“මාතර බත් කඩේ” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම හේමන්ත එක්ක යාලු වෙනකොටම අපේ ගෙදරින් දැනගත්තට අපි කාලයක් ගතවෙනකම් හැසිරුණේ මුකුත්ම නොදන්න ගානට. අම්මා තාත්තා මගෙන් ඒ ගැන ඇහුවෙවත්, මම එයාලට කිව්වේවත් නෑ. ඒත් මම දැනගෙන හිටියා එයාලා ඒ ගැන දන්නවා කියලා.
අපි යාලුවෙලා අවුරුදු 6ට පස්සේ කැම්පස් ඉන්දෙත්දි මට හැදුනා සෙංගමාලේ. ලෙඩේ සනීප වෙනකම් දැනගෙන හිටියෙත් නෑ ඒ හැදුනේ සෙංගමාලේ කියලත්. ඒ දවස්වල අපිට එක්සෑම්. ලෙඩෙත් එක්කම එක්සෑම් ලියපු මට හදිසියේම හිතුනා ගෙදර ගියොත් හොඳයි කියලා. කොහොමත් වැකේෂන් එකනේ. සනීප කිව්වට සනීපම වෙලා නොතිබිච්ච නිසා හේමන්ත මාව ගෙදර එක්කගෙන ගියා. කෝල් කරල ගෙදරට කිව්වේ,
“මම හෙට ගෙදර එනවා”
කියලා විතරමයි. බස් එකෙන් බැහැලා, බස් ස්ටෑන්ඩ් එක ළඟම තිබුණ ත්රීවීල් පාක් එකෙන් ත්රීවිලර් එකක් අරන් ගෙදර ළඟින් මාව බස්සපු හේමන්ත ඒකෙම ආපහු ගියා හැරෙන තැපෑලෙන් කොළඹ යන්න හිතාගෙන.
තාත්තා: “කොහොමද ආවේ? තනියමද?”
මම: “නෑ, හේමන්තත් එක්ක”
අම්මා: “කෝ දැන් හේමන්ත?”
මම: “ආපහු ගියා”
අම්මා” මෙච්චර දුර ඇවිත්, වතුර ටිකක්වත් නොබී?
මම: “කොහෙන් හරි කාලා යයි”
අම්මා: “මම ඉව්වනේ හේමන්තටත් එක්ක”
තාත්තා : ” අපි දැන් ටවුමට ගියොත් අපිට පුළුවන් වෙයිද එයාව හොයාගන්න”
මම නිශ්ශබ්දයි.
තාත්තා : “කථා කර කර ඉන්න වෙලාවක් නෑ. මිස් වෙන්න කලින් යමු”
මම හිටියේ තුෂ්නිම්භූත වෙලා. පලවෙනි එක, අම්මා මොකටද හේමන්තටත් එක්ක ඉව්වේ මම කිව්වයැ මම එන්නේ එයා එක්ක කියලා. දෙවනි එක ජීවිතේටවත් නොදැකපු කෙනෙක් ගැන මොකද්ද මේ හදිසියේම මතු වෙච්ච සත්ත්ව කරුණාව? තුන, මම තවමත් හොඳටම සනීප නොවිච්ච සෙංගමාල ලෙඩෙක්. පැය 7ක් බස් එකේ ඇවිත් හේමන්තව හොයන්න ගිනි අව්වේ ටවුන් එකට යනවා කියන්නේ එපාම කරපු දෙයක්.
ඒ උනත් ඉතින් වෙන්ඩ ඉන්න මනුස්සයා ගැන මටවත් නැති කරුණාවක් දෙමව්පියෝ දෙන්නට පහළ වෙච්ච වෙලාවේ ලෙඩා දුකා කියලා මග අරින්නත් බැරි නිසා මමත් ආවා බැරි බැරි ගානෙම පාරට තාත්තත් එත්ක. පේන තෙක් මානෙකවත් ත්රීවිලර් එකක් නෑ. තාත්තා කැමති උනේ නෑ එකක් එනකම් ඉන්නත්. පයින්ම ටවුන් එක පැත්තට ඉක්මනට ඉක්මනට ඇවිදගෙන යනකොට ආව ත්රී විලර් එකට නැගලා තාත්තාගේ ප්රශ්න වැලට උත්තර දිදි බස් ස්ටෑන්ඩ් එකටත් ගියා. පොර නැ. එතකොටම දැක්කා මමයි හේමන්තයි ගෙදර ගියපු ත්රී විලර් එක. මම දුවගොන ගියා එතෙන්ට.
