ටෙනන්ට් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම පුංචිකාලේ ඉදලා ජිවත් උනේ නගරයේ ප්රධාන විදියක පසෙකින් තිබු නිවසක . ඒක අපේ පරම්පරාවෙන් ලැබුණු ගෙදරක් . සීයාගේ තාත්තා , ඊට පස්සේ සීයා , ඊට පස්සේ අපේ තාත්තාට පිලිවෙලින් උරුම උන පරණ පහේ තට්ටු දෙකේ ගෙදරක් ඒක .
අපි ටිකක් තේරෙන වයසට ආවම අපේ තාත්තා ලෝන් එකක් දාලා කරපු එකම දේ ඒ ගෙදර අළුත් වැඩියා කරපු එක . නංගි මමයි අම්මයි තාත්තයි විතරක් අපේ පව්ලේ හිටපු නිසා තාත්තා උඩ තට්ටුව කුලියට දුන්නා . මුල්ම දවස්වල පොඩි පව්ලක් ජිවත් උනා , ඊට පස්සේ නානාප්රකාර මිනිස්සු ඔය උඩ තට්ටුවේ ජිවත් උනා . හැබැයි ඒ හැමෝම උපරිම අව්රුදු දෙකක් ඉදලා යන්න ගියා . සමහරු මාස දෙක තුනකින් වගෙත් වෙන තැන් හොයාගන යන්න ගියා .
දැන් මට වයස අව්රුදු විසි තුනක් , මගේ නංගිට වයස අව්රුදු දහනමයක් . මම විශ්වවිද්යාලයේ තුන්වන වසරේ උසස් අධ්යාපනය හදාරනවා . නංගිත් විශ්වවිද්යාලය ප්රවේශය බලාපොරොත්තුවෙන් ගෙදරට වෙලා ඉන්නවා . අපේ තාත්තා තවමත් රජයේ කන්තෝරුවේ වැඩ කරනවා . අම්මා සාමාන්ය විදියට ගෙදර වැඩ බලාගන ඉන්නවා .
මේ ලගදි අපේ උඩ තට්ටුවේ පදිංචිවෙලා හිටපු අම්මයි , පුතයි , දුවයි වෙනත් නිවසකට පදිංචියකට ගියා . ඒ නිසා එදා ඉදලා උඩ තට්ටුව පාළුවට ගිහිල්ලා . තාත්තා ආයෙත් වතාවක් පත්තරේ දැන්වීමක් දැම්මා . දැන්වීම දාලත් සති ගණනක් යනකම් කිසිම කෙනෙක් ගෙදර බලන්න නොවාව එක අපි හැමෝටම පුදුමයක් . තාත්තාත් පෙන්ෂන් ගන්න තව මාස කීපයක් තිබුණු නිසා තාත්තයි අම්මයි ටිකක් බයවෙලා හිටියේ තාත්තගේ පෙන්ෂන් එකෙන් විතරක් නංගිගෙයි මගෙයි අධ්යාපන කටයුතු කරගන යන්න බැරිවෙයි කියලා .
එත් එක දවසක් මමයි නංගි විතරක් හිටපු දවසක මැදිවියේ ඉන්න පිරිමි කෙනෙක් ආවා ගෙදර බලන්න . අම්මත් ඒ වෙලාවේ පොළට ගිහිං නිසා නංගි මමයි ඒ පුද්ගලයට පැකිලීමකින් තොරව ගෙදර බලන්න ඉඩ දුන්නා . ඒ පුද්ගලයා වැඩිය අපිත් එක්ක කතාවක් නැතිවම තාත්තා ගෙදර ඉන්න වෙලාව අහගන යන්න ගියා . එත් එදා රෑ හතට විතර ගෙදර ලෑන්ඩ් ෆෝන් රිං වෙද්දී මට එක නිකමට වගේ හිතුනා මේ අර දවල් ගෙදර බලන්න ආපු මනුස්සයා වෙන්න ඇති කියලා .
ඉතිං මම තාත්තා ඇමතුම ගන්නකම් සාලෙට වෙලා බලාගන හිටියා . මම අහගන හිටියේ තාත්තා මොකද කියන්නේ කියන්නේ කියලා .
” මහත්තයාගේ ගම් පළාත “
” කව්ද ආයේ පව්ලේ ඉන්නේ ?”
” මෙච්චරකල් අපි දුන්නේ මාසෙකට රුපියල් විසි පන් දාහකට , එත් මේ පාර අපි තිස් පන් දාහකට දෙන්න තමයි හිතුවේ “
” අව්රුද්දක කී මනී තියන්න ඕනි “
” හරි මහත්තයා , හෙට එහෙනම් එන්න . අපි ගෙදර ලෑස්ති කරලා තියන්නම් “
තාත්තා ඔන්න ඔය ටික කතා කරද්දී මට කුතුහයක් උනේ එහා පැත්තෙන් කියන දේවල් ගැන . අම්මටත් ඒ වෙලාවේ තාත්තා කතා කරන එක ඇහිලද මන්දා අම්මත් කුස්සියේ ඉදලා ඉක්මනින් සාලෙට ආවා .
