අසම්පූර්ණ කතාවක් – කෙටි කථාව (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” එයාගෙ හීනෙ, දැන් මොනා කරනවද, කොහෙ ඉන්නවා ඇද්ද”
සුදු සාරියකින් සැරසුණු සුදු උස නීතිඥවරියක් උසාවි සංකීර්ණය වෙත යන අයුරු අහම්බෙන් දුටු මතීශ සිතන්නට විය. ඔහුගේ සිතුවිලි බිඳ දමමින් ජංගම දුරකථනය නාද වන්නට ගත්තේය.
” අම්මා “
” කොහෙද දරුවො ඉන්නේ “
” මං මේ එන ගමන් අම්මා, ට්රැෆික් එකට අහුවෙලා ඉන්නේ “
” හ්ම්ම් පරිස්සමෙන් එන්න. “
වයස අවුරුදු තිහක් වන මතීශ ජයසූරිය වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. උසස් අධ්යාපනය සඳහා ශිෂ්යත්වයක් ලබා ගත් ඔහු මීට අවුරුදු කිහිපයකට පෙර විදෙස් ගත වීය. නැවත ලංකාවට පැමිණියේ මීට සතියකට පමණ පෙරයි.
උදේම තම පැරණි මිතුරන් හමුවීමට ගොස් සිටි මතීශ නැවත නිවසට පැමිණෙන විට දිවා ආහාර වේලාවත් පහු වී තිබුණි.
තමාගේ සියුම් වෙනසක් වුවත් සැණෙකින් හඳුනා ගැනීමට මවට හැකි බව දන්නා නිසාම, නිවසට පැමිණි ඔහු දිවා ආහාරය ගෙන තම මව සමඟ ආගිය තොරතුරු කතා කරමින්ද ටික වේලාවක් ගත කළේය.
වොශ් එකක් දාගෙන ඇඳට වැටුනු මතීශ, දවල් වරුවේ මහ පාරේදී බිඳ වැටුණු සිතුවිලි වලට නැවත පණ දෙන්නට විය.
ඇය හමුවුනු හැටි , ඇය සමඟ එක්ව ගත කළ කාලය ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය.
…………………………………………………………………………
නෙතුකි දිසානායක, සුදු උස ගැහැණු ළමයෙක්. ඒලෙවල් වලට ඇය ඇතුලත් වන්නේද මතීශ ඉගෙනුම ලබන පාසලටමයි. නෙතුකි හදාරන්නේ කලා විෂයයන්ය.
ඒලෙවල් පන්තියේ ඉගෙනගන්නා මුළු කාලයේම මතීශත් නෙතුකිත් වැඩිම වුනොත් දවසක් දෙකක් එකිනෙකාට හිනාවෙලා ඇති. කතාබස් කරලානම් නැතිම තරම්.
ඒලෙවල් වලින් වසර කිහිපයකට පසු ,
පාසලේ පැවති ගෙට් ටුගෙදර් එකකදී අවුරුදු කිහිපයකට පසු ඔවුන් නැවත මුණ ගැසුණි. එතැනින් ඔවුන්ගේ මිතුදම සාමාන්ය ලෙස ඇරඹුනත් ටික කාලයක් යනවිට ඔවුන් හොඳම යහළුවන් බවට පත් විය.
නෙතුකි මුදල් යහමින් ගැවසුණු පවුලක එකම ගැහැණු ළමයා විය. ඇයට සිටියේ වැඩිමහල් සහෝදරයෙකු පමණි. නෙතුකිගේ පියා තරමක් සැරපුරුෂ කෙනෙක් විය. ඔහු ඇයගේ උසස් අධ්යාපන කටයුතු වලට කැමැත්තක් දැක්වූ අයෙකු නොවේ. මේ නිසාම නෙතුකි ඇයගේ හීනය වූ නීතිඥවරියක් වීමේ හීනය සඳහා වෙහෙසුනේ තම පියාට රහසිනි. පියාට රහසින් නෙතුකිගේ මව සහ සොහොයුරා ඇයට උදව් කරන්නට විය. ඒවගේම නෙතුකිගේ හැමදේටම ඇයගේ හොඳම යහළුවා වූ මතීශත් සිටියේය.
