රුවන්වැලි මහා සෑය නැත්නම් ස්වර්ණමාලී සෑ රදුන් ලංකාවාසී සෑම දෙනාම හොඳින්ම දන්නවා.ඒ වගේම
නිරන්තරයෙන් බැතිමතුන්ගේ වන්දනාවට ගෞරවයට පාත්‍ර වෙන උතුම් දගැබ් වහන්සේ කෙනෙක් තමයි රුවන්වැලි මහා සෑය. පූජනීය අනුරාධපුර නගරයට එන බැතිමතුන් රුවන්වැලි සෑ රදුන් වන්දනා කරන්නේ නැතුව නම් ආයේ යන්නේ නෑ. මොකද ලක්වාසී සියලු දෙනාම උතුම් මහා සෑයේ ඇති අනුහස් ගැන දන්න නිසා.
මේ රුවන්වැලි මහා සෑය කරවලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා කියල ඕනම කෙනෙක් දන්නවනේ.ඒ දේවානම්පියතිස්ස රජතුමා එක්ක අටමස්ථාන නම් කරපු අවස්ථාවේ මිහිඳු මහ රහතන් වහන්සේ හත්වෙනි තැන විදියට මේ රුවන්වැලි සෑ භූමිය පෙන්වා තියෙනවා. ඒ වගේම මිහිඳු මහ රහතන් වහන්සේ සපුමලින් මේ භූමිය පිදූ අවස්ථාවේ මහ පොළව කම්පාවෙලා තියෙනවා. ඒකට හේතු විමසපු දේවානම්පියතිස්ස රජුට අනාගතයේ දී මහ රජුගේ මුනුපුරෙක් මේ ස්ථානයේ මහ ථූපයක් කරවන බව පවසා තියෙනවා. ඉතින් ඒ පුවත සඳහන් කරපු ගල් ටැඹ දැකපු දුටුගැමුණු රජතුමා මේ රුවන්මැලි මහ සෑය ඉදිකිරීමට කටයුතු කළා. ඒත් එතුමාට මේ මහා ථූපයේ වැඩ අවසන් කිරීමට නොහැකි වූ නිසා එහි ඉතුරු වැඩ කොටස නිම කළේ දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු විසින් .
දේව් බඹුන්ගේ වගේම උතුම් රහතන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්, අනුශාසකත්වයෙන් ඉතා අලංකාරවත්ව මහා සෑයේ වැඩ නිමවුණා. මේ සෑයේ ධාතු ගර්භය ඉතා විශේෂ ලෙස නිම කර තිබුණා. ඒ නිසා මේ දාගැබේ ඇති අනුහස් වගේම ප්රාතිහාර්යන් නම් අසීමිතයි. වංශ කතාවල කියන විදියට මේ ධාතු ගර්භය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙන් පසුව උතුරුකුරු දිවයිනෙන් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයෙන් ධාතු ගර්භය වසා දැමූ බව කියවෙනවා. නමුත් භාතිකාභය රජතුමා මේ රුවන්වැලි මහ සෑයේ ධාතු ගර්භය තුළට ගිය පුවතක් ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ භාතිකාභය රජු කුටිකණ්ණ තිස්ස රජුගේ දෙටු පුතු වුණා. ඔහු බුද්ධ වර්ෂ 522 දී රජ බවට පත් වුණා.මෙතුමා ලංකා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගන්නවා.ඒ අතුරින් රුවන්වැලි සෑයට මල් හා ජලයෙන් පූජා කිරීම, පේසාවන් ශෛලමය පේසාවන් ලෙස සැකසීම ඒ අතරින් විශේෂයි.
රුවන්වැලි සෑය වන්දනාවට යද්දී සලපතල මළුවේ බුදු මැදුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහ සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවෙනවා. ඒ තමයි රුවන්වැලි මහා සෑයට මහත් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන ,පුද පූජා කරපු භාතිකාභය රජතුමා.
ඉතින් මෙතුමා රුවන්වැලි සෑයට මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කරපු කෙනෙක්. අර දුටුගැමුණු රජතුමා සංඝයාට පිළිනොගන්වා කිසිම ආහාරයක් ගත්තේ නෑ වගේම මේ භාතිකාභය රජතුමාත් මහ සෑය වන්දනා කරන්නේ නැතුව උදෑසන ආහාරයවත් ගත්තේ නෑලු. ඉතින් උදෑසන රුවන්වැලි මහා සෑය වන්දනා කරලා ඇවිත් තමයි උදෑසන ආහාරය ගන්නේ. හවසටත් රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමෙන් පස්සේ තමයි ආහාර ගත්තේ.
