කාන්තාවන්ට පමණයි (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ඉස්කෝලේ යන කාලේ මට උන සිරාම සිද්දියක් ඈ. ඒ දවස් වල හැමදාම වගේ ඉස්කොලේ ඇරිලා අපි සෙට් එකම බොරැල්ලේ 174 බස් හෝල්ට් එකට සෙට් වෙනවා ගෙදර යන්න කලින්. අනිත් එක අපි කොට කලිසමෙන් දිග කලිසමට එහෙම මාරු වෙලා ඕ ලෙවල් කරන කාලෙ. එතකොට අපිට ඇවිත් තිබ්බේ මමයි රජා කියලා වගේ හෙන අමුතුම ගැම්මක් සහ ගැහැණු ළමයි ගැන හෙන ආකර්ශනයක්. වයසේ වැරැද්ද නේ ඉතින්. එදත් මායි මගේ අතිජාත මිත්රයෝ උන නුවනයා චෝලිතයා සහා තව ඉස්කෝලේ යාලුවෝ කීප දෙනෙක් එක්ක බොරැල්ලේ බස් හෝල්ට් එකට ආවේ ඉස්කෝලේ ඇරුනාම එතනට ලඟ පාත බාලිකා ඉස්කෝල උන යශොදරා, දේවීබාලිකා, ගෝතමී, මියුසියස් වගේ හැම එකකින්ම කෙල්ලෝ එන නිසා. එතනට එන කෙල්ලොන්ට මොනා හරි කියලා විහිලුවක් කරන එක. කතාවකට අල්ලගන්න ට්රයි එකක් දාල බලන එක ඉතින් ඒ දවස්වල හෙනම ආතල් එකක් තමා ඈ.
“අඩෝ මෙතන වල බැහැලා ඉඳලා හරි යන්නේ නෑ. හවස ක්ලාස් යකෝ”
හුටා නුවන් එහෙම කියනකොටයි මට මතක් උනේ අද හවස ගණන් ක්ලාස් එකක් තියනවා කියල. අපි තුන්දෙනාම එකට පැලවත්ත පැත්තේ තිබුන පොඩි ගෲප් ක්ලාස් එකකට ගියේ ඒ දවස් වල. එදා උදේ ඉස්කෝලේ යනකොට දවල්ට කන්න බත් එකක් දෙන්න පරක්කු උන නිසා තාත්තා මට කිව්වා කෙලින්ම ඉස්කොලේ ඇරිලා එයාගෙ ඔෆිස් එකට එන්න කියලා. එතනින් දවල්ට බත් කාල එයා මාව ක්ලාස් එකට දාන්නම් කියලා. මං ඔලුවේ අතගහගත්තා. මට ඒක අමතකම වෙලා තිබ්බෙ.
“ඒ බං. මට තාත්තලගේ ඔෆිස් එකට යන්න ඔනේ යකො. යමං පරක්කු වෙලා.”
“ඇයි උඹ අද පංති එන්නේ නැද්ද හවස?”
“එනවා එනවා තාත්තා ගෙනත් දාන්නම් කිව්වා”
අපි තුන්දෙනා ඒත් එක්කම එතනින් අද්දන්න පටන් ගත්ත 174 බස් එකක එල්ලුනේ තවත් පරක්කු වෙන්න බැරි නිසා. මම ඒකෙ ඇවිත් බත්තරමුල්ලේ හංදියෙන් බැහැල ආයිමත් තව බස් එකක් ගන්න ඔනේ තාත්තගෙ ඔෆිස් එකට යන්න. මම ඔරලෝසුව බැලුවා. සෑහෙන්න පරක්කුයි. අද නම් බැනුම් අහන්න වෙනවා.