“දැන් ටිකකට කලින් මමත් එක්ක ගියපු කෙනා කොතනද බැස්සේ?”
“ආ, ඒ මහත්තයා කොමර්ෂල් බැංකුවට ගියා. මම මේ බස්සලා ආවා විතරයි.”
අපි දෙන්නා ඒ පාර පයින්ම ගියා බැංකවට මීටර් 200ක් විතර ඈතින් තිබිච්ච. සල්ලි ගන්න ඒටීඑම් එකට යන්න ඇති. ඒත් එතනත් හේමන්ත නෑ. ආපහු අපි ආවා බස් ස්ටෑන්ඩ් එකට. කිව් එකෙත් නෑ. නවත්තලා තිබුන බස් එකෙත් නෑ. ඔය ඉක්මනට යන්න විදියකුත් නෑ.
“සමහර විට කන්න යන්න ඇති”
“එයා මොන වගේ කඩවල්වලටද යන්නේ?”
“සල්ගාදු එකේ බලන්න. නිල්පාට ෂර්ට් එකක් ඇඳලා, ස්පෙක්ස් දාපු කෙනෙක්”
තාත්තා මට කිව් එකේ ඉන්න කියලා කට්ට අව්වෙම සල්ගාදු එක පැත්තට ගියා. ෂුවර් එකටම එතන ඇති. මට හිතූනේ එහෙම. මොකද හේමන්ත බදුල්ලේ ආව දවසට කෑම ගත්තේ එතනින් විතරමයි. ටිකකින් මට පේනවා මාමයි බෑණයි හිනාවෙවි, කතා කර කර එනවා.
එදා හේමන්තව අපි ගෙදර එක්කගෙන ආවා. අම්මා චිකන්, කොල්ලු, මයියොක්කා කොළ මැල්ලුම් හදලා තිබුනා. හේමන්තත් බැරි බැරි ගානේ බත් චුට්ටක් කාලා පැයක් විතර ඉඳලා කොළඹ එන්න ආවා.
තාත්තා හේමන්තව හොයාගෙන සල්ගාදු එක පැත්තට යනකොට නිකමට වගේ හිතුනලු මාතර බත් කඩේට ගිහින් හේමන්තව බලන්න. ඒකට හේතුව තමයි තාත්තා ජීවිත කාලෙන් වැඩිපුර කාලයක් බදුල්ල බණ්ඩාරවෙල ගත කරත් එයාගේ කටේ නිතරම තිබුනේ,
“මම ගාල්ලේ”
“මම දකුණේ”
“මම පහතරට”
කියන වාක්ය 3. ඉතින් එයා ලංකාවේ කොහේ ගියත් ඉපදිලා හැදුන වැඩුන පළාතට විශේෂ ලැදියාවක් තිබුණා වගේම අනිත් අයත් එහෙමයි කියලා විශ්වාස කරා. තාත්තට හිතුනලු හේමන්ත දෙනියායේ නිසා මාතර බත් කඩේට යන්න ඇති කියලා.
ඇත්තටම එදා හේමන්ත කන්න ගිහින් තිබුනේ හැමදාම ගිහින් පුරුදු සල්ගාදු එකට නෙමෙයි. තාත්තා අනුමාන කරපු විදියටම මාතර බත් කඩේට. තාත්තා යනකොට පිටිපස්සෙම මේසේ වාඩිවෙලා ඉන්නවලු නිල්පාට ෂර්ටි එකක් ඇඳපු ස්පෙක්ස් දාපු කොළුවෙක් වාඩි වෙලා. පාන් භාගයක් බීෆ් කරි එකක් එක්ක කාලා ප්ලේන්ටිය බීලා ඉවර කරත්දිම කවුද මනුස්සයෙක් ළඟට ඇවිත් ඇහුවලු “පුතා දෙනියායෙද?” කියලා. හේමන්ත “ඔව්” කිව්වම ඇහුවලු “පුතාගේ නම හේමන්තද?” කියලා. හේමන්තත් “කවුද යකෝ මේ” කියලා කලබල වෙච්ච පාර වාඩි වෙලා හිටපු පුටුවෙනුත් නැගිට්ටුනාලු. එයා හිතලා තියෙන්නේ අම්මගේ යාලුවෙක් වෙන්න ඇති කියලා.