” කව්ද තාත්තේ …. දවල් ආව මනුස්සයාද ?”
තාත්තා ෆෝන් එකේ රිසිවරය තියන ගමන්ම මම තාත්තාගෙන් ඇහුවා .
” ඔව් ….. ඒ මනුස්සයා හෙටම පදිංචියට එනවා කිව්වේ . හෙට නිවාඩුවක් දාලා ගෙදර පොඩ්ඩක් අස් පස් කරන්න ඕනි “
තාත්තා එහෙම කිව්වේ හිතේ තියන ලොකු බරක් නිදහස් කරගත්තා වගේ .
” මොන මිනිස්සුද කියලා හොයලා බලලා ගෙදර දුන්නොත් හොද නැද්ද ? “
අම්මා තාත්තට නෝක්කාඩුවට වගේ එහෙම කිව්වේ කියලා මට තේරුනා . අපිට සල්ලී ප්රශ්ණ තියන බව ඇත්ත තමයි . එත් අම්මා කියන දේත් ඇත්ත . එත් මම ඒවා ගැන කතාවට ගියේ නෑ .
අවසානෙදි තාත්තා ඔහු කියූ සියළු විස්තර අපිත් එක්ක කියන්න පටන්ගත්තා .
ඔහුත් ඔහුගේ බිරිඳත් පමණක් පව්ලේ සිටින අතර , ඔහු විශ්රාමලත් බැංකු කළමණාකාර වරයෙක් බවත් . නගරය මැදින් නිවසක් සෙවූ බවත් , අපේ කුලී නිවසේ මීල කොපමණ උනත් ඔහු එය ගෙවීමට කැමති බවත් හෙටම පදිංචියට එන බවත් ඔහු තාත්තා අතින් කියා තිබුණි .
පසුදින ඔහු ඇදක් , අල්මාරියක් , පුටු දෙකක් , තවත් පෙට්ටි කිහිපයක් පමණක් රැගෙන අපේ උඩු මහලේ පදිංචියට ආවේ තනිවම . ඔහුගේ බිරිද ගැන අපේ අම්මා ඔහුගෙන් විමසුවත් ඇය ඉක්මනින් එනවා කියා ඔහුගෙන් පිළිතුරු ලැබී තිබුණි .
ඉන්පසු ඔහු උඩු මහලේ කිසිම හැල හොල්මනකින් තොරව ජිවත් වු අතර , සමහර විට උදේට මම විශ්වවිද්යාලට යන විට ඔහුත් ලස්සනට ඇද පැලදාගන නිවසින් පිටත්වන අතර හවස හතත් පසුවී නිදා ගැනීමට පමණක් නිවසට පැමිණියාය . සමහර දින වලදී මුළු දවසම ඔහු උඩු මහලේ නොසිටියේය . සතියක් දෙකක් තුනක් හතරක් ගෙවී ගියත් ඔහුගේ බිරිද උඩු මහලට ආවේ නැත . මාසයක් දෙකක් ගෙවී ගියත් ඔහු අප සමග කතා කර තිබුනේ වචන දහයකට විස්සකට අඩුවෙනි . මාස තුන හතරක් ගත උනාද ඔහු කියූ ඔහුගේ බිරිද උඩු මහලේ පදිංචියට ආවේ නෑ . ඒ ගැන අපිට තිබුනේ සැකයක් . අනික ඔහුගෙන් පෙනෙන්නේ නෑ එච්චර හොද රස්සාවක් කරපු බව . අඩුම වහනයක්වත් නෑ .අම්මත් මමත් නංගිත් තාත්තාට මේ ගැන ඉද හිට කියූ විට ඔහු කියා සිටියේ ,
” ඔය වයසේ මනුස්සයෙක් නරක මනුස්සයෙක් වෙන්න බෑ . අනික ඒ මනුස්සයා ගෙදර නැත්තේ වැඩ කරන නිසා වෙන්න ඇති , මාසේ කුලී ගාස්තුව හරියට අපිට ගෙවනවනම් අපිට මොකටද අනුන්ගේ දේවල් “
තාත්තා ඔය කතාව දිගින් දිගටම කියන නිසා අපි තාත්තට ආයේ ඒ ගැන කියන්න ගියේ නෑ . එත් මම තීරණය කරා ඒ මනුස්සයා ගැන හොයන්න .