“කොහෙද උඹටත් කෙල්ලෝ ටෝක් කරනකොට කලිසම ගලවන් ගියත් දන්නේ නෑ”
චෝලිතයා ෆුට්බෝඩ් එකේ උඩ ඉඳන් කිංඩියට හිනාවෙනවා. නොදකින් මේකා. මං මේ දෙලොව රත් වෙලා ඉන්නව. අපේ ඩැඩා ඔහොම හිටියට හෙන සැරයි. ඔෆිස් එක මැද්දේ පලුයන්න බැන්නොත් එහෙම මගෙ පටි රෝල් ඉතින්. මම ආපහු ඔරලෝසුව බැලුවා. ඩ්රයිවරයා හීනෙන් එලවනවද මංදා හෙන හිමින් බස් එක යන්නේ අද.
“ඒ බං මූ අද යයිද බං? බලහන්කෝ කොටනවනේ”
කොහොමත් මට තියන හදිස්සිය ඌට නැතුව ඇති. හැම බස් හොල්ට් එකකම නවත්ත නවත්ත ඇද ඇද බස් එක කොහොමහරි බත්තරමුල්ලට ආව. හදිස්සිය වැඩිකමට කොන්දා කොච්චර කෑගැහුවත් මං හිටියේ ෆුට්බෝඩ් එකේමයි. හෝල්ට් එකෙන් නවත්තන්නත් කලින් මං අරුන් දෙන්නට ක්ලාස් එකේ සෙට් වෙමු කියාගෙන බස් එකෙන් පැන්නා. වෙනදට බස් පේලියට පුරෝලා තියන හෝල්ට් එකේ මගේ කරුමෙටද මංදා එදා එක බස් එකක් වත් නෑ. ඔනේ නැති දවසක් නම් මෙතන බස් පුරෝලා. ඔරලෝසුව බැලුවේ කීවෙනි වතාවටද කියල මට මතකවත් නෑ. හෑන්ඩ් ෆෝන් තිබ්බේ වත් නැති කාලෙ මං එන්න ටිකක් පරක්කු වෙයි කියලවත් තාත්තට කියාගන්න විදිහක් නැතුව බස් එකක් ඉක්මනට වරෙන් කියලා හිත හිත මං හෝල්ට් එකේ හිටපු සෙනග අස්සේ එහාට මෙහාට ඇවිද්දා.
හම්මේ දෙයියෝ බැලුවා වගේ ඈත එන රතුපාට ලංගම බස් එකක්. ඒක හෝල්ට් එකේ නවත්තනකොට එකේ ඉස්සරහා ලොකුවට ගහලා තිබ්බ 170 අතුරුගිරිය බෝඩ් එක කියවලා මං දුවගෙන ගිහින් පිටිපස්සේ දොරින් ෆුට්බෝඩ් එකේ උඩටම නැග්ගා. මගේ හිතේ වැඩ කරන්නේ ඉක්මනට තාත්තගෙ ඔෆිස් එකට යන්න ඕනේ කියන එක විතරයි. මොකද මං දන්නව දැනටමත් බැනුමක් සෙට් වෙලා තියන්නේ. තව ටිකක් පරක්කු උනොත් ඒක ගුටි කෑමකට පෙරලෙනවා. මං බස් එකට නගිනකොටම හෝල්ට් එකේ හිටපු කොල්ලො සෙට් එක හෙන සද්දෙන් ‘ෂූ’ පාරක් දාල අඩෝ අඩෝ කියලා කෑගහලා හිනාඋනා කාටද මංදා. ලස්සන කෙල්ලෙක්වත් හෝල්ට් එකට බහින්න ඇති ශුවර් එකටම.
“ඔයි.. අපිත් උඹත් එක්ක එන්නද?”
ජීවිතේට දැකලා නැති වෙන ඉස්කෝලෙක කොල්ලො සෙට් එකක් අතපය විසිකර කර මගෙන් විස්තරයක් අහනවා. මුන් මොක්කුද. මොකක් හරි පරණ වලියක පෝරියල් එකක්වත් ද. මං කොර උනා. එහෙම වෙන්නත් බෑ. මට හිතාගන්න බැරි උනා මොකක්ද සීන් එක කියලා.
