මේ ලිපිය ආණ්ඩුවට කඩේ යාමක් යයි කෙනෙක් සිතන්නේ නම් එය වැරදිය.
මක්නිසාදයත්, මේ කතාව වසර දශකයක සිට පමණ කියන හෙයිනි. විස්තර කරන්නට ඉඩ දෙන්න.
… “දැන් ඉතින් කිරි බීලත් හමාරයි… ! … ගෘහ මූලිකයා කියුවාය. … “හොඳ වැඩේ උඹට !… මා කීවෙමි. … “තේ වේල් තුනෙන් එකක් වත් තේ විතරක් අරගෙන, ඉඟුරු දාලා බොනවා”… ! … එය පිළිතුර විය.
මේ ලෝකයේ වැඩිහිටියෙක්ව කිරි බොන්නේද, අන් සතෙක් ගේ කිරි බොන්නේද, එකම එක සතෙක් පමණි. ඒ නම් මිනිස් සතාමය. කිසිම සතෙක් වැඩිහිටියෙක් වූ පසු කිරි බොන්නේ නැත. මෙය නිවාස වල කෘතිමව ඇති කරන පූසන් වැනි සතුන්ට අදාළ නැත්තේ, ඔවුන් එය පුරුද්දක් කරගෙන ඇති හෙයිණි.
මිනිසුන් වන අපද එය පුරුද්දක් කරගෙන ඇත්තෙමු.
හැකි නම් කිරි බෝතල් භාගයක් පමණ බී, “එදින බඩ බුරුලට යන්නේ නැද්ද” කියා බලන්න. ඊට හේතුවක් තිබිය යුතුය. හේතුව වන්නේ, ශරීරය එය ප්රතික්ෂේප කිරීමය. මිනිස් ශරීරය මගින් බොහෝ ආහාර දිරවන බව සැබෑවැකි. කිරි නම් “මියුකස්” එකක් වී ශරීරයෙන් පිටතට යන බව සමහරු කියති.
හැකිනම් සතියකට කිරි පිටි බීම අතහැර, සීණි අඩුවෙන් තේ පානය කර බලන්න. එවිට තේ වල මින් පෙර අත්නොවිඳි රසයක් දැනෙනු ඇත. මෙය තේ වලට පමණක් නොව, රණවරා, පොල්පලා වැනි බීම සඳහාද සත්යයකි.
බොහෝ මව්වරුන් නගන මැසවිල්ලක් නම්, “දරුවා කිරි අප්රිය කරන බවය”. එය වන්නේ දරුවාගේ වයස වසර පහක් පමණ වන විටය. හිටි හැටියේ ඒ දරුවා කිරි බීම අප්රිය කරයි. මීට හේතුව වන්නේ කිරි දිරවා ගැනීමට අවශ්ය එන්සයිම තව දුරටත් සිරුරේ නිෂ්පාදනය නොවීම සහ සහජ ඥාණය මගින් ක්රියාත්මක වන මනසෙන් ඒ ප්රතික්ෂේප කිරීම ඇති වන හෙයිණි.
මේ සහජ ඥාණය අප සියල්ලන්ටම ඇත. එය කුඩා කාලයේ තීව්ර ව ඇති වී, කෙමෙන් ක්ෂය වී යයි. එසේ ක්ෂය වී යන්නේ අප නවීන ලෝකයට හැඩ ගැසී ඇති බැවිනි. වනචාරී ගෝත්රයක් වන, “අන්දමන් දූපත් වැසියන්ට”, මේ “ඉව” වැඩිහිටියන් වූ පසුද ඇත. ආසියානු සුනාමියේදී, ඉන් විනාඩි කීපයකට පෙර ඔවුන් කඳුකරයට ගමන් කළහ. එකෙකුවත් ඉන් මිය ගියේ නැත. ශිෂ්ට යයි කියන ලෝකයේ, සුනාමිය නිසා ලක්ෂ ගණනාවක් මිය ගියහ. ඒ අයුරෙන්ම ශිෂ්ට යයි කියන ලෝකයේ සිටින අප කිරි පිටි වලටද, අපේ අසංවේදී බව පෙන්වමින් සිටින්නෙමු.
නැවත කිරි පිටි ගැන කීවොත්; එළ කිරි වලටත් වඩා කිරි පිටි ඉතාම අයෝග්ය ආහාරයක් වේ. මක්නිසාදයත්, එසේ කිරි පිටි නිෂ්පාදන ඇති කිරීමට ශරීරයට අහිතකර රසායනික ද්රව්ය භාවිතා කරන හෙයිනි. මේ ගැන දන්නා අපේ පැරැන්නන් කිරි නොව, ඉන් තනන අනෙක් නිෂ්පාදන ගැන වැඩි සැලකිල්ලක් දැක්වූහ.
මෙහි ඇති අනෙක් අරුමය වන්නේ, මේ කිරි පිටි වලට ලංකාව වැනි පසුගාමී නොදියුණු රටවල් වල සිටින ජනතාව පමණක් ඇබ්බැහි වීමය. ස්වයංපෝෂිත වූ පැරණි ගම්මානයේ කිරි සහ ඉන් තනන නිෂ්පාදන කෙමෙන් නැති වීම ගැන, “මාර්ටින් වික්රමසිංහ” මහතාගේ “අපේ ගම” නම් කෘතියේ පැහැදිළිව දක්වා ඇත. මේ සඳහා පුද්ගලික අත්දැකීමක්ද කියන්න කැමැත්තෙමි.
කලකට පෙර රාජකාරී ගමනක් සඳහා එංගලන්තයට ගියෙමි. එවිට කුඩා දරුවෙක්ව සිටි මගේ දියණියක්ද බිරිඳ ද කැටුව ගියෙමි. සම්ප්රදායික ශ්රී ලාංකික දෙමාපියන් සේ අපද, එවිට දරුවාට කිරි පිටි දීම කළෙමු. ලෝකේ ඕනා තැන කිරි පිටි ඇතැයි යන මෝඩ අදහසෙන් අප එහි ගිය දිනයේම දැන ගත්තේ, එසේ කිරි පිටි වෙළඳ සැල් වල නැති බවය. රාජකාරිය පැත්තක තබා කිරි පිටි සෙවීමට උත්සාහ කලෙමි. අවසානයේ බඩගින්න නිසා, අකමැත්තෙන් හෝ දරුවාට ශුද්ධ එළ කිරි බීමට සිදු විය.
වාසනාවට හෝ අවාසනාවට අද දින තොරතුරු තාක්ෂණය ලෝකයේ ප්රචලිතව ඇත.
දියුණු රටවල් වල සාමාන්ය වෙළඳ සැල් වල කිරි පිටි තිබේදැයි ඔබටද එමගින් සොයා බැලිය හැක.
උපුටා ගැනීම: Lalith Karunaratna