දා ගත යුතු නිසා ටියුශන් සරණං ගච්චාමී කියා කොමස් ටියුශන් පංතියකට යන්නට තීරණය කළේ ඉවසා බැරි තැනය.
මා ගිය O/L ටියුශන් ක්ලාස් එක පැවැත්වුනේ පිලියන්දල පංසලේය. ධර්ම ශාලාවේ කොන් හතරේ පංති හතරක් එකවර පැවැත්විය හැකිය. අනිත්වා ඒ අසලම ඇති දිග හෝල් එකේය. කොමස් සර් තරුණය…එහෙමට කියා කියන්න වරදක් තිබ්බේ නැතිය. ඉගැන්නිල්ලත් නරකම නැත. ප්රස්නය තිබ්බේ සර්ගේ වොයිස් එකේය.. වොයිස් එකේ කොලිටි චෙක් කරන්නට මේක මේ සිඟින් කම්පෙටිශන් එකක් නොවන බව සැබෑය. ඒ නමුත් ඝාණ්ඨාර පරයන වොයිස් එකක් තිබූ සිංහල සර්ගේ හැඩි දැඩි බර වොයිස් එකෙන්, බයිසිකල් බෙල් එකක් වන් අපේ කොමස් සර්ගේ ළපටි සුකොමළ වොයිස් එක සෝචනීය ලෙස යටපත් වී යන්නේය. ධර්ම ශාලාවේ අර මුල්ලේ ඈත පේන පුරුෂ ලක්සනයෙන් හෙබි සිංහල සර්ය…මේ මුල්ලේ මෑත ඉදන් සිනා පානා කොමස් සර්ය…
අපට කොමස් පාඩම ඇසුනේ මේ වාගේය :
කොමස් සර්: “මිස්ටර් පෙරේරාට තිබුණා ළමයි..”
සිංහල සර්: “චූඩා මාණික්යක්..මේ චූඩා මාණික්ය..”
කොමස් සර් : “කුඩා ව්යාපාරයකට යෙදෙව්වා..”
————————–
කොමස් සර් : “සිරිපාල රු. 3500/= ක පිරිවැයක් දරලා ගේනවා ළමයි…”
සිංහල සර් : “සුන්දර දමයන්තියව… මේ සුන්දර දමයන්තිය දුටු මතින්….”
කොමස් සර් : “එතකොට ඒක වත්කමක්ද ළමයි..?”
—————————
කොමස් සර් : “මිස්ටර් සිල්වාගේ ව්යාපාරය පාඩු ලබන්න ගන්නවා.. එතකොට මිස්ටර් සිල්වා…”
සිංහල සර් : “මේ උභතෝකෝටිකය විසඳන්න මහෞෂධ පඬිතුමා කැඳවන්න නියම කරනවා…”
කොමස් සර් : “එතකොට එහෙම කරාම හරියනවද ළමයි?”
—————————–
ඕන්න ඔහොමය…අපි කොමස් වලට ෆීස් ගෙවා රැප් හා රීමික්ස් කළ කොමස් පමණක් නොව සිංහල සාහිත්යත් ලාවට සයිඩ් එකෙන් ඉගෙන ගත්තෙමු. එහෙම ඉගෙන ගනිද්දී “නල කුමරුගේ රෙදිපිළි ව්යාපාරය..ආදී ලෙස වචනයක් දෙකක් එහා මෙහා වුවත් කොමස් මිස්ගේ අන්ඩර දෙමළ වලට වඩා ඒක දාහෙන් සම්පතක් බව නොකියා බැරිය.කොමස් සර් නිතරම කීවේ “හඳට ගල් ගහනවා කියා අධිෂ්ඨාන කරන් ගල් ගැහුවොත් පොල් ගහක කරටියකටවත් ඒක අනිවා වැදෙන බවයි. පොල් ගහකට ගහනවාය කියා හිතන් ගැහුවොත් නම් ඉතිං බිම තියෙන මල් පඳුරකට වගෙ තමයි”…කියාය. විශිෂ්ඨ සාමාර්ථයක් ගන්නවා කියා හිතන් පාඩම් කළොත් අඩුම ගානේ සම්මාන සාමාර්ථයක්වත් සුවර්ය කී නිසා ෆුල් ඩම් එක දමා පාඩම් කර යාන්තම් කොමස් වලට සම්මාන සාමාර්ථයක් ලබා ගතිමි.
අපේ කොමස් සර් සුපුරුදු ළපටි කෝමල වොයිස් එකෙන් උගන්වමිනි. අපි සිංහල පන්තිය පැත්තට රබර් කන හරවා ටියුන් කරන්, කොමස් සර් ඉස්සරහා වාඩිගෙනය. සිංහල සාහිත්ය පාඩම කතාවෙන් කතාවෙන් හැරුනේ ප්රේමය දෙසටය.
සිංහල සර් : “කෝ බලන්න මගෙ පුතාල.. ප්රේම කරල තියෙන එවුන් අත් උස්සපල්ල බලන්න..”
(පන්තියේ උන්ගේ උකුළු මුකුළු සිනා හඬ ඇසේ)
“උඹල සේරම බබාල..මුකුත් දන්නෑ..”
“ඉතිං සර් දන්න දේ කියල දෙන්නකෝ” ඈතින් ඇසුනේ කට හැකර කොල්ලෙකුගේ කෑ ගැසීමකි..
සිංහල සර්: “කියල දෙන්න නේද…. කෙල්ලො කැමති කොයි වගෙ කොල්ලන්ටද උඹල දන්නවද මයෙ පුතේ..?” (පන්තියේ කසු කුසුව,හිකි හිකිය හා ඝෝශාවය.)
“මේ සීනිබෝල වගෙ කොල්ලන්ට නෙමෙයි කෙල්ලො කැමති… ඒකනෙ මනමෙ කුමාරිත් සුකොමළ කඩවසම් මනමේ කුමාරය අතෑරල හැඩි දැඩි වැද්දට කඩුව දුන්නෙ…”
(පන්තියේ අහස්කූරු හා සිනා…)
“අන්න ඒක තමයි කොල්ලනේ….කෙල්ලො මල් වගේ හිටියට උන් කැමති රළු හැඩිදැඩි යකඩ වගෙ කොල්ලන්ට..කෙල්ලෙක්ගෙ අතින් ඇල්ලුවත්, අල්ලන එක මේ වෙව්ල වෙව්ල මල් කඩනව වගෙ ලාමක විදියට අල්ලන්න නරකයි..ටිකක් සැරට අල්ලන්න ඕන… එතකොට තමයි කෙල්ල උනත් හිතන්නෙ අත මෙහෙම නං………..කියලා”😂😂😂🙈
සිංහල පන්තියේ සිනාව පුපුරා හැලුනේය.. හර බැර බැලන්ස් කරමින් සිටි අපේ පන්තියත් සිනාවෙන් බ්ලාස්ට් වී ගියේය… සියල්ලෝ කොමස් පන්තියේ වාඩි වී තිබුණේ කන සිංහල පන්තියේ තියලාය. අසරණ කොමස් සර් අන්ද මන්ද වී බලා සිටියේය. සිංහල සර් ඒ වෙද්දීත් එයැයිගෙන්ම ශිල්පය උගත් ගෝල ශිෂ්යාවක හා විවාහ වී සිටියේ අල්ලන එක, නිලය බලා සැරටම ඇල්ලූ නිසා විය යුතුය….
“ප්රේමයේ නගරයයි සිත මගේ…මාවතක් හෝ නොවූ රාගයේ…”
උපුටා ගැනීම:  -ඉරේෂා ගමගේ-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!