සුමේධ හවස වැඩ ඇරිලා කන්තෝරුවෙන් පිටත්වුනේ කඩිමුඩියෙ.කොච්චර වේලාසනින් යන්න ආවත් බස් එකේ එල්ලෙන්නෙ පොරකාල.ඒකත් පැයගානක් කොටකොටා ගිහින් ගෙදරට යනකොට හොඳ පන ගිහින්. ටවුන් එකේ බේක් ෂොප් එකෙන් චොක්ලට් කේක් එකක් ගත්තෙ සෙනායයි පොඩි එවුනුයිකන්න කැමතිම නිසා. අද වේලාසනින් ගෙදර යන්න තීරනය කලේ සුමේද් සෙනායත් එක්ක ඊයෙ සිදුවුන බහින් බස් වීමෙන් පස්සෙ සෙනායා තාමත් ඉන්නෙ සිත් අමනාපයෙන් බව දන්න නිසා.අද ගෙදරට කෝල් එකක්වත් නොදුන්නෙ වේලාසනින් ගෙදර ගිහින් සෙනායා පුදුමයට පත්කරන්න හිතාගෙන..
බසයෙන් බැසගත්ත සුමේද ලඟ කඩෙන් ගත්ත කෙසෙල් ඇවරිය බෑග් එකේ දාගත්තා. මූනට හම්බවෙන අය එක්ක හිනාවක් විතරක් දාන්න තීරනය කලේ ගෙදර යන්න තවත් පරක්කු වෙන නිසා. කටට ආව පලියට සෙනායට දොස් කිව්වට මොකද ඊයෙ ඉඳන් සුමේදගෙ හිතට හරි නෑ.
ගේට්ටුව ලඟට යනකොට පුන්චි එවුන් දෙන්න මඩ නාගෙන මිදුලේ සෙල්ලම් කරනවා සුමේද දැක්කා. අපෝ මුන්ගෙ හැටි.සුමේදට තරහත් ගියා. ඇයි මේ ලමයින්ට මෙහෙම ඉන්න දෙන්නෙ.”හා හා දැන් දෙන්නම ගිහින් ඇඟ හෝද ගන්න.බලන්න හැටි” සුමේද තරහින් කිව්වා. මිදුල පුරා කොල හැලිලා.ඉදලක් කිට්ටු කරලාවත් නෑ.හරිම අපිලිවෙලයි.රටාවකට මිදුල අතුගාල , මල්ගස් වතුරෙන් තෙමල වෙන්දට ගෙදර එනකන් සෙනායා බලා ඉන්නෙ කොච්චර සතුටෙන්ද.
අසතුටින් ගෙදරට ගොඩවුන සුමේද ඉස්තෝප්පුව පුරාම විසිරිලා තිබුන කෑලි කෑලි වලට ඉරපු පත්තර කෑලි කකුලෙන් එහා මෙහා කරමින් සාලෙට ගියා.
ඊයෙ රෑ දාපු විදුලි පන්කාව තාම කැරකෙනවා. පුටු සී සීකඩ. උදේ සුමේද නරඹමින් සිටි රූපවාහිනිය තාම වැඩ.කාපු, බීපු පිඟන් කෝප්ප කෑම මේසෙ උඩ තාම.
සුමේදට දැන්නම් තරහයි. කෙලින්ම ගියේ කුස්සියට. සෙනායට හොඳවයින් දෙකක් කතා කරනවා කියල හිතාගෙන.ඒත් සෙනායා එතනත් නෑ. ඒ වෙනුවට කුස්සිය පිස්සන් කොටුව වගේ. ඊයෙ රෑ වළන් එහෙමම ඉඳුල් පිටින්. පිඟන් තැන් තැන් වල. සින්ක් එකේ ගොඩගහපු කෝප්ප ටික එහෙමමයි. සුමේදගෙ හිතට බයකුත් එක්ක මහා අසරන කමක් දැනුනා. එතකොට කෝ සෙනායා…..
ඔහු දුවගෙන ගියේ නිදන කාමරයට . නිදන ඇඳුම පිටින්ම තවමත් ඇඳේ පසෙකට හැරී නිදන සෙනායා දැක්ක සුමේදගේ වචන හිර වුනා. “මොකද මේ. ඇයි ඔහොම” .
” ඔයා ඊයෙ මට බැනපු වෙලාවෙ කිව්වනෙ මම ගෙදරට වෙලා නිකන් ඉන්නෙ කියලා. ඉතින් අද මම නිකන්ම හිටියා. “……….
උපුටා ගැනීම: Chamari Jeewarangani