දළදා වහන්සේ ලංකාවට වැඩම වීම ගැන නොදන්නා අතීත කතාව (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලාංකීය බෞද්ධයන්ගේ වටිනා මහාර්ඝ වස්තුව විදියට සලකනු ලබන්නේ ශ්‍රී දළදා වහන්සේ. ඉතින් දේශීයන්ගේ වගේම විදේශීය ජනතාවගේත් වන්දනයට ලක්වෙන දළදා වහන්සේ සතුව තියෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. අද වෙනකොට දළදා වහන්සේ පාදක කොටගෙන සංස්කෘතියක් වගේම දළදා සාහිත්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ දළදා සංස්කෘතියේ ප්‍රමුඛතම අංගය විදියට මහනුවර ශ්‍රී දළදා පෙරහැර හදුන්වන්නට හැකියි. ඉතින් මේ දළදා වහන්සේ එකල රාජ්‍යත්වයේ සංකේතය විදියටයි සලකනු ලැබුවේ. දළදා වහන්සේ වගේම පාත්‍ර ධාතුව හිමිවීම රජකමට සුදුසු බව තීරණය කරපු සාධකයක් වුණා. එකල අතීත රජවරු විවිධ සතුරු ආක්‍රමණ හමුවේ පලා ගියපු සෑම අවස්ථාවකම දළදා වහන්සේ සඟවා රහසේ ආරක්ෂා කළා. ඒ ඒ ස්ථානවල දළදා මැදුරු නිර්මාණය කළා. විදේශීය ආක්‍රමණිකයන් දළදා වහන්සේ ලබාගන්නට උත්සාහ කළේ දළදා වහන්සේ සතුවීම රජකමට සුදුකමක් ලෙස එකල සැලකුණු නිසා. ඉතින් මේ සර්වඥ ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ කොහොමද කවුරුන් ද යන්න ගැන අද කතා කරමු.

ඉතින් දළදා වහන්සේ මෙරටට වැඩම කරවූයේ හේමමාලා සහ දන්ත කුමරු වග දන්නා කාරණයක් . ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව  සර්වඥ ධාතූන් වහන්සේලා දඹදිව රජවරුන් අතර බෙදාදීම සිදුකළේ ද්‍රෝණ බමුණා විසින් . බුදුන් වහන්සේ පරිනිර්වාණයට පෙර කරන ලද අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් වශයෙන් ආදාහන චිතකයේ දී ලලාට ධාතුව,  හකු ධාතු දෙනම, සතර දළදා වහන්සේලා හැර ඉතිරි දළදා වහන්සේලා ඉතා කුඩා කැබලිවලට විසිරී තිබුණා.ඒ අවස්ථාවේ එහි සිටි ඛේම නම් රහතන් වහන්සේ නමක් බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව ඉතා සූක්ෂම අයුරින් ආදාහන චිතකයෙන් පිටතට වඩමවා  දඹදිව කළිගු රට බ්‍රහ්මදත්ත රජු අතට පත් කළ බව කියවෙනවා.

කලිගු රට රජු සහ ඔහුගේ ඇවෑමෙන් ආ රජ පරපුරත් මේ දන්ත ධාතුන් වහන්සේ උදෙසා පූද පූජා පවත්වමින් ආරක්ෂා කළා.ඉතින් ලංකාවට වැඩම කරවූයේත් මේ කළිගු රට ජනතාවගේ වන්දීය පූජනීය ධාතූන් වහන්සේ.

කළිගු රටේ ඇති වූ යුධ වාතාවරණය හමුවේ ගුහසීව රජු තම දියණිය හා බෑණනුවන් අත දළදා වහන්සේ ලක්දිවට වැඩම වන්නට කටයුතු කරන්නේ ක්‍රි .ව. 310 දී .  හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලංකාවට දළදා වහන්සේ වැඩම කරවීමේ දී මුහුණපාන්නට සිදු වූ දුෂ්කරතා විවිධ මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ දාඨා වංශය, දළදා සිරිත සහ මහාවංශය ආදී ග්‍රන්ථවලයි.

මේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු සන්‍යාසී වේශයක් මවාගෙන දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා කේෂ කලාපයේ සඟවා ගෙන ආ බව සඳහන්.ඔවුන් දෙදෙනා ඉන්දියාවේ තාම්රලිප්ත තොටුපලින්  නැව් නැග වර්තමාන ලංකා පටුනින් ගොඩබසින ලද බව කියවෙනවා. දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමට තාම්රලිප්ත තොටුපලෙන් නැව් නැගීමට පෙර ගං ඉවුරේ  වැලිතලාව මත වැලි දාගැබක් තනා ඒ තුළ  දළදා වහන්සේ සඟවා තැබූ බව සඳහන් වෙනවා.

දන්ත ධාතූන් වහන්සේ සතුරන්ට හසුවේයැයි බියෙන් නදිය අසල වනයේ සැඟවී සිටිද්දී ගුවනේ ගමන් ගත් රහතුන් වහන්සේ කෙනෙක් ගං තෙර වැලි සෑයෙන් විහිදුණු සවණක් ගණ බුදු රැස් දැක අහසින් බිමට බැස දළදා වහන්සේ වැඩ සිටි තැනට වැඩම කළා. බියෙන් සිටි හේමමාලා කුමරියගෙන් සහ දන්ත කුමරුගෙන් තොරතුරු විමසා කිසියම් බියක් වියවුලක් ඇතිවුවහොත් උන්වහන්සේ සිහි කරන්නැයි උපදෙස් දී නැවත අහසට නැගී වැඩම කරන්නට වුණා.

එහිදී නාග ලෝකයෙන් පැමිණි පණ්ඩු නම් නා රජු දළදා වහන්සේ පැහැරගෙන ගඟ දියේ සැඟවී නාග ලෝකයට ගෙන ගිය බවත් එවිට හේමමාලා සහ දන්ත කුමරු දළදා වහන්සේ නැති බව දැක  හඬමින්  රහතන් වහන්සේ  සිහිපත් කළා. එවිට රහතන් වහන්සේ භයානක ගුරුළු වෙසක් ගෙන ගැඹුරු දිය දෙබෑ කරගෙන  නාග ලෝකයට ගොස් නා රජු බියගන්වා නැවත දළදා වහන්සේ තැන්පත් කර ඇති රුවන් කරඩුව ආපසු ඔවුන්ට ලබාදුන්නා.දෙවියන්ගේ රැකවරණ මැද දළදා වහන්සේ හේමමාලාවන්ගේ ශීර්ෂයේ සඟවා වැඩම කර වූ බව සඳහන් වෙනවා.   ඒ වගේම ලක්දිවට එන අතරමගදී මුහුද මැද යාත්‍රාව නතර කර නාලොව නාගයන් දින 7ක් මුළුල්ලේ කඩුපුල් මල් සහ මදාරා මල්වලින් පූජා පවත්වමින්, වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් පූජෝපහාර පැවැත්වූ බවත් කියවෙනවා.

කුණාටු තත්ත්ව මඟ හරවා දුක් ගැහැට විඳ ලංකාවට ගොඩබසින්නට අවශ්‍ය පසුබිම මේ රහතන් වහන්සේ සකස් කළ බව සඳහන් .ඒ වගේම ලංකා පටුනේ සිට අනුරාධපුරයට වඩමවන්නට පෙර නාග දේවලයට වැඩම කොට රැයක් එහි තබා පිටත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

එවකට ලංකාවේ අගනුවර වූ අනුරාධපුරයට දළදා වහන්සේ වැඩම කරවා මේඝවනයේ විහාරක් තනවා එහි තැන්පත් කරන ලද බව දළදා සිරිතේ සඳහන්. එහිදී රාජකීයන් මවිතයට පත් කරමින් දළදා වහන්සේ ප්‍රාතිහාර පෑ බවත් කියවෙනවා .එවකට ලක්දිව පාලකයා වුණේ මහසෙන් රජුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු. කිත්සිරිමෙවන් රජු දළදා වහන්සේ මෙරටට වැඩම කරවූ දන්ත කුමරුට සහ හේමමාලා කුමරියට දළදා වහන්සේ රැක  බලා ගැනීමේ වගකීමත් පවරනු ලැබුවා. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බෙලිගල් කෝරළයේ කීරවැල්ල නම් ගම්මානය ඔවුන්ගේ පදිංචියට සන්නස් පත්‍රයක් මගින් පැවරීමෙන්. එතැන් සිට මේ පරපුර කීරවැල්ලේ පරපුර විදියටයි හඳුන්වනු ලැබුවේ.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, යාපහුව, කුරුණෑගල, දඹදෙණිය හා කෝට්ටේ ආදී රාජධානි සමයන්වලදී දළදාව රැක ගැනීමේ භාරදූර්ය කාර්යයත් මේ කීරවැල්ලේ පරපුර විසින් සිදු කළා.

ඒ වගේම ක්‍රි .ව. 4 දළදා වහන්සේ නව කරඩුවකට ඇතුළත් කර  දළදා පෙරහැරක් පවත්වා වාර්ෂිකව දළදා පෙරහැර පැවැත්වීමටත් නියෝග කළා. පොළොන්නරු යුගයෙන් පසුව ඇති වූ සතුරු ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ නිදන් කොට තබා සංඝයා වහන්සේලා විදෙස්ගත වූ බව සඳහන් වෙනවා.ඒ බැව් දැන ගත් කාලිංග විජයබාහු කුමරු දළදා වහන්සේ බෙලිගලට වඩමවා දළදා මැදුරක් සාදවා තැන්පත් කර තියෙනවා.එහිදී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑ බවත් කියවෙනවා. ඔහුට රාජ්‍යත්වය ලැබුණේත් දළදා වහන්සේගේ අයිතිය ලැබුණු පසුව බව පැවසෙනවා .

සතුරු උවදුරු හමුවේ දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා සැබෑ දළදා වහන්සේ සඟවා දළදා වහන්සේගේ අනුරුවක් සාදවා සතුරන් මුලා කෙරූ අවස්ථා නැතුවාම නෙවෙයි. වරක් දඹදෙණි යුගයෙන් පසුව සතුරන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව පැහැරගෙන පාණ්ඩව දේශයට ගෙන ගොස් තියෙන්නේ සැබෑ දළදාව නොව දළදා වහන්සේගේ අනුරුව බව ජනප්‍රවාදවල සඳහන්. ඒ වගේම කෝට්ටේ යුගයේදීත් කීරවැල්ල පරපුරට අයත් හිරිපිටියේ දිවන නිළමේතුමා දළදා අනුරුවක් මාලිගාවේ තබා රහසේ පිටමං වූ  බව කියවෙනවා.ඉතින් මේ බොහෝ අවස්ථාවලදී සැබෑ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑ බව සඳහන් වෙනවා.

දළදා වහන්සේ මෙරටට වැඩම කරවූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරුගෙන් ඇරඹී කීරවැල්ල පරපුර දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කරමින් සම්බුද්ධ ශාසනයත්, රටත් ආරක්ෂා කරන්නට කැප වුණා.රාජ්‍යත්වයට පත්වෙන්නට එකල රාජකීය කුමරුන් කාලිංග කුමරියන් පාවා ගත්තත් ශ්‍රී වීර පරක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ පසුව සිංහල රාජාවලිය අවසන්වීමත් සමඟ අග මෙහෙසියන් ඉන්දියාවෙන් ගෙන්වනු ලැබුවා. ඒත් සමඟම දළදා වහන්සේගේ භාරකාරිත්වය ඉසිලූ කාලිංග පෙළපත අභාවයට ගියා. සමාජ තත්ත්වය පහත වැටුණා. ඉන්පසුව දළදා වහන්සේගේ භාරකාරිත්වය ඒ පරපුරවලට ඥාති සම්බන්ධතා දැක් වූ සංඝයා වහන්සේලා වෙත පැවරුනු බව සඳහන්.

1815 දී සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් පසුව දළදා වහන්සේ සඟවා ගෙන සිටි වාරියපොළ සුමංගල හිමියන් සිරිභාරයට ගෙන උන්වහන්සේ සතු වූ දළදා වහන්සේ ඉංග්‍රීසීන් සතුකර ගනු ලැබුවා . කොහොමවුණත්  අද වන විට සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ උදේනි රජුගේ පුත් දන්ත කුමරු සහ හේමමාලා කුමරිය මහත් බැතියෙන් පීඩා විඳ මෙරටට වැඩම වූ කීරීවැල්ලේ පරපුර දිවි හිමියෙන් ආරක්ෂා කළා වූ අභීත සිංහල පාලකයන් වරින් වර සතුරන්ගෙන් සඟවා ආරක්ෂා කළා වූ උත්තම දළදා වහන්සේ ය.

 

 

උපුටා ගැනීම:  The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!