මේ දවස්වල අපි හැමෝම ඉන්නේ ලොකු ව්යසනයක් අබියස. හිත් වල භය සැක සංකා රජයන කාලයක. ජීවිතයේ අවිනිශ්චිත බව අත්විඳිමින් සිටින අවස්ථාවක. මරණය දකිමින් අත්විඳිමින් සියල්ල අතහරිමින් සිටින මොහොතක. කොයි වෙලාවේ මරණය අප සොයා ඒවිද නොදන්නා හෝරාවක. අන්තිම සුසුම් පොද වා තලයට මුසුකර සියල්ල හැර යන තප්පරයක.
මේ මොහොතේ බොහෝ දෙනා තම ආසාවන් අතහරිමින් සිටී. බැදීම් වලින් ඈත් වෙමින් සිටී. ‘
මා මිය ගියහොත්’, යන සිතුවිල්ල අනුව කටයුතු කරමින් සිටියි.
මා මියගියහොත්, මගේ දරුවන් භාර දීමට කෙනෙක් තෝරමින්ද
මා මියගියහොත්, මගේ දේපොළ වලට කලයුත්ත තීරණය කරමින් හා පවරමින් ද
මා මිය ගියහොත් මගේ දරුවන් අනාථ වේවිද කියා සිතමින් ද
දරුවන්, දෙමාපියන් හෝ ආදරණීයයන් මියගිය අසරණයෝ හූල්ලමින්ද
ගත කරනු ඇති. ඒත් මේ මොහොතේ මට කල හැක්කේ ඔබේ දුක්බර සිත මොහොතකට ඉන් මුදවාලීම සඳහා සතුට ලියා බෙදීම පමණි.
හරි. එන්න මිත්රවරුණි ආයෙත් අපේ ජොලි මූඩ් එකට බහිමු. අපිට නම් ඉතින් නැව ගිලුනත් බෑං චූං. මම කිව්වනෙ මේ දවස් වල ගොඩක් දෙනා තමන්ගෙ අන්තිම කැමති පත්රය ලියනවා කියලා. අනේ අප්පේ මට මතක් උනේ අපෙ ආච්චි අම්මාව. ආච්චි අම්මා හරි සීදේවි නාකි ලමිස්සි. සීයාට සැර පාට් එක දානකොට නම් යස්සනී. අපරාදෙ කියන්න බෑ පිනට දහමට නම් හරිම ලැදියි. කොහේ හරි පන්සලක රන් වැටක් හරි විහාර මළුවක් හරි හදනවා කිව්වොත් ඉතින් ආච්චි එතැන. අපි ලොසිංජරයක් කන්න සල්ලි ඉල්ලුවොත් ආච්චිගේ සල්ලි ගස් වලටත් නැගගනී.
“කොහෙ තියෙන සල්ලිද බං උඹලා හිතාන ඉන්නේ මම සල්ලි ගස්වලින් කඩනවා කියලද?
ඒත් රන් වැටවල් ගහන්න ආච්චිගේ සල්ලි ගස්වලින් බැහැලා පයිනුත් ඇවිදගෙනයි යන්නෙ. ඒ විතරයැ පන්සලේ සුමදුර ධර්ම දේශනා නම් අතහරින්නේ නැත. ගමේම තිබෙන මල්ටික කඩාගෙන කැන්ඩ් ලමිස්සි වගේ හැඩට ඔසරියකුත් පටලවාගෙන ගොහින් හාමුදුරුවන්ගෙ ඉස්සරහටම වෙලා බිමින් වාඩි වෙන්නේ ධර්ම දේශනයේ අකුරක් වත් මඟ නොහැර අසා ගැනීමටය. ආච්චී තමයි පන්සලේ ඉන්න අග්ර සාධුකාර දෙන්නී. ඔන්න ඉතින් ධර්ම දේශනයේ උච්චතම අවස්ථාවේ ආච්චි සෝවාන් ඵලය ලබාගැනිමට ඔන්න මෙන්න.
“පින්වතුනී…”
“පටාචාරා තොමෝ සියල්ල නැතිවීමේ මහා ශෝකයෙන් නිර්වස්ත්රවම මහ මඟ දිව යද්දී ..මිනිසුන් ඇයට ගල් මුල් වලින්ද පහරදුන්නා..”
“සාදු! සාදු !සා…දු..!”
ආච්චි මහා හඬින් සාදුකාර දුන්නාය. කොච්චර පින් කලත් අපට කන්න ටිකක් දෙන එකනම් ඇය සිතන්නේ පවක් ලෙසයි. ඒත් කොහේ හරි යන කුපාඩි හිඟන්නෙක් දොරකඩට ආවොත් ඉතින් ආච්චී උන්දෑට කන්න බොන්න, ඇඳුම් කැඩුම් විතරක් නොවේ කාසි පනම්ද දීලයි පිටත් කරන්නෙ. මොකද ඉතින් හිඟන්නා පින් දීලා දීලා ආච්චිව පන පිටින්ම දෙව් ලොව යවනවානෙ. මේ ගැන දන්නා නිසා මා පොඩි බඩගිනි එහෙම ආවාම ආච්චී සොයා ගොස් ,
“ආච්චියේ, ආච්චිට ගොඩා පින් සිද්ද වෙනවා මං වගේ බඩගින්නෙ ඉන්න ළමයෙකුට කන්න ටිකක් දුන්නම”
“ඈ.. බොල අම්මා උඹට කන්න දුන්නෙ නැතෙයි? “
බොරු කීමට බය නිසා මා අහිංසක මුහුණක් පෙන්වා නිහඬව සිටියි.
