ඇරියස් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දවස් වල ගොඩක් ප්රසිද්ධ යූ ටියුබ් නාලිකාවක එදා දවසේ සම්මුඛ සාකච්ඡාවට ඇවිත් තිබුණේ අපේ රටේ ගොඩක් ප්රසිද්ධ ගුවන්විදුලි නිවේදකයෙක්. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේකින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔහු එදා කියපු දේවල් වලිනුත් නරඹන්නන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. ඒ ගොඩක් දේවල් අතරින් ඔහු කියපු එක දෙයක් ජීවිත කාලෙම මතක තියෙන විදියට මගේ හිතේ තැන්පත් වුණා. මට මතක විදියට හරියටම නොවුනත් ඔහු කිව්වේ මෙහෙම.
“පොඩි කාලේ අපිට ඇරියස් තියෙන්න හොඳ නෑ. මොකද ලොකු උණාම අපි ඒ ඇරියස් කවර් කරන්න යනවා.”
බැලූ බැල්මට ලොකු දෙයක් වගේ නොපෙනුනාට ඒක මටත් අදාළ දෙයක් වගේ දැනුණු නිසා මං ටිකක් ඒ ගැන හිතල බැලුවා. ඒක ඇත්තටම ඇත්තක්ද? ඔයත් එක විනාඩියක් අරන් හිතලා බලන්න. හිතාමතාම නොකළත් අපි හැමෝම ලොකු උණාම, එහෙම පොඩි කාලේ තිබ්බ ඇරියස් කුඩා හෝ විශාල වශයෙන් කවර් කරන්න උත්සාහ කරලා හරි තියෙනවා කියල ඔයාටත් හිතෙයි.
එත් දුක හිතෙනම දේ තමයි එහෙම පොඩි කාලේ කරන්න, ලබා ගන්න, විඳින්න ආසාවෙන් බලන් ඉඳලා එහෙම කරගන්න බැරිවුණු දේවල් අපි ලොකු මිනිස්සු උනාට පස්සේ සිය ගුණයකින් ලබා ගන්න පුළුවන්කම තිබුණත්, පොඩි කාලේ ඒ දේ හම්බුනානම් ලැබෙන්න තිබුණ සතුට ලොකු වෙලා ඒ දේවල් ලබා ගත්තම දැනෙන සතුටට සමාන කරන්න තියා ළඟින්වත් තියන්න බැරි එක. ඒකට ඔයාට මට උදාහරණ ඕනෑතරම් ඇති.
මම ෆේස්බුක් පිටුවල පළවෙන සමහර හොඳ ලිපි හරිම ආසාවෙන් කියවනවා. මං මේ කතා කර කර ඉඳපු මාතෘකාවට උදාහරණ විදියට දෙන්න පුළුවන් හරිම රසවත් ලිපි කීපයක් මං ළඟදී කියෙව්වා.
ඒ එකක රචකයා කියනවා එයා පොඩි කාලේ මවුන්ටන් බයිසිකල් එකක් පදින්න හරිම ආසාවෙන් හිටියා කියලා. එත් ඒ හීනේ එයාට පොඩි කාලේ හැබෑ කර ගන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. එයා කියනවා “මට දැන් මවුන්ටන් බයිසිකල් 10ක් උනත් ගන්න සල්ලි තියෙනවා. එත් එදා පොඩි කාලේ එක හම්බුනා නම් ලැබෙන්න තිබුණ සතුට මට දැන් ඒක පැදලා ගන්න බෑ” කියලා.
තවත් ලිපියක කතා නායිකාව ගැහැණු ළමයෙක්. එයාට පොඩි කාලේ තේ බොන්න තිබිල තියෙන්නේ පරණ පාට ගියපු ප්ලාස්ටික් කෝප්පයක්. ඒත් එයා ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා ලස්සන මල් වැල් ඇඳපු සුදු පාට පෝසිලේන් කෝප්පෙක තේ බොන්න. ගෙදරට එන අමුත්තන්ට තේ දෙන්න අම්මා ඒ ලස්සන කෝපප කබඩ් එකෙන් එලියට ගත්තම එයා ආසාවෙන් ඒකක තේ බොන්න හීන මවනවා. ඒත් එයා ඒක බිඳලා දාවි කියන බය නිසා එයාට තේ බොන්න ගෙදරින් කවදාවත් ඒ වගේ ලස්සන කෝප්පයක් හම්බ වෙන්නෙ නෑ. එයත් අන්තිමට කියනවා දැන් එයා ළඟ ඕන තරම් ඒ වගේ ලස්සන ලස්සන පෝසිලෙන් බඩු තියෙනවා, එත් අර පොඩි කාලේ තිබුණ අමුතු හැබෑ කරගන්න බැරිඋන හැඟීම දැන් ඒවගේ තේ බිව්වට ලැබෙන්නේ නෑ කියලා.