එක දවසක් උදේම මේ මනුස්සයා යන තැන ගැන හොයන්න මම ක්රියාත්මක උනා . උදේ මම කැම්පස් යන නිසා කොහොමත් පාරේ දැක්කත් ඒ මනුස්සයාට මාව සැක හිතෙන එකක් නෑ . ඒ නිසා ඒ මනුස්සයාගේ පස්සෙන්ම මම හොරෙන් හොරෙන් ගියා . අවසානයේ ඔහු අපේ වීදියට විදී තුනක් එහා පසෙකින් තිබු විදියේ තිබු ස්ථානයකට ගිය පසු තවත් මගේ කුතුහලය වැඩි උනා . ඔහු එහි දෙවන මහලේ තිබු කාමරයකට ඇතුල්වීමට සැරසෙද්දීම මම දුවගන ගියේ ඔහු ලගට .
” අංකල් ……”
ඔහු පුදුමයෙන් මගේ දෙස බැලුවා .
” අංකල් කොහේද මෙහෙ ?”
ඔහු අල්ලා ගත්තා සේ ජයග්රාහී ලීලාවෙන් ඔහුට මම එසේ කියද්දී ඔහු මගෙනුත් ඔහු ඒ දේම ඇසුවා .
” ආ …….. දුව කොහෙද මෙහෙ “
සිනහා වෙමින් මම අමාරුවෙන් එත් ඉක්මනින් බොරුවක් ගැට ගැසුවේය .
” මගේ යාළුවෙක්ගේ අම්මෙක් ඉන්නවා මෙහෙ . උදේම එයාව බලන්න ආවා . අංකල් කොහෙද මෙහෙ “
නැවතත් ඔහුගෙන් මම පිළිතුර ගැනීමට වෙහෙස විය .
” මේ ඉස්පිරිතාලේ තමයි මගේ නෝනා නවත්තලා ඉන්නේ , එන්න ඇතුලට “
කියමින් ඔහු ඒ කාමරය විවෘත්ත කලේය . කාමර තුල ඇදක් මත ඔක්සිජන් සම්බන්ධකර සිටියේ කාන්තාවක් . ඇය නින්දේ පසු උනා . පසෙකින් පොත් , සගරා කිහිපයක් , ඉදිරියෙන් රූප වාහිනියක් , කුඩා කැසට් රෙකෝඩරයක් , ලස්සන නැවුම් මල් කලබක් මේසයක් මත විය . එක් අතකින් රටේ ප්රධාන පෞද්ගලික රෝහලක මෙසේ තිබීම පුදුමයකට හේතුවක්ද නොවේ .
” අංකල් ….. මේ ආන්ටීද ? අනේ මට සමාවෙන්න . ආන්ටිට මොනා වෙලාද ? ඇයගේ නින්දට මම බදා කරාට “
” ඒකට කමක් නෑ දුව . වාඩි වෙන්න . ඔයා කතා කලා කියලා එයාට ඇහෙන්නේ නෑ . එයා නැගිටින්නෙත් නෑ .මෙයා දැන් මාස අටක ඉදලා කොමා එකක ඉන්නේ . මේ ඉස්පිරිතාලේ හොද නිසා මම මෙයාව මෙහෙ නතරකලා . මෙහෙ උදේ ඉදං ඕනිම වෙලාවක් ඉන්න පුළුවන් , මට හදිස්සියකට යන්න එන්න පුළුවන් නිසා ලගම තියෙන ඔයාලගේ ගෙදර කුලියට ගත්තා “
ඔහු මල් කලබ වාස් එකට දාන ගමන් ඔහේ කියවගන ගියා .
” මොනා වෙලාද මෙහෙම උනේ ?”
මගේ කුතුහලය වැඩි නිසා මම මගේ හිතේ තිබුණු ප්රශ්නේ කෙලින්ම ඇහුවා .
” අනික අංකල් මේ බව අපිට නිකන්වත් කිව්වේ නෑනේ “
නැවතත් මම මගේ හිතට ඊළගට ආපු දේ හරිම ආචාරශීලි විදියට ඔහුට ප්රකාශකරා .
” ඒ ප්රශ්ණ දෙකටම මම එකම උත්තරේ දෙන්නම් දුව . ඒක දිග කතාවක් “
ඇයගේ හිස අතගාන ගමන් ඔහු මට විස්තරය කියන්න පටන්ගත්තා .
” මම මේක හංගන්න හේතුවක් තියෙනවා දුව , අපි විවාහ වෙලා නෑ . මෙයා මගේ එකම සහ අවසාන පෙම්බරිය . අපිට ලස්සන අතීතයක් තිබුණා . එත් ඒ හැමදේම වෙනස් වෙන්න ගියේ දවස් කීපයක් . මෙයාගේ ගෙදරින් මෙයාව බලේම විවාහකරවලා දුන්නා “
ඔහු කතාවේ ඉතිරි ටික කියාගන යන්න කලින් මම මනසින් චිත්ර පටයක් වගේ ඉතිරි කතාව ගොඩනගා ගත්තා .