ඒත් දවසක් රජතුමාට යෙදිලා තිබුණු රාජකාරි කටයුත්ත අවසන් වෙද්දි හොඳටම හවස් වෙලා තිබුණා. ඉතින් ඒ කටයුත්තෙන් පස්සේ මාලිගාවට ආපු රජතුමා කෑම ගන්න සූදානම් වෙලා බත් පිඩ කට ළඟට ගන්නකොට ම රජතුමාට මතක් වුණා අද හවස මහ සෑය වන්දනා නොකළ බව.
ඉතින් ළඟ හිටපු රාජ පුරුෂයාගෙන් රජතුමා ඇහුවා “අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ නෑ නේද” කියලා.ඉතින් රාජපුරුෂයා එය අනුමත කරමින් “ඔව් රජතුමනි, අද මහා දාගැබ් වහන්සේ වන්දනා කළේ නෑ” කිව්වා. ඉතින් මෙතුමා තුළ රුවන්වැලි මහා සෑය කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව කොතෙක් ද යත් කන්න ගත්තු බත් පිඩ රන් තලියට දාලා වහාම මහ සෑය වන්දනා කරන්න යන්න පිටත් වුණා.

එදා ඉතින් හොඳටම රෑ බෝවෙලා නේ.ඉතින් නැගෙනහිර දොරටුවෙන් චෛත්‍ය මළුවට ඇතුළු වුණු රජතුමා මහත් ශ්‍රද්ධාවෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. ඒත් ඔන්න එදා රජතුමාට මහා පුදුම දෙයක් අහන්න ලැබුණා.
ඉතින් රජතුමාට ඇහුණේ ඉතාම මිහිරි හඬකින් පිරිත් සජ්ක්ධායනා කිරීමක්.පිරිත් හඬ ඇහෙන්නේ කොහෙන්ද කියලා බලන්න රජතුමා මළුව වටේම ගියා. ඒත් කිසිවෙක් පේන්න නෑ. ඔන්න එතකොට තවත් හොඳින් අවධානය යොමු කළාම රජතුමාට වැටහුණා ඒ හඬ ඇහෙන්නේ ධාතු ගර්භයෙන් බව.
ඉන්පස්සේ රජතුමා නැගෙනහිර වාසල් දොරටුව අසල නැවතිලා දාගැබට වන්දනා කරගෙන ම අධිෂ්ඨානයක් කළා.ඒ තමයි චෛත්‍යයේ ධාතු ගර්භයේ පිරිත් සජ්ක්ධායනා කරන්නේ කවුරුන්ද කියලා දැන ගන්නකම් මෙතැනින් මා නැගිටින්නේ නැහැ කියලා. උදේ හවස දිනපතාම මහත් භක්තියෙන් රුවන්වැලි මහා සෑයට වන්දනා කරන මේ රජතුමා කෙරෙහි සක් දෙවිඳුගේ හිත උණුවුණා. ඉතින් ඊට පස්සේ මේ සක් දෙවියෝ රජතුමා ගැන අනුකම්පාවෙන් ධාතු ගර්භයේ පිරිත් සජ්ක්ධායනා කරන ඍද්ධි බල ඇති මහ රහතන් වහන්සේලාට මේ බව දැනුම් දුන්නා.
ඉතින් සක් දෙවියන්ගේ දැනුම්දීමෙන් පස්සේ ධාතු ගර්භයේ පිරිත් සජ්ක්ධායනා කරමින් සිටි එක් මහ රහතන් වහන්සේ නමක් භාතිකාභය රජුට ධාතු ගර්භය වන්දනා කරවීමට කැඳවාගෙන එන්නට පිටත් වුණා. ඉතින් ඍධියෙන් රජුව ධාතු ගර්භයට කැඳවාගෙන ගොස් ඔහුට හිතේ හැටියට ධාතු ගර්භය වන්දනා කරන්නට ඉඩ සලසා නැවත සලපතල මළුවටම ගෙනවිත් ඇරලුවා.