ඔයත් තත්පර කීපයක් අරන් හිතලා බලන්න. ඔයාටත් පොඩි කාලේ එහෙම හීන කොච්චර තිබිලා මැකිලා යන්න ඇත්ද? ඒ වගේ සතුටු වෙන්න තිබුණ අවස්ථා කීයක් එකේක හේතු නිසා මගහැරෙන්න ඇත්ද?
ඒ එක පැත්තක්. මේ සංසිද්ධියේ ඊළඟ පියවර තමයි එහෙම පොඩි කාලේ ලැබුණු නැති දේවල් අපි සමහර වෙලාවට පුලුවන් උනු කාලෙක අසීමිතව ලබා ගන්න උත්සාහ කරනවා. ඒක හරිම අහිංසක දෙයක් වගේ පෙනුනට මේක බරපතල තැනකින් ඉවර වෙන්නත් පුළුවන්.
මං ගොඩක් අහල තියෙන එකේක විදියට වෙන එකම සිද්දියක් තියෙනවා. හිතන්න කවුරුහරි දරුවෙක් හරිම ආසයි අයිස් ක්රීම් කන්න. දවසක් මේ දරුවා කාටහරි පිළිගන්වන්න ගෙනාපු අයිස් ක්රීම් එකක් හොරෙන් කනවා එයාගේ තාත්තට අහු වෙනවා. ඒ තාත්තා ඒ දරුවට බනිනවා ගහනවා වෙනුවට ඒ අයිස් ක්රීම් එකම ඇති වෙනකන් තනියම කන්න කියනවා. ඒ දරුවාගේ ඒ මහා ආසාව මුල්ම අයිස් ක්රීම් ටික කද්දී ඉෂ්ට වෙනවා. ඊළඟ ටික කද්දී එක හොඳටම ඉෂ්ට වෙනවා. තව කද්දී ගොඩාක් වෙලාවට අර තිබුනු විශේෂ ආසාව හරිම සාමාන්ය දෙයක් වෙලා.
ඉතින් මේ සංසිද්ධිය අයිස් ක්රීම් වෙනුවට අපිට තව තව දේවල් ආදේශ කරලා හිතන්න පුළුවන්. එත් හැම දෙකටම සීමාවක් තියෙන නිසා දෙමාපියන් වුනත් ඒ වගේ දේවල් කරද්දී සීමාව දැනගෙන කරන එක වැදගත්.
ඉතින් මට කියන්න ඕන වුණේ මෙච්චරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ ඔවුන්ගේ වුවමනාවට නොවෙයි. දෙමාපියන්ගේ වුවමනාවට. ඒ නිසා කොහොම ආර්ථික තත්වෙක හිටියත් එයාලට හොඳම දේ දෙන්න උත්සාහ කරන්න. මේ දේ ගොඩාක් දෙමවුපියෝ තමන්ගේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන දෙයක්. එත් තමන්ගේ දරුවාව තේරුම් ගන්න එක සියල්ලට වඩා වැදගත්. සමහර වෙලාවල් වලට ඔබ හිතන ලොකු ලොකු දේවල් වලට වඩා චූටිම චූටි දේක ඔබේ දරුවාගේ ජීවිත කාලෙටම මතක තියෙන සතුටක් රැඳීලා තියෙන්න පුළුවන්. ඒ දේ ලබා ගැනීමේ සතුට ඒ අදාළ වෙලාවේ ලබා නොදීමෙන් ජීවිත කාලෙටම දරුවට අහිමි වෙන්න පුළුවන්.
මේක පරිස්සමෙන් තේරුම් ගන්න ඕන දෙයක්. මේ කියන්නේ දරුවා ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න කියල නෙවෙයි. මේක තේරුම් ගන්න හොඳම ක්රමය තමයි තමන්ගේ කුඩා කාලය උපමා කරගෙන හිතන එක. ඔයාටත් එහෙම ඇරියස් එකක් තාමත් තියෙනවා නම්, ඒ දේ දැන් ලබා ගත්තම දැනෙන සතුට එදා ලැබුණානම් ලැබෙන්න තිබුණ සතුටට වඩා අඩුනම්, ඔබේ දරුවාව ඇරියස් නැති දරුවෙක් විදියට හදන්න. එවිට ඒ දරුවා ලොකු මිනිහෙක් උනු දවසට පොඩි කාලේ ඇරියස් කවර් කරන්න යන්නැති සාමාන්ය දරුවෙක් වෙයි.
වැදගත්ම දේ තමයි මොන දේ ඇරියස් කරත් පොඩි කාලේදී තමන්ගේ දරුවට දෙන්න ඕන ආදරේ නම් ඇරියස් කරන්න හිතන්නවත් එපා . මොකද පොඩි කාලේ නොලැබුණු ආදරේ ඇරියස්, ලොකු උනාම කවර් වෙන්නේ හරිම භයානක අස්වාභාවික විධි වලට. ඉතින්, එපමණයි.
උපුටා ගැනීම: Maheesha Dilshani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!