“අනේ…අප්පේ පොඩි එකී හාමත් වෙලා “
හිත උණු වෙලා වැක්කෙරන අතරේ ආච්චී ලොකු බත් තඩියක් බෙදා මට දී,
“කාපන් දරුවො. හැදෙන කාලෙට හොඳට කන්න ඕනා. නැත්නම් ළමයි වදන්න ගියාම අමාරුයි.”
“ආච්චිගේ කෑම හරී රසයි”
මා එසේ කියා ආච්චීව මුරුංගා අත්තේ කෙරවලටම නග්ගවා උන්දෑ අත්ත කඩාගෙන බිමට වැටෙන්න කලින් ගෙදර දුවයි.
ඔන්න ඔහොම ඉන්නකොට ආච්චිට ඕනෑ උනා ඇගේ දේපොළ ටික දරු මුනුබුරු අතරේ බෙදා දීමට. ආච්චිට දෙව්ලොවින් ආරාධනාවක් වත් ආවාද දන්න්නෙ නෑ
මේ පිලිබඳව කාටවත් නොදන්වාම මෙය කල යුතුබව ඇගේ අදහස විය. මොකද මගේ එක් මාමා කෙනෙක් තනිකරම අයි ආර් සී කාරයෙකි. එයා මේක දැනගත්තොත් ආච්චිව පැහැරගෙන ගොස් තර්ජනය කර දේපොළ ටික ඔහුගේ නමට ලියා ගන්නවා නිසැකය. ආච්චිගේ මේ රහසිගත ලියවිල්ල පිලිබඳව දැන සිටියේ මා පමණි. මා සිතුවේ ඇය මෙවැනි රහසක් මා සමඟ පමණක් බෙදා ගත්තේ මට ඇති අප්රමාණ ආදරය නිසා කියලයි. ඉතින් මමත් සිහින දැක්කා, ආච්චිගේ අන්තිම කැමත්තෙන් මට මොනවා ලැබේවිද කියලා. සමහරවිට දේපොළ ටික ඔක්කොම මට ලියලාද දන්නෙනෑ, නැතිනම් ආච්චිගේ පෙට්ටගම ඇතුලේ තියෙන කැටේ ගොඩගහලා තිබෙන රත්රන් පාට පහේ කාසි ටික මට දීලා ඇති ටොපි කන්න කියලා. ආච්චිගේ ලස්සන ලියකම් කල මාල වලලු ටික උනත් කමක් නෑ මොකද මම ඒවාට හරි ආසයි.
ඔන්න ආච්චිගේ මහා අන්තිම කැමති පත්රය එලිදැක්වීමේ මහා සභා රැස්වීමට පවුලේ මහා ඇත්තෝ මහා ඉහලින් පැමිණසිටියෝය. දොර රෙද්දක් අස්සට වී කන දී ගෙන මා සිටියේ වැඩිහිටි සභා මැද පොඩිහිටියන් සිටීම මේ ගෙදර සිරිතට අනුව තහනම් නිසාය. ආච්චීගේ කැමත්ත සීයාට පසුව ලැබී ඇත්තේ කාටද කියා දැන ගැනීමට කවුරුත් උනන්දු විය. කැමති පත්රය ප්රකාශයට පත් කිරීම ඇරඹුණි. සමහරුන්ගේ මුහුන ඇදවිය. කටවල් ඇඹරුනි. සමහරු කම්මුලේ අත් තබා ගෙන හූස් ගායි. තවත් සමහරු ලොකුම කේජු කෑල්ල තමන්ට ලැබෙන තුරු බලා සිටියි.
අන්තිමේදී ලොකුම කේජු කෑල්ල වන මහ ගෙය ආච්ච් තම පරාණ බුක්තියට තබා ගෙන ඉතිරිය සම සමව බෙදා දි තිබුණි.
අහෝ ආච්චිට මාව අමතක උනාද? දොර රෙද්දෙන් ඔලුව එලියට දා බලන විටම මහ ඇමිතිනී වගේ අසුන් ගෙන සිටි ආච්චී මා දෙස බලා ,
“කෙල්ලේ අන්න උඹේ කොටහා මේසෙ උඩ පිඟානෙන් වහලා ඇති” කීවාය.
මිටින් හල කුරුල්ලා ලෙස පියෑඹූ මා පිඟාන ඇරියේ ගැහෙන හදිනි. අහෝ දෙවියනි මෙය අදහා ගන්නේ කොහොමද.. ආච්චි ආච්චි ආච්චි මට දීලා තියෙන්නේ.. දීලා තියෙන්නේ.. මම ආසම කරන …
හූණු බිජු පැකට් එකකි!!.
හක්.. හක් ..හා…
උපුටා ගැනීම: Nilwala Athapattu