මතීශ සාමාන්ය පවුලක එකම පිරිමි දරුවාය. ඔහු ඒ වන විට විශ්ව විද්යාල ප්රවේශය සඳහා සූදානමින් සිටියේය. ඔය අතරවාරයේ හදිසියේම නෙතුකිගේ කතා බහ නැවතුණි. වෙනදට හැමදාම උදේට දවල්ට රෑට කතා කරන තෙනුකිගේ මේ නිහඬවීම මතීශට ප්රහේලිකාවක් විය. ඇය සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් ඇයගේ දුරකථනයද ක්රියා විරහිත කර තිබුනි.
කිහිප දවසකට පසු හදිස්සියේම මතීශගේ දුරකථනය නාද වන්නට විය.
” හෙලෝ “
” මතීශ “
” කොහෙද ළමයෝ අතුරුදහන් වුනේ ? “
” හ්ම්ම්ම් “
” නෙතුකි ඔයා හොඳින් නේද ? “
” නැහැ “
” මොකද වුනේ , කතා කරන්නකෝ “
” ගෙදරින් මට ප්රොපෝසල් එකක් ගෙනත්, තාත්තගේ යාළුවෙක්ගේ පුතෙක් “
” ඉතින් “
” මට ඉක්මනට එයාව මැරි කරන්නලු, එතකොට කොහොමද මගෙ ටාගට් වලට යන්නේ “
” ඔයා ඒ බෝයි එක්ක කතා කරලා තියෙනවද, එයා ඔයාගෙ ටාගට් වලට සමහරවිට උදව් කරයි “
” නෑ මට දැන්ම කසාදයක් ඕනි නෑ. අනික තාත්තා කීයටවත් මාව බලෙන් බන්දන්නේ නැතිවෙයි. බලමුකෝ “
” හ්ම්ම් කලබල වෙන්න එපා, ඔයාට ඕනි දේකට ඔයාගෙ යාළුවා ඉන්නවා හරිනේ “
ගෙට් ටුගෙදර් එකෙන් සාමාන්ය ලෙස ඇරඹුණු මිතුදම ඔවුන්ව හොඳම යහළුවන් බවට පත්කලේ දුරකථනයයි. සියළු කතාබහ සිදුවූයේ දුරකථනය හරහායි. ඒ වන විට මතීශ ඔහුගේ කාමරයේත්, නෙතුකි ඇයගේ කාමරයේ සිටියත් ඔවුන් ජීවත් වුනේ ඔවුන්ගේම ලෝකයකයි. උදේ දවල් රෑ සියළු කාලයන් දුරකථනය හරහා ඔවුන් දෙදෙනා එකට පසු කරන්නට විය. හැම කතා බහකම කෙළවරක තිබුනේ සපුරාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔවුන්ගේ හීනයි. හොඳම යහළුවන් ලෙස සියළු කතාබහ සිදු උනත් ඔවුන්ටත් නොදැනීම ඔවුන් එකිනෙකාට රහසින් ආදරය කරන්නට පටන් ගෙන තිබුනි.
ගෙට් ටුගෙදර් එකෙන් පසුව පළමුවෙන්ම මතීශ , නෙතුකිව හමුවන දවස උදාවිය. ඒ නෙතුකිගේ උපන්දිනේ දවසයි. මහලොකු තෑගි ගැනීමට මතීශ ළඟ මුදල් නොමැති වුවත් ඔහු ඇයට දීම සඳහා ‘Happy birthday my soulmate’
යනුවෙන් සඳහන් වූ තිළිණයක් මිලදී ගත්තේය. එදින හමුවීමෙන් පසුව මතීශටත් නෙතුකිටත් ඔවුන් තුල වූ ආදරය සඟවා ගන්නට නොහැකි විය. කල් යන්න යන්න ඔවුන් දැඩි ලෙස ආදරයෙන් බැඳෙන්නට විය. දෙදෙනාගෙම හීන වූයේ වැඩිදුර ඉගෙන ගැනීමයි. ඒ සඳහා ඔවුන් එකිනෙකාට හැමවිටම උදව් කරගන්නට විය.
කාලයක් ගතවන විට නෙතුකිගේ යම්කිසි වෙනසක් මතීශට දැනෙන්නට විය. ඒ පිළිබඳ නෙතුකිගෙන් විමසූවත් හරිහමන් පිළිතුරක් ඇයගෙන් නොලැබුණි. නමුත් ඔවුන් මුණගැසුණු එක් දවසක ඇය සියළු දේ එළිකරන්නට වූවාය.
