“තවත් දුරද ධනූ ගෙදරට…”
“තව ටිකක් යන්න ඕන උර්මිලා… මාත් එක්ක ඕන දුරක් යන්නම් කිව්ව කෙනා නේද මේ…”
“ඔයත් වෙලාවකට සාහිත්යකාරයෙක් වගේ ධනූ.. ඒත් ඒ වචන වලට මන් ආසයි…”
පසෙකින් වූයේ දින කිහිපයකින් මගේ බිරිඳ වීමට පතනා යුවතියයි. එය බැඳෙන්නට නියමිතව තිබෙන්නේ යෝජිත විවාහයකින්..
රථයේ ඉදිරිපස වීදුරුවෙන් පෙනෙනා අඳුරු වූ අහස දෙස බලාගනම මා රථය පැදවූයේ මහා වැස්සක ලකුණු දැනුන නිසාවෙනි…
වසර කිහිපයකට පසු මේ මාවතේ නිවෙස් පසුකරමින් පැමිණියත්, සුපුරුදු පරිදි අදත් නොදැනීම මගේ නෙත් එක් නිවෙසක් වෙත හැරවුනේ පෙර මෙන්ම අදත් මා සොයන්නේ ඇගේ රුව නිසාවෙනි…
නැත.. වෙනදා මෙන් ඉනි වැට අද්දරට දුව එන ඈ අද එහි නැත… ඇතැම්විට ඇය නැවත විවාහ වූවා විය හැකිය.. පෙරදා සිත්පිත් නැත්තියක සේ මා හැර ගිය ඇය කෙසේ නම් මා එනතුරු බලා සිටින්නද….
ඈ මා දමා ගියත් තවමත් මා හදවතින් ඇගේ මතක වලින් කිමිදීම උර්මිලාගේ ආගමනයෙන් හෝ නැවතිය හැක්කක් නොවීය.
“ලොකු වැස්සක් එන්නයි යන්නේ ධනූ.. අර බලන්න අහස…”
“ආස නැද්ද වැස්සට..?”
කිසිත් නොකියාම ඈ නිහඬව සිටියේ මන්දැයි මා නොදනිමි… ඊට හේතු විමසීමට මටත් උවමනා නොවීය…
නමුත් මද දුරක් ආ කල කුඩා පොල් අතු කඩයක් අසල රථය නවත්වන ලෙස ඉල්ලූ ඇය රථයෙන් බැසගත්තාය..
“ධනූ… බහින්නකෝ…”
මගේ දෑතින්ම ඇදගෙන ඈ කඩය තුලට පිවිසුනේ අපට දුම් දමනා තේ කෝප්ප දෙකකුත් ලුණු මිරිස් සමඟ පොල් රොටී කිහිපයකුත් ඇණවුම් කරගෙනයි…
“බඩගිනී නම් කියන්න තිබුණනේ… එහෙනම් මට කලින් නවත්තන්න තිබුණා වාහනේ…”
“ම්හ්… මට බඩගිනි නෑ.. “
“එහෙනම් නවත්තන්න කිව්වේ…”
“ඔයා එක්ක කතා කරන්න.. ගම කියලා මට පෙන්නපු සීමාවෙ ඉදන් ඔයා ලොකූ කල්පනාවක කියලා මම දැක්කා…”
“ඔයාට බය නැද්ද උර්මිලා…? මං වගේ මිනිහෙක් එක්ක ජීවත් වෙන්න… “
“මං දන්නවා ධනූ ඔයා මට ආදරේ කරන්නේ නෑ කියලා.. ඒත් මම දන්නවා ඔයා අල්ලගත්ත දෙයක් අත අරින්නේ නෑ කියලා.. ඉතිං ඔයා තමා මට ජීවත් වෙන්න හරිම කෙනා…”
කිසිදාක ඈ මගේ අතීතය පිලිබඳ විමසුවේ නැත… මටද ඇගේ අතීතය පිලිබඳ විමසීමට උවමනාවක් නොවුයේ ඈ මනාව මා තේරුම් ගත් නිසාවෙන්. ඈ සරලය.. එමෙන්ම ඈ සතු සුන්දරත්වයද ඊට නොදෙවිනිය..
ලොවේ කොහි හෝ අන්තයක ඈ වැනි යුවතියක හා විසීම ඕනෑම පිරිමියෙක්ට පහසුවකි…. නමුත් ඒ කිසිවකින් හෝ මා හට ඈ කෙරෙහි ආලයක් හට නොගත්තේ මන්දැයි මා තවම නොදනී… කෙසේ හෝ උර්මිලාව මගේ මනසට කාවද්දා ගෙන පෙර මතක ඉවත් කිරීමට වෑයම් කල සෑම දිනයම අවසන් වූයේ හිස් බියර් කෑන් අවමය පහක් වත් හිස් කරමින්..
අවාසනාවකට චාරූන්දයා ගේ ප්රේමයේ විරහව තවමත් මා දවන්නේය.. එකී වේදනාව හේතුවෙන් ගම පවා හැර ගියේ ඇගේ වත දකිනා සෑම මොහොතකම විරහෙවේ ගිනි මා දවා අලු කරනා බැවිනි…
මා තවමත් එක් රොටියක් අත ගාමින් සිටියත් උර්මිලා රොටී තුන හතරකටම වග කියා අවසන්ය…
“කාලා ඉවර නම් අපි යමු…”
“බෑ ධනූ ටිකක් ඉමු.. මන් මේ මඟ බලන්නේ වහිනකන්… ඔයා ඇහුවා නේද මන් ආසද කියලා වහිනවට.. ඔව් මං ආසයි… ඊටත් වඩා ආසයි ඒ වෙලාවට උණු තේකක් බිබී රොටියක් කන්න මං ජීවිතේ බෙදාගන්න ඉන්න කෙනා එක්ක…”
“බොරුවට බලන් ඉන්න එපා උර්මිලා… අහස කළු කරලා තිබ්බට ඒ හැමදාකම වහින් නෑ.. අද ඔයා බලන් හිටියත් වහින් නෑ… නගින්න වාහනේට.. පරක්කු උනා..”
කිසිත් නොකියාම ඈ වාහනයට නැගුනේ දෑසෙහි වූ කඳුලු සඟවමින් බව මම හොඳින්ම දුටිමි…
මාත් උර්මිලාත් දින කිහිපයක් එහි රැදුනේ අපගේ විවාහයට අවශ්ය සියලු කටයුතු සූදානම් කිරීම සඳහායි.. පැමිණි දින සිට උර්මිලා මා හා දොඩමලු වූයේ නොමැති තරම්ය.කොතරම් ඇය විසින් මා වටහාගත්තත් ඇයද අනෙකුත් මනුශ්ය දියණියන් මෙන්ම මගෙන් සුලු හෝ අනුකම්පාවක් පතන බව මා දැන දැනත් එය නොහැඟුනාක් මෙන් මා සිටියේ ඈව රිදවීමට නොහැකි වූ නිසාවෙනි..
තවත් මට උර්මිලා වන් ස්ත්රියක හට දුක් දීමට රිදවීමට හැකියාවක් නැත..
මා චාරුන්ද්යා හමුවට යා යුතූයි..
කෙසේ හෝ ඈ මා හැර ගිය අතීතයේ මතක මවිසින් කෙසේ හෝ මරා දැමිය යුතුයි.. ඒ නිසාම මා චාරුන්ද්යාව අවසන් වතාවට සොයා ගියේ මා රැවටූයේ ඇයි දැයි දැන ගැනීමට පමණක්ය.
පෙර දිනයක මේ ලෙසම සඳ ඇති රැයක මා මෙහි චාරු සොයා ආවා මතකය… සඳ කිරණින් නැහැවී ගිය ප්රේමාලිංගනයන් මෙහි ඈ හා කොතෙකුත් මා ගත කරන්නට ඇතිද… මතක අතරින් මා පිබිදුනේ ඈතින් පැමිණෙන ඇගේ මවගේ රුව දුටු විටයි…
“කවුද මේ මහත්තයා…
මට ඇහැ කන පෙන්නේ නෑ මහත්තයෝ.. මේ පැල් කොටේට එහෙමත් එකෙක් ඈවිදින් යන් නෑ සුමානෙකට සැරයක්වත්…. මේ නාකි මම විතරයි ගෙදර ඉන්නේ…”
චාරුන්ද්යා ඒ දෑස්, ඒ අවිහිංසක බව,ඈ තුල මා කෙරෙහි වූ ප්රේමය ඒ සියල්ල මුලාවන්ද…..
එසේ නම් ඇය ඇගේ මවත් හැර දමා ගියාද… මා ඇගේ ප්රේමයෙන් උන්මන්තකයෙකුව මෙසේ දුක් විදිනුයේ අරුත් විරහිතවද..
“අම්මා.. කෝ චාරූ.. එයා අම්මාවත් දාලා ගියාද… මේ ගෙදර සිරියාවට මොකද උනේ…?”
“මේ ධනුක ලමයා නේද…?”
මගේ එක් හඬින් ඇය මා හඳුනාගත්තාය.
“චූටි මැණිකේ කිව්වා හරියටම හරි.. දවසක ඔය ලමයා එයාව අනිවාරෙන් හොයන් එයි කියලා..”
“කොහෙද අම්මා එයා ඉන්නේ..? මට එයා එක්ක කතා කරන්න ඕන..”
“දුවගෙ ඇඩ්රස් එක මම දෙන්නම්.. පුතාට පුලුවන් නම් මයේ ඇස් පිය වෙන්න කලින් මාවත් කෙලී බලන්න එක්කන් යන්න දරුවෝ..”
චාරුගේ මවත් සමඟ ඈ සතු වූ දුර්වර්ණව ගිය කඩදාසියේ සදහන් ලිපිනය සොයා ගියේ අවසන් වරට ඈ හා හමුව සඳහායි…
“පුතා ගිහින් එන්න.. ඊටපස්සෙ මන් එන්නම්..”
“අම්මට වැරදිලාවත්ද… මේක කැලෑවක් අම්මා ගුරු පාරක් විතරයි තියෙන්නේ..”
ඔය පාර දිගේම යන්න පුතේ කෙලීව හම්බවෙයි..
මද දුරක් ගිය තැන මා දුටුවේ එහි ඇතුලටවත්ම වූ මෙහෙණි ආරාමයක්… චාරු මෙහි කුමක් කරනවාද.. මගේ පසුම්බිය තුලින් ඉවතට ගත්තේ ඇගේ සේයා රුවයි..
“අත්තම්මේ… මෙහෙ මේ ගෑණු ලමයා ඉන්නවද..”
“ටිකක් ඉන්න මහත්තයෝ..”
යැයි පවසා ඇය යන්නට ගියාය.. හෝරාවක් ගතවුවත් කිසිවෙකු හෝ නොපැමිණීම මගේ තරහ තවත් උපරිම සීමාවට ගෙනාවේ එය පුණ්ය භූමියක් බව හෝ අමතකවයි…
“චාරූ… එලියට එනවා… තවත් මට වෙලාව නෑ…”
“උපාසක මහත්තයෝ.. සන්සුන් වෙලා ඉන්න.. දැවෙන හිත් වලින් ප්රශ්න වලට උත්තර හොයන්න අමාරුයි…”
“චා… රු….”
දෙපා පවා අප්රාණිකව යන්නාක් මෙන් හැඟී ගියෙන් මා දුටු ඒ දසුනින්.. වසර ගණනක් මගෙන් සැඟවුනු ඈ අද මෙහෙණියක්…
“චා..රූ.. ඇයි මෙහෙම..??”
“උපාසක මහත්තයා හොයන චාරුන්ද්යා මෙහෙ නෑ මහත්තයෝ මන් ධම්මදින්නා මෙහෙණියෝ…”
“නෑ… මේ ඇයි… මෙහෙම උනේ ඇයි…? මගේ චාරුට ඕන උනේ නෑ මෙහෙම ඉන්න…”
“උපාසක මහත්තයා ඒ අතීතෙට ආදරේ කරන එක නවත්තලා දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න..
මං මෙහෙම කියන්නේ මහත්තයා මට ඉන්න එකම සහෝදරයා නිසා…”
ඇගේ අවසන් වදන් කිහිපය මගේ හිසමත හෙණගෙඩි මෙන් පතිත වුනේ මගේ දෑස් අඳුරු වී යද්දීයි… නමුත් සිහි එලෙඹෙන විට මා වාරුව උන්නේ කිසිවෙකුගේ හෝ උරමතටයි…
“උර්මිලා….”
“ධනුක.. මං දන්නවා මේක දරාගන්න අමාරු ඇත්තක්.. ඒත් ධම්මදින්නා මෑණියෝ කරා වගේ ඔයත් ඒ හැම මතකයක්ම අලු කරලා දාන්න…”
“අම්මා..”
“මහත්තයෝ… මට සමාවෙන්න.. මට ඕන උනා දවසක මේ ඇත්ත මහත්තයට කියන්න.. මගේ චූටි කෙලී මහත්තයාගේ එකම සහෝදරී… ඔව් මහත්තයගේ තාත්තා තමා ඒකිගෙත් තාත්තා…”
මා හා චාරූ ගේ සම්බන්ධයට චාරුගේ මව මුල සිටම විරුද්ධ වූයේ මන්දැයි දැන් මට පැහැදිලිය.. සියලු සත්යය මගේ ඇස් අද්දරම පවතී… එසේ කරේ මන්දැයි පියාගෙන් ඇසීමට වුවමනා වුවත් ඔහු ඊට පිලිතුරු දීමට මෙලොවෙහි නොවීය… නමුත් ඔහුගේ ඒ සියල් වැරදි වලට මා දඬුවම් විඳ අවසන්ය..
මා නැවත වරක් ආරාමය දෙස හැරී බැලුවත් චාරු එහි නොවීය.. ඈතින් වඩිනා ධම්මදින්නා මෙහෙණින් වහන්සේ නම් පෙනේ…
දෑසේම කඳුලු සමඟින් ආත්මීයව මා දරාගත් උර්මිලාගේ ලමැඳට මා වාරු වූයේ කිසිදාක ඇයට දෙතැයි නොසිතූ සියල් ප්රේමයන් ඇයට දීමට ශපථ කරමින්…
______________________________________
උපුටා ගැනීම: Nishadi Wijesekara