ලංකාවේ මලියදේව මහ රහතන් වහන්සේ අර බෙහෙත් කැඳ හදමින් හිටපු සුළුගුළු උපාසකයාවත් කැඳ පිසෙනකන් උන්වහන්සේගේ ඍද්ධි බලයෙන් තව්තිසාවට එක්කගෙන ගිහින් සිළුමිණ සෑය වැන්දෙව්වා වගේ මේ රහතන් වහන්සේලා භාතිකාභය රජුටත් රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය වන්දනාවට අවස්ථාව සලසා දුන්නා.
මේ රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ බෝධීන් වහන්සේ නමත් , ජීවමාන ලෙසින් දිස්වන බුදුන් වහන්සේගේ ප්රතිමාවත්, බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් ආදී සියල්ලම විවිධ මැණික් පබළුවලින් ජීවමාන අයුරින්ම නිර්මාණය කර තියෙනවා.
ඉතින් මේ ධාතු ගර්භය දැකපු රජතුමාට එහි සත් රුවනින් නිම කර තිබුණු බුදුන් වහන්සේ හා බැඳුණු සිදුවීම් තමන්ගේ නගර වැසියන්ට පෙන්වන්නට ඇති වූ කැමැත්ත නිසා රජතුමා දක්ෂ රන්කරුවන් ලවා තමන් දැකපු ඒ අසිරිමත් දසුන් සකස් කරවා රාජ මාළිගාවේ සැකසූ මණ්ඩපයක ධාතු ගර්භයේ ආකෘතියක් සකස් කළා. ඉතින් රජතුමා සෑම වසරක්ම පාසා තමන් දැකපු ධාතු ගර්භයේ සැලැස්ම ප්‍රදර්ශනය කළා. ඉතින් ඒ පින්බර දසුන් දැකපු බොහෝ දරුවන් පැවදි වුණු බවත් වංශ කතාවල සඳහන්.
ඒ වගේම ඉතිහාසයේ පළමු වරට රුවන්වැලි සෑය මල්වලින් පුරවා මල් ඔටුන්නක් ලෙසින් සරසලා තිසා වැවෙන් ජලය ගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල දක්වා වතුර මලක ආකාරයෙන් ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පැවැත් වූ නරපතියෙක් මේ භාතිකාභය රජතුමා. විවිධ හාස්කම් ඇති මේ රුවන්වැලි මහ සෑයේ වටිනාකම හොඳින් අවබෝධ කරගෙන සිටි මෙතුමා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පූජාව සතියක් පුරාවටම සිදු කරනු ලැබුවා. 120 රියනක් උසින් වූ මේ සෑය මල්වලින් පුරවන්නට රටේ බොහෝ පළාත්වල ඉද්ද ,සමන් ආදී මල් වර්ග වගා කෙරෙව්ව බව කියවෙනවා. ඒ වගේම මෙතරම් උසට ජලය වතුර මලක් ලෙස ක්‍රියාත්මක කරවන්නට යන්ත්‍රයකුත් නිර්මාණය කළා.

ඒ වගේම රෝම රටට දූතයන් යවමින් පබළු ගෙන්වා ගෙන, ඒවායින් දැලක් නිර්මාණය කර, රුවන්වැලි සෑය සුණු පිරියම් කළා. ඉන්පසු පබළු දැලකින් සරසවා මහා සෑය වෙනුවෙන් කරන ලද මාහාර්ඝ පූජාවන් ඉතිහාසගත වෙලා තියෙනවා.ඉතින් රුවන්වැලි මහා සෑය එක්ක ලොකු බැඳීමක් භාතිකාභය රජුට තිබුණා. ඔහු තම මුත්තණුවන් විදියටයි මහාසෑය සැලකුවේ. එතුමාගේ මේ බැඳීම නිසාම වෙන්න ඇති සලපතල මළුවේ භාතිකාභය රජුගේ ප්‍රතිමාවක් නෙලලා තියෙන්නෙත්. බොහෝ පින් දහම් රැස් කරපු මේ භාතිකාභය රජතුමා අනාගත මෛත්‍රී බුදුන් වහන්සේගේ වමත් අග්‍ර ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කළ බවත් ඉතිහාසයේ කියවෙනවා
උපුටා ගැනීම: The Lanka Post