” මතීශ “
” ම්ම්ම් “
” කියන්න දෙයක් තියෙනවා “
” දන්නවා මැණික “
” දන්නවා ? “
” ඔව් , ඒත් මොකක්ද කියලා දන්නේ නෑ “
” මට සහන්ව මැරි කරන්න වෙනවා “
” තාමත් තාත්තා ඒකට බල කරනවද ? “
” නෑ, බල කලේ නෑ ඒත් කාලෙකට කලින් තාත්තා බිස්නස් වැඩකට සහන්ගෙ තාත්තගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන. ටිකක් ලොකු ගානක්. ඊටපස්සේ මට සහන්ව ප්රොපෝස් කරලා තිබ්බ නිසා ඒ සල්ලි ගැන කිසිම කතාවක් ඇතිවෙලා නෑ , ඒත් මං සහන්ව මැරි කරන්න බෑ කියපු නිසා සල්ලි ප්රශ්නෙ ආයෙ උඩට ඇවිල්ලා. අම්මයි මේ හැමදේම කිව්වේ. තාත්තා කැමතිවෙලා නෑ මට මේ මුකුත් කියන්න. “
” හ්ම්ම්ම් “
” මං මොකද කරන්නේ බබා “
” ඔයා දැනටමත් තීරණයක් අරගෙන නේද තියෙන්නේ මැණික ? “
” ඔයාට පුළුවන්ද .. ? “
” හිතහදාගන්නද ?”
” හ්ම්ම්ම් “
” ඔයා එක දේකට පොරොන්දු වුනොත් මං හිතහදාගන්නම් “
” මොකක්ද “
” ඔයාගෙ හීනෙ. ඔයා කවදාහරි එතෙන්ට යනවා නේද මැණික ?”
” ඔව් , අනිවාර්යයෙන් . ඔයත් පොරොන්දු වෙන්න “
” මොකක්ද “
” ඔයාගෙ හීනෙට යනවා කියලා ඉක්මනින්ම “
” ඔව් මැණික, මෙච්චරකල් එක ලෝකෙක එකට දැකපු අපි දෙන්නගෙ හීන මේ මොහොතෙ ඉඳන් ලෝක දෙකකට වෙලා සම්පූර්ණ කරගමු “
…………………………………………………………………………
එදා වෙන්වුණු මතීශත් නෙතුකිත් වසර ගණනාවක් ගත වෙලත් තාමත් එකිනෙකා හා කතාබස් කොට නැත. කොටින්ම මතීශ නෙතුකි ගැනවත්, නෙතුකි මතීශ ගැනවත් කිසිදු විස්තරයක් දන්නේද නැත. වර්ථමානයේදී නෙතුකි ගැන කිසිවක් සඳහන් කිරීමට නොහැකි වූවත් මතීශ තාමත් තමන්ගේ ආදරය හිතේ කොනක තියාගෙන ජීවත් වෙයි.
මොනදේටත් වඩා දෙමව්පියෝ වටිනවා නේද ? තාත්තෙක්ට පුළුවන්ද සල්ලි නිසා දුවට මෙහෙම කරන්න ? ආදරේ වෙනුවෙන් අතාරින්න බැරි දේවල් තියෙන්න පුළුවන්ද ? ඇත්තටම ආදරේ කලානම් මොන ප්රශ්නෙ ආවත් දාලායන්න බෑ නේද ? නෙතුකිට තිබ්බා මතීශව අතාරින්නේ නැතුව ඉන්න එහෙම නේද ? මතීශ ඇයි එච්චර ලේසියෙන් නෙතුකිට යන්න දුන්නේ ?
ආදරේ හරි අමුතු දෙයක්. එක එක අය එක එක විදියටයි ආදරේ කරන්නේ. පිටින් ඉඳන් ලියපු මම කොහොමද කියන්නේ කවුද හරි කවුද වැරදි කියලා. හැමෝටම තමන්ගේ පැත්තෙන් කතාවක් තියෙනවා. මේ එහෙව් ආදර කතාවක එක පැත්තක් විතරමයි. ඇත්තෙන්ම අසම්පූර්ණ ආදර කතාවක්.
එක ආදරයක් මඟ ඇරෙන්නේ හිතුවෙවත් නැති විදියට තව ආදරයක් මුණගස්සවන්න වෙන්නත් පුළුවන්.
  උපුටා ගැනීම:   ✍️ බුද්ධි ජයවීර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!