” ඉතිං අංකල් , ආන්ටීව අරගන ආවද? “
” නෑ …… මම මෙයාට මෙයාගේ ජිවිතේ ගෙනියන්න ඉඩ දුන්නා , මෙයත් මමත් අතර විවාහයෙන් පස්සේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ . එත් මීට අවරුද්දකට කලින් හරි අහඹු විදියට අපි ආයෙත් මුණ ගැහුණා . හරියටම අව්රුදු විසි හයකින් “
” ඉතිං …”
” ඉතිං එතකොටයි මම දැනගත්තේ ඒ බැන්ද මනුස්සයා මෙයාට නොසෑහෙන්න වද දෙනවා කියලා . ඉස්සර මෙයා හරි ලස්සනයි “
ඔහු ආදරයෙන් ඇයගේ මුණ බලමින් මුහුණේ අමුතු සිනාවක් මවාගන නැවත කතාව කියන්න පටන්ගත්තා .
” එතකොට මම විවාහ වෙලා හිටියෙත් නෑ , කොහොමත් මෙයාව අමතක කරන්නත් මට බෑ . මෙයා ගැන මිස වෙන කෙනෙක් ගැන මම හිතුවෙත් නෑ . ඉතිං දවසක් මෙයාට හොදටම ගහලා ගෙදරින් පන්නලා තිබුණා . ඉතිං ඇයව මම මගේ ලගට ගන්න හිතාගන ඇයත් සමග වාහනේ එද්දී එදාම දරුණු අනතුරක් උනා . එදා ඉදං ඇය මෙහෙම . මට එක දවසක් ඇයත් සමග සතුටින් ජිවත් වෙන්න බැරි උනා . එදා ඉදලා මම වාහන එලවන්නෙත් නෑ . “
ඔහු එහෙම කියද්දී කදුළු බිංදු දෙක තුනක් ඔහුගේ ඇස් වලින් කඩාගන වැටුනා . පිරිමි අඩන්නේ නෑ . නැත්නම් අඩන පිරිමී විරලයි . නැත්නම් පිරිමි අඩන එක පෙන්නන්නේ නෑ . කොහොම උනත් ඔහුගේ ඇස් වලින් කදුළු බිංදු වැටෙනවා මට බලාගන ඉන්න අපහසු උනා . එත් මම ඒ සියළු දේවල් නිශ්ශබ්ධව බලාගන හිටියා . මොකද මම ඒ කතාවෙන් ගොළු උනා .
” මම කොහොමත් මෙයාට ආදරෙයි , ඉතිං මම කොහොමත් මෙයාගේ අයිතිකාරයා එනකම් බලාගන්නවා . ඔහු මෙතෙක් කාලයක් නම් ආවේ නෑ . ඉදිරියටත් එන්නේ නැතිවෙයි . මම මෙයා ලග හැමදාම ඉන්නවා “
ඔහු එහෙම කියන ගමන් ආදරයෙන් ඇයගේ අත ඔහුගේ ඇගිලි තුඩු වලින් අත ගාන්න පටන්ගත්තා . මටත් කිසිවක් කියාගන්න බැරි විදිහට ගොළුවුනා . ටික වෙලාවක් ඇයත් ඔහුත් දෙසත් බලාගන සිටි මම ඉක්මනින් පිටත් වුයේ මගේ දේශනයට වෙලාව ලග බව දන්වමින් . මම කාමරයේ දොර ලගට එන විටත් ඔහු පොතක් අතට ගෙන ශබ්ද නගා කියවීම ආරම්භ කලා .
මම ඔහේ ඉස්පිරිතාලයෙන් එලියට එමින් සිතුවේ මිනිසුන්ගේ ජිවිතවල අපි නොදන්නා කතාන්දර කොපමණ තිබෙනවාද කියා . ඔහු ඇයට තවමත් ප්රේම කරන්න ඔහුගේ හදවත කොපමණ කාරුණිකද?
සැබෑ ආදරය පවතින්නේ ගතින් ලං නොවූ හිත් අස්සේ එය තබාගත් උතුම් මිනිසුන් ලග බව හිතේ හිරවුණු අමුතු හැගීමක් එක්ක මගේ හිත මාව හිතන්න පෙලඹුවා .
ඇත්තටම මිනිස්සු ආදරේට හරි කෑදරයි .
එත් අපේ ඉහළ මහලේ කුලී නිවැසියා ඊට හාත් පසින්ම වෙනස්,
ඔහු ආදරේ ලබනවාට වඩා , ආදරේ කරනවා ….
උපුටා ගැනීම:  – හසිකා විජේතුංග –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!