නින්ජා ගේම්….. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ කාලෙ කලාට දැන් මතක් වෙද්දි හිතෙන්නෙ එහෙම. ඒ කාලෙ අපිට දුර්ලභ වුනේ නයිලෝන් නූල්. ගෙදරින් නූල් ගන්න සල්ලි දුන්නෙත් නැති නිසා අපිට සිද්ධ වුනා හැමතැනම ඇවිදලා ඇවිදලා නූල් එකතු කරන්න. හැබැයි සමහරු ගාව නූල් තිබුනා ඇති තරම්. ඒ තියන ඈයො අපිටත් උපරිම ආඩම්බර පෙන්නුවා. එයින් එක් චරිතයක් තමයි අපේ ගෙට වම්පැත්තෙ ටැක්සි ගෙදර උක්කු.
ගෙදර නම ටැක්සි වුනාට සෙක්සි කව්රුවත් එහෙ හිටියෙත් නෑ තිබ්බෙත් අත්ට්රැක්ටරයක්. ඒ ගෙදර කලින් ප්රධානම සාමාජිකයෙක් ටැක්සි එලෙව්ව නිසාඒ නම වැටිල තිබ්බා වෙන්න ඇති.
උක්කු මගෙම වයසෙ මගෙම පංතියෙ. මිනිහ ගැන වෙනමම පරිච්ජේදයක් ලියන්න ඕනි පස්සෙ කාලෙක. අමු අංඩපාලයෙක් සමාජ විරෝධීක්රියා කරන්නෙක් විදිහට ප්රසිද්ධියක් ඉසිලුව උක්කු කොහොම නමුත් ගෙදරින් හොරකම් කරලා වෙන ගෙවල්වල ඒව හොරකම් කරලා එහෙම මිනිහ ගාව තිබ්බා කළුසල්ලි. ඒ කියන්නෙ සාධාරණ නොවන විදිහට හොයපු සල්ලි. ඒවෑන් නූල් ගෙනත් ඒ කාලෙ හැටියට අපිට මාරම රැඟිල්ලක් රඟපෑවා..
සරුංගලයක් රෑට අහසෙ තියන එක ඒ දවස්වල හරිම ජාති වැඩක් වුනා. හැමෝටම කරගන්න බැරි වැඩක්. පස්සෙන් පහු අපි සුමාන ගනන් සරුංගලයක් උඩ තියන්න ඕනි දැනුම සපය ගත්තා. නමුත් එහෙම රෑට තියන්න නම් වැහිවළාකුලකට ඉහලින් යන්න නූල් දෙන්න ඕනි. සරුංගල් භාශාවෙන් “තිත්වෙන්න දෙන්න ඕන” ඒකට ගොඩක් නූල් උවමනා කරනවා. අපිට සරුංගලයක් එහෙම යවන්න පුළුවන් වුනේ වාරෙ මැදක් වෙනකම් වෙල්වල,පිට්ටනි,
ගල්උඩ නූල් එකතු කරගත්තට පස්සෙ. ඒත් උක්කුව ගාව සල්ලි තියන නිසා ඌ නූල් ගෙනත් තිත් වෙන්න දීල රෑ තිබ්බා. ම⁣ටත් ආස වුනා ඒකට. කීප සැරයක් නූල් ටිකක් ඉල්ලුවත් උක්කුව කැමති වුනේ නෑ අපිට නූල් දෙන්න. මං තීරණය කලා ඌට වැඩේ දෙන්න..නින්ජ ගේමකින්.
මිනිහ සරුංගලේ රෑට ගැටගහල තිබ්බෙ නිවසට ටිකක් එහායින් ගල්වලේ කැන්ද ගහක අත්තක. සරුංගලේ රෑ තියන දවසට රෑ 9 විතර වෙනකම් එතන්ටම වෙලා තව කා එක්ක හරි කතා කරකර ඉන්නවා. ඊට පස්සෙ ගෙවල් වලට ගිහින් එන්නෙ පහුවදා උදේට. මට නින්ද නොයන ලෙඩක් තිබුණෙ අව්රුදු 10 ඉදන්. ඒක මේ මෑතක් වෙනකම් තිබිලා දැනටත් යම් ප්රමාණයකට තියනවා. මං පාන්දර දෙක තුන වෙනකම් පොත් කියෙව්වා. රාත්රියේදී කරපු ගොඩක් කිරිමේල් වැඩ වලට මේ නිදිමැරිල්ල හේතුවක් වුනා.
කොහොම වුනත් අදාල දවසෙත් උක්කු සරුංගලයක් රෑ තිබ්බා. මමත් හොදට ඇහැ ගහගෙන බලන් හිටියා. පාන්දර 1ට විතර මම හොරකමේ යන්න තීරණය කරගෙන එළියට බැස්සෙ. වේලාසන ලැහැස්ති කරගෙන හිටපු අඩි එකහමාරෙ කොසුපොල්ලත් ඉනේ ගහගෙන. කළුවරේම ග්රීස්පියා වගේ ගියා ගල්වලට. කැන්ද අත්ත පාත්කරලා නූල අතට අරන් බැලුවා කිරිකිරි ටොයියා සයිස් 9 නයිලෝන් නූලක්. කොසුපොල්ලට ගැටයක් දාලා ඔතන්න ගත්තා. එක ගැම්මට පැයකට වැඩිය නූල් ඔතනකොට අත් දෙකත් වේදනා දෙන්න උනත් වෙහෙසකර වෑයමකින් අනතුරුව එහි අග්රඵලය ලබන්න නම් තව චුට්ටයි කියල හිතාගෙන නොනවත්වාම නූල එතුවා.
කොහොම හරි අවසානෙ නිරුපද්රිතව සරුංගලේ අතටම අරගත්තු මම ඒක කැන්ද ගහට හේත්තු කරලා අත්ගොබයක් තරම් මහත අඩි එකහමාරෙ නූල් පංදුවත් අරගෙන දනිපනිගාලා කළුවරේම ගෙදර එනකොට පාන්දර තුන විතර වෙලා.
පහුවදා දවල් 10ට විතර නොනවත්වා “කව්ද යකෝ මේ කඩප්පුලි වැඩේ කරපු හූ..$#%@%$@*තා අලුත්ම නූල්පන්දු තුනක්ම ඔතන් ගිහින් තියෙන්නෙ. ඕකට හෙන හත ගහන්ඩ ඕකාගේ අම්මා..ට්ට…ම..$@%@&%@%..” කියලා මිහිරි ස්වරයෙන් ගැයෙන සප්ත ස්වර ගීත මාධූර්⁣යයෙන් අමුතිත්ත කුනුහරප වැලක් ගෑනු කටහඬකිනුත් පිරිමි කටහඬකිනුත් වශයෙන් යුග ගීයක ස්වරූපයෙන් වාදනය වෙද්දි මම ඇහැරුනත්, අඩනින්දෙන්ම මම දැනගත්තා පත්තු වෙන්නෙ ඊයෙ රෑ ගින්න බව. උක්කුවත් උන්ගෙ අම්මත් මේ කඩප්පුලි වැඩේ කලේ කව්ද කියලා හොයාගන්න බැරුව සැකයේ වාසිය ලෝකයටම දීලා අමු කුනුහරපෙන් වටේටම වනනවා ඕන එකෙක්ට වැදිය කියලා…..
නූල් ගත්තා වුනත් සරුංගලේට කිසිම කරදරයක් නොකර ගහටම හේත්තු කරන්න තරම් මම සත්පුරුෂයෙක් වීම නිසා ටික දවසක් ගියාම උක්කුව කියනව ඇහුන “මොකා උනත් ඌ සාධාරණ හොරෙක් සරුංගලේ තියල ගියානෙ” කියලා. ඒ අව්රුද්ද පුරාවට මම ඒ නූල් පන්දුව එලියටවත් ගත්තෙ නෑ ඊලඟ අව්රුද්ද වෙනකම්ම. ගෙදර කාටවත් පෙන්න තිබ්බෙත් නෑ. මොකද නූල් පන්දුව අහුවුනානම් උක්කුවට අහුවුනාට හපන් රස කෑමක් තාත්තගෙන් ලැබෙනව රෑ තිස්සෙ හොරකමේ ගියා කියලා.
කොහොම වුනත් උක්කුවට එදිරිවාදීන් හා සැකකරුවන් රාශියක් සිටිය නිසා මගේ පැත්තට සැකය එල්ල නොව්නත් එයින් අව්රුදු පහකට හයකට පසුව කොල්ලො ගොඩ මැදම මම එම පැරණි අභිරහස හෙලිකිරීමේදීත් උක්කුවගේ මතකයේ ඒ අමිහිරි අතීත සිදුවීමේ ආවේගය තැම්පත්ව තිබුන නිසා අතට අහුවෙන ප්රමාණයේ ගල්භාගයක් මා දෙසට පාකර එව්වත් ඒ වෙනකොට මිනිසෙකුට අතකින් ගලක් විසිකරන්න පුළුවන් උපරීම සීමාව ඉක්මවා මම ධාවනයෙන් පසුකර සිටි හෙයින් ඒ ගල්පාරට මා වෙත ලගාවීමේ කොහෙත්ම හැකියාවක් තිබුනේ නැති නිසා අදටත් මගේ ඔළුවෙ තුවාල කැළලක් රහිතව මෙම ලිපිය රචනා කිරීමට හැකිවූ බව කෘතවේදීව සිහිපත් කරමි…..
උපුටා ගැනීම: Ruwan Anuruddha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!