ඇෆ්ගනිස්ථානේ කාන්තා හිංසන සහ ලංකාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දවස් වල ඇෆ්ගනිස්ථානේ කාන්තාවන්ට වෙන හිංසන ගැන කට්ටිය හුගක් කතා කරන හින්දා මට මේක ලියන්න හිතුනේ. මොකද අපේ රටේ සමහරු දාර්ශනික ටෝක් දානවා ඒ ගැන හරියට අපේ රට එහෙම නෙවේ වගේ. අපේ රට කොයි වගේද කියන්න මන් මගේම ජීවිතේ ලබපු අත්දැකීම් ටිකක් කියන්නම්.
2014 අවුරුද්දේ එතකොට මට වයස අවුරුදු දොලහක් දහතුනක් විතර ඇති හරියටම කොලඹ රේල්වේ ස්ටේශන් එකේ තමා මේ දේ වුනේ. ඒ දවස් වල අපේ ඉස්කෝලෙ ආෆ්ටර් ස්කූල් තියෙන දවස්, හැමදාම ගෙදර අයට කිලෝමීටර් තිහක් හතලිහක් හද්දා ට්රැෆික් එකේ මාව ගන්න එන්න බැරි නිසා මායි මගේ යාලුවෙකුයි හැමදාම හවස හතරයි හතලිස්පහ කෝච්චියේ කොලබ ඉදන් එනවා. එක දවසක් අපිට කෝච්චිය එන ප්ලැට්ෆෝම් එක පැටලුනා කොහොම හරි වෙනදට තුන් වෙනි ප්ලැට්ෆෝම් එකට එන කෝච්චිය එදා ඇවිත් තිබ්බේ නෑ මොකක් හරි හේතුවකට එදා කෝච්චිය පරක්කුයි. මායි යාලුවයි වෙන කෝච්චියක ගිහින් මගින් වෙන ස්ටේශන් එකකින් බැහැලා අපේ ස්ටේටශන් එකට යන වෙන කෝච්චියක් අල්ල ගන්න හිතාගෙන එදා දෙවෙනි වේදිකාවට ආපු කෝච්චියට නැග්ගා. වෙලාවේ හැටියට එවලේ කෝච්චියේ ලොකු සෙනගක් හිටියේ නෑ. අපි දෙන්නා දොර ළගම ඉදගෙන හිටියේ බහින්න ලේසි නිසා.
ඔන්න අපි දෙන්නා ගිහින් එතන ඉදගත්ත ගමන් කවුද මනුස්සයෙක් කෙලින් හිටන් ඉන්න බැරි තරමට බීගෙන කෝච්චියට නැග්ගා. ඒ මනුස්සයට වචනයක් කතා කර ගන්නවත් බෑ ඒ තරමට වෙරි. මේ මනුස්සයා ඔච්චර හිස් ඉඩ තිබ්බ කෝච්චියේ ඇවිත් මට එහා පැත්තෙන් ඉද ගත්තා. මේ වෙලාවේ මගේ යාලුවා ඉදගෙන හිටියේ මට ටිකක් ඈතින් මොකද ඒ තරම් මේ කෝච්චියේ ඉඩ තිබ්බා. අර මනුස්සයා ශීට් එකේ නිදාගන්න වගේ අතපය දිග ඇරලා ඉද ගත්තා. මේ මනුස්සයා අච්චර ඉඩ තියාගෙන මගේ ඇගටම හේත්තු වුනා. ඊටපස්සේ මාව කොනිත්තන්න පටන් ගත්තා , දැන් ඔන්න මට තේරුනා මේ මනුස්සයා කොයි වගේද කියලා, මන් ඉතින් මේ මනුස්සයගෙන් ටික ටික ඈත් වෙවී ශීට් එකේ එහාට එහාට ගියා ඒත් මේ මනුස්සයා දිගටම අතපය දිග ඇර ඇර මන් ඉන්න තැනටම එන්න පටන් ගත්තා. මේ වෙලාවේ මන් හුගක් ලොකු අපහසුතාවෙකට පත් වුනා කිව්වොත් හරි. මට එච්චර තේරුම් තිබ්බ වයසකුත් නෙවේ ඒත් මන් බැලුවා වට පිට ඉන්න මනුස්සයෙක් ටවත් මගේ අපහසුතාව පෙනේවිද කියලා. විස්වාස කරන්න හරියටම මට කෙලින් ඉදගෙන හිටියේ සාරියක් ඇදපු ගෑනුකෙනෙක් , එයා ගාව එයාගේ දුවත් වාඩි වෙලා හිටියා ඒ ළමයත් මගේ වයසේ විතර ඇති. ඒ ගෑනුකෙනා හොදටම දැක්කා මන් ඒ වෙලාවේ කොච්චර අමාරුවෙන්ද හිටියේ කියලා ඒත් එයා එක වචනයක්වත් නොකියා මගේ දිහාම ඔහේ බලාගෙන හිටියා. එතකොටම මගේ යාලුවා මන් ලගට ඇවිත් කිව්වා අපි මේකෙන් බැහැලා බස් එකේ යමු කියලා. ඊටපස්සේ මන් එදා යාලුවා එක්ක කෝච්චියෙන් බැහැලා බස් එකේ ගෙදර ආවා.
ඊලග සිද්දිය වුනේ ගිය අවුරුද්දේ ඒ කොලඹ ගම්පහ (200) බස් එකේදි . එදා මන් වෙනදා වගේ උදේ පාන්දර ඉස්කෝලෙට යන්න බස් එකට නැග්ගා. සාමාන්යයෙන් උදේට ගම්පහ බස් වල සැලකිය යුතු තරමේ සෙනගක් ඉන්නවා. මන් නගිද්දී හිස් වෙලා තිබ්බ තුනේ ශීට් එකක මන් ඉදගත්තා, සාමාන්යයෙන් මන් ජනේලේ ගාව ඉදගෙන පොතක් කියවන් යන්න ආස නිසා. එදත් මන් ජනේලෙ ගාව ඉදගෙන බෑග් එක ඔඩොක්කුවේ තියන් පොතක් කියවන්න ගත්තා. ටික ටික බස් එකේ සෙනග වැඩි වෙද්දී මගේ ශීට් එකේ මට එහාපැත්තේ පිරිමි කෙනෙක්කුයි ඊට එහා පැත්තේ මැදිවයසේ ගෑනු කෙනෙකුයි ඉදගත්තා. ටික වෙලාවක් යද්දී අර පිරිමි කෙනා මාව ටික ටික ජනේලේ පැත්තට හිර කරන්න ගත්තා මන් බැලුවා කවුද කියලා. ඒ දවස් වල අපි මාස්ක් දාන්න ගත්ත මුල් කාලේ, මන් තව හෝල්ට් දෙක තුනනේ කියලා ඉවසන් හිටියා ඒත් අර මනුස්සයා එන්න එන්න මගේ යුනිෆෝම් එක අල්ලන්න ගත්තා , ඒ වෙලාවේ ඒක හිටගෙන හිටිය මිනිස්සුත් දැක්කා ඒත් ඒ කවුරුත් මුකුත් කිව්වේ නෑ අන්තිමට මන් කලේ බහින්න හෝල්ට් එකක් තියලා මන් බස් එකෙන් බැහැලා ඉතුරු ටික පයින් ආපු එක.
මේ මට වුනු සිදුවීම් දෙකක් විතරයි. ඒත් පොදු ප්රවාහන සේවා වල ඉස්කෝලෙ යන ගෑනු ලමයින්ට ඕට වඩා හුගක් අත් දැකීම් ඇති. මට මේ වගේ දේවල් වුනු හැමපාරම එතන තව ගෑනු අය හිටියා පිරිමි අය හිටියා ඒත් ඒ කවුරුත් ඒකට එක වචනයක් කිව්වේ නෑ , මට තාම මතකයි එදා අර ගෑනු කෙනාට මන් වගේම ලමෙක් හිටිය හැටි ඒත් ඒ ගෑනු කෙනා තමන්ගේ ලමයට විතරයි අම්මා වුනේ වෙන ලමෙකුට කරදරයක් වෙද්දී ඒ මවුගුන පහල වුනේ නෑ.
ඔය වගේ තව හුගක් දේවල් වලට මන් පෞද්ගලිකව මුනුණ දීල තියේ ඉතින් මට කියන්න තියෙන්නේ අනිත් රටවල ලමා හිංසනය ගැන හෑලි ලියන උන්දලට , තමන් බස් එකක යද්දී හරි පාරෙ යද්දී හරි ලමෙකුට ගෑනු කෙනෙක්ට කරදරයක් වෙද්දී කොන්ද කෙලින් තියන් ඒකට විරුද්ධ වෙන්න. නිකම් සයිබර් අවකාශේ චන්ඩි වෙලා වැඩක් නෑ ඇත්ත ලෝකේ ඔය මෙතන පඩි කතා කියන ආවේගය පාවිච්චි කරන්න. මොකද අපේ ලංකාව කියන්නේ යුනිෆෝම් එකක් ඇදන් පාරේ යන අසරණ ලමෙක්ටවත් ආරක්ශිත තැනක් නෙවේ.
මේ ළගදි ගමේ ඇන්ටි කෙනෙක් මගෙන් අහනවා මෙච්චර ඉක්මනට ලයිසන් අරන් මොනා කරන්නද කියලා. ඒත් මට කියන්න තියෙන්නේ මට පොදු ප්රවාහන සේවය කියන එක තිත්ත වෙලා තියෙන්නේ කියන එක. මන් දහ අට ලබපු ගමන් ලයිසන් එක ගත්තේ ඒකයි. මන් දන්නවා ඒක මන් මට විතරක් හොයා ගත්ත තාවකාලික උත්තරයක් ඒත් හැමදාම ලංකාවේ දාස් ගානක් ඉස්කෝලෙ යන ලමයි බස් වල කෝච්චි වල යනවා. ඒ හැම ළමෙක්ටම මන් වගේ බස් එකකට කෝච්චිය කට නගිද්දී බයක් දැනෙනවා ඇති ඒත් දෙමාපියන්ට හැමෝමව ප්රයිවට් වාහනේක යවන්න වත්කමක් නැති නිසා පොදු ප්රවාහන සේවය පාවිච්චි කරනවා.
ඉතින් මෙන්න මේක තමා අපේ රටේ සැබෑ තත්වේ , ගොඩක් අම්මලා තාත්තලට ආදරේ මතක් වෙන්නේ තමන්ගේ ළමයා කෙරෙහි විතරයි වෙන ළමෙක් ව තමන් ඉස්සරහ මරලා දාලා ගියත් එයාලට කැක්කුමක් නෑ. මේ වගේ තත්වයක් තියෙන රටක ඉදන් අපි අනිත් රටවල් හදන්න යනවා කියන්නේ හරියට උඩ බලන් කෙල ගහ ගන්නවා වගේ වැඩක් .
උපුටා ගැනීම:  Seo Ye Chae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!