“මම අනුරුද්ධිකාගේ තාත්තා”
කියලා, හේමන්තවත් එක්කගෙන හිනාවෙවි ඇවිත් තියෙන්නේ අනුමානය හරි ගියපු නිසයි, පහතරට මිනිස්සුන්ගේ පොදු ලක්ෂණය ගැන සතුටටලු. තාත්තට හිනා යන්න තවත් කාරණයක් තිබුණා කියලා මම දැනගත්තේ තාත්තා නැතිවෙලා අම්පාරේ යත්දි හේමන්තම මට කිව්වට පස්සේ.
එදා හේමන්ත පාන් කාලා, ප්ලේන්ටි බීලා මහන්සියටත් එක්ක සිගරට් එකකුත් පත්තු කරගෙන බිබි ඉන්නකොට තමයි තාත්තා ලඟට ගිහින් තියෙන්නේ. පුටුවෙන් නැගිට්ටිලා තියෙන්නේ සිගරට් එක නිසාලු. ඒ ගැන තාත්තා මට කියයි කියලම තමයි හේමන්ත හිතලා තියෙන්නේ. ඒත් එයාට තේරිලා තියෙනවා තාත්තා මට ඒක කිව්වේ නෑ කියලා. සිගරට් කියන්නේ ඉතින් මට අපි කසාද බැඳලා නොහිටියත් ඩිවෝස් කේස් එකක් ෆයිල් වෙන තරමේ දෙයක් මට.
දවසකට සිගරට් 10ක් විතර බීපු තාත්තට හේමන්ත සිගරට් බොනවා එක දැකලා මොනවා හිතුනද කියලා ඇත්තටම දන්නේ නැති උනත් හේමන්ත තාත්තට ගරු කරනවා ඒක මාත් එක්ක නොකියපු එක මගේ තාත්තගේ කොලිටි එකක් කියලා. අඩුම තරමේ මම තාත්තා එක්ක සිගරට් බොන එකට රණ්ඩු කර ගනිත්දිවත්.
හේමන්ත වැඩිපුරම අපහසුතාවයට පත් වෙලා තිබුනේ සිගරට් එකටත් වඩා බඩ පැලෙන්න කාලා ඉන්දෙත්දි අම්මා කන්න කන්න කියලා වද කර කර බත් බෙදත්දිලු.
මගේ අක්කලා දෙන්නම කසාද බැන්දේ බදුල්ලේ දිස්ත්රික්කයෙන් නිසා තාත්තා හරිම ආදරෙන් හිටියා හේමන්තට තාත්තා නැතිවෙනකල්ම.
“එක බෑණා කෙනෙක් හරි පහතරට වෙච්ච එක හොඳයි නාලනී”
කියලා අම්මත් එක්ක නිතරම කිව්වා කියලත් මම දැනගත්තේ පස්සේ. පහතරට ඉපදිච්ච මිනිස්සු ලංකාවේ අනිත්පැතිවලට වඩා තමන්ගේ පැත්තට ලැදියාවක් තියෙනවා කියලා මමත් සමහර වෙලාවට දැකලා තියෙනවා. ඒකට කියන්නේ,
“පහතරට මිනිස්සු පහතරටට අදිනවා”
කියලා. ලංකාවේ කොතනකදි හරි “මාතර බත් කඩේ”කියලා ගහලා තියෙනවා දැක්කම මට තාත්තා මතක් වෙලා දුක හිතෙනවා.
උපුටා ගැනීම: Anu Jayawardane

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!