“වරෙන් නැගහන් ඉතින්”
මාත් හිනාවෙලාම කිව්වා. රවන්න බෑ. එතන සෙට් එක වැඩි. එකා එකා ටොක්ක ටොක්ක ඇන්නත් මට ඉස්පිරිතාලෙ යන්න වෙන සීන් එකක් තියන්නේ. ඒත් උන් එකෙක්වත් බස් එකට නැග්ගේ නෑ. හිනාවෙවී බලන් ඉන්නවා. එතකොටම බස් එක ඇද්දුවා. මට නිවන් ගියා වගේ. මං ආපහු ඔරලෝසුව බැලුවා. තව විනාඩි දහයකින් මං ඔෆිස් එකේ.
“අයිසේ මල්ලි තමුසෙට පිස්සුද ඕයි මේ බස් එකට නැග්ගේ?”
මම උඩ ගියා. බුලත් හපයකුත් හප හප උඩ තට්ටෙකුයි වටේ සුදුපාට කොණ්ඩෙ ටිකකුයි එක්ක ටිකට් කඩන මැශිමත් කිහිල්ලේ ගහගෙන කොන්දා මගේ ගාව ඇස් ගෙඩි ලොකු කරගෙන. තාත්තගෙ වයසේ ඉන්න පොර මට මල්ලිලු. ඒ කතා කරපු විදිහට ටිකට් මැශිමෙන්ම ඔලුවට එකක් අතඅරින්න හිතුනත් මං ඉවසුවා.
“ඇයි මේක තමුසෙලගේ තාත්තගෙ බස් එකද?”
මාත් හැබැයි සෙකන්ඩ් වෙන්න ගියේ නෑ. එක ඇහුනා විතරයි මේ යකා මගේ ලඟටම ඇවිත් උඩ ඉඳන් පහලටම කැත බැල්මක් දැම්මා ඇඟ සලිත වෙලා යන්නම. යකෝ සිප් එක වත් ඇරිලද? මං අල්ලලා බැලුවා. එහෙම නෑ ශේප්.
“මේක නුගේගොඩ ඉඳන් එන ලේඩීස් ස්කූල් බස් එක මල්ලි”
හම්මට යකෝ. ඒක ඇහුනා විතරයි මගේ ඇඟ හීතල වෙලා ගියා. තිබ්බ කලබලේට බස් එකට නැග්ගට එතනින් එහාට මං මුකුත් බැලුවේ නෑනෙ. ඔලුව උස්සලා වටපිට බලනකොට නානාප්රකාර පාට ටයි දාගත්ත කෙල්ලෝ ඉස්සි ඉස්සි මං දිහා බලනවා. කිංඩිය පෙට්ටියෙන් එකයි ඉතින්. කොල්ලො විතරක් හිටපු ඉස්කෝලෙක ඉගෙන ගත්ත මං දන්නවා ගවුම් කෑල්ලක් දැක්ක ගමන් දැනෙන ඒ හද කුල්මත් කරන මිහිර. ගල්ස් ඔන්ලි ඉස්කෝලවල කෙල්ලොන්ටත් එහෙම ඇති නේ ඉතින්. මිශ්ර ස්කෝලෙක නැතුව ගල්ස් ඔන්ලි හරි බෝයිස් ඔන්ලි හරි ඉස්කෝලෙක ඉගෙන ගත්ත අයට මතක ඇති ඒවා. එහෙන් මෙහෙන් මට ඇහෙන ‘ෂූ’ පාරවල් මැද්දේ ඔලුව උස්සලවත් බලන්න බැරි තරම් ආව ලැජ්ජාව නිසා මං ෆුට්බෝඩ් එකේ පහලටම බැස්සා. යකෝ මුන් කොල්ලෙක් දැකලා නෑ වගේනෙ.
“සමීර මල්ලි ඔයා කොහෙද මේකෙ?”
ඒ අස්සේ කොහෙදෝ ඉඳන් ගෙවල් ගාව ඉන්න අනුලා එකේ සඳරු අක්කා මගේ නමත් හෙන සද්දෙන් කියාගෙන ඔලුව දැම්මා. ඇස් දෙකත් ටොම්බ සයිස් වෙලා හොලමනක් දැක්ක වගේ. සැක් විතරක් ඔය තියන්නේ ඉතින්. මේකිට මගේ නමත් කියන්න ඕනෙද? ලැජ්ජාව කොච්චරද කියනවනම් පිහියක් තිබ්බ නම් කෑලි කෑලි කපන්න පුලුවන් තරමටම ලැජ්ජාව. කියන්න වචන එන්නෙත් නෑ. නමට කියලා එක කොල්ලෙක් හිටියා නම්, අඩු ගානෙ අර හෝල්ට් එකේ මගෙන් බස් එකට නගින්නද කියල අහපු එකෙක්වත් නැග්ගා නම්. උන්ගෙත් බලුකම කියන්නේ එකෙක් ඒ වෙලාවෙ කිව්වෙ නෑනෙ මේක කෙල්ලොන්ගේ ස්කූල් බස් එකක් කියලා. එතකොටම මට ගණදෙවි නුවණ පහල උනා. කොන්දා ඇතුලුව මුලු බස් එකේම උන් මං දිහා බලාගෙන.
“නෑ අක්කේ මං අපේ කොල්ලෝ සෙට් එක එක්ක ඔට්ටුවක් ඇල්ලුවා මේකට තනියෙන් නැගලා හෝල්ට් එකක් හරි යනවා කියලා. ඒකයි.”
සඳරු අක්කා හෙනම කිංඩි හිනාවක් දැම්ම. බොරුවක් කිව්ව කියලා නෝන්ඩිද? මට ගොතගැහුනදත් මංදා.
“බහිනවා බහිනවා ඉක්මනට ඊලඟ හෝල්ට් එකෙන්”
අක්කා එහෙම කියනකොටම කොන්දා අංකල් සද්දේ දාල බෙල් එකත් දෙපාරක් තුන් පාරක් ඇදලා ඉවරයි.
“ස්.. ස්.. ඔයාට මගේ ගවුමක් දෙන්නද ඊලඟ පාර?”
ඒ සද්දේ ආවේ කෙල්ලො හිටිය පැත්තකින්.
“නොදකින් මෙහෙමත් නැහැදිච්ච එවුන්. ඉස්කෝලෙ හොයන් පැමිණිලි කරන්න ඕනේ හරිනම්”
“නැහැදිච්ච දෙමව්පියන් ගේ නැහැදිච්ච ලමයි. මගේ උනා නම් දනී කරන වැඩේ”
ඒහෙම කිව්වේ කම්මුලටත් අත තියාගෙන මාව කන්න වගේ බලන් හිටපු මැඩම් කෙනෙකුයි. ඉස්කෝලේ යන පොඩි බබෙක්ව උකුලේ තියන් හිටපු ඇන්ටි කෙනෙකුයි. ඔක්කොම අහගෙන කණ් දෙකත් පාත් කරගෙන තෙමිච්ච පූසෙක් වගේ ඊලඟ හෝල්ට් එක වෙනකම් ගියපු මම කිංඩිය ලොකුවට රෝල් කරලා සාක්කුවේ දාගෙනම බස් එකෙන් බැස්සා.
ඔය සිද්දිය මං අපේ එවුන්ට විහිලුවට වත් කිව්වේ නෑ. කිව්වා නම් ඉතින් ඊට පස්සෙ වැටෙන කාඩ් ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. හැබැයි මං එදයින් පස්සේ හරියටම බෝඩ් බලලා මිසක් බස් වලට නැග්ගේ නෑ වැරදිලාවත්. පස්සෙ දවසක ඔය බස් එක දැක්ක වෙලාවක මං ආපහු හොඳට බෝඩ් එක දිහා බැලුවා. 170 අතුරුගිරිය කියලා ගහල තිබ්බ එක යටින් පේන්නේ නැති සයිස් එකෙ අකුරු වලින් පොඩියට කාන්තාවන්ට පමණයි කියලා වරහන් ඇතුලේ ලියලා තිබ්බා. ඕක ලොකුවට ලිව්වා නම් මුන්ට හෙන ගහනවද?
උපුටා ගැනීම: Sameera Gamage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!