මීට අවුරුදු 6, 7 කට කලින් දුවට අවුරුදු 3ක් වගේ කාලෙ, හරි ලස්සන කහ පාටක් තිබුන වීදුරු වගේ දිලිසෙන ලා දුඹුරු ඇස් තිබුන කාන්තාවක් ඇවිත් ලස්සනට හිනා වෙලා කිව්වා “මම නිතරම දකිනවා ඔයා බබාව වඩාගෙන ඉන්නවා, ඒක ඔයාට හොඳ නෑ, තව බබෙක් හදනවනම් කොහොමත් හොඳ නෑ, ඒ නිසා වඩාගෙන ඉන්න එපා” කියලා. වැඩි විස්තර කතා කරද්දි එයා අලුතෙන් අපේ ගෙදර ඉස්සරහ ගෙදරට ඇවිත් ඉන්න බවත් මම හැමෝටම වගේ කතා කරන නිසා වගේම හමේ පාට නිසා කතා කරන්න බය නැති උන බවත් කිව්වා.
එයාගෙ නම රන්යා. ලිබියානු ජාතික කාන්තාවක්, සැමියා සිරියානු ජාතිකයෙක්. දෙන්නම ලිබියාවෙ ඉද්දි වෛද්යවරු බවත් රන්යාගෙ මල්ලිගෙ විවාහ උත්සවේට ඇවිත් ඉන්නකොට ලිබියානු ගුවන්තොටුපලේ සිදුවුනු ත්රස්තවාදී ප්රහාරය නිසා නැවත යා නොහැකි උන නිසා දිගටම ඉන්න උනු බවත් සරණාගත වීසා අයදුම්කරලා ඉන්න බවත් ඇය පැවසුවා.
සරණාගත වීසා අයදුම් කරාම රජයෙන් නොමිලේ සියලුම දේවල් සපයනවා. පවුලක්නම් සම්පූර්ණ වියදම් දැරූ ගෙයකුත් ආහාර මිලදී ගැනීම සඳහා කාඩ් පතකුත් දෙනවා. රජයෙන් දෙන ගෙදර කොහෙ උනත් එයාල ගිහින් ජීවත් වෙන්න ඕනෙ. එයාල ජීවත් උනේ එහෙම ගෙදරක. එදාට පස්සෙ රන්යා මගෙ හොඳ යාළුවෙක් උනා එයාට වීසා ලැබිලා වෙන පලාතකට යනකන්ම. එයා ඇන්දෙ අපි වගේ සාමාන්ය විදියට. ඒත් ඔළුව වැහුවා. ඒ වෙද්දි එයාගෙ වයස අවුරුදු 30ක් වගේ වෙන්න ඇති. බ්රිතාන්ය ජාතිකයෝ මිනිස්සුන්ට වෙනස් විදියට නොසලකනවා උනත් තමන්ගෙ රටේදි හොඳට ජීවත් උන රන්යාට වෙන රටක සරණාගතයෙක් වෙන එක දුකක් වෙලා තිබුනේ.
කඩේට ගිහින් බඩු ගද්දි රජයෙන් දෙන කාඩ් එකෙන් ගන්න වෙන එක, විවිධ සංවිධාන වලින් නොමිලේ කෑම ඇඳුම් ගෙනත් දෙන එක එයාගෙ හිත නිතරම පෑරුවා. එයා මට කියනවා “මම ඔලුව වහන හින්ද මිනිස්සු මගෙ දිහා බලන්නෙ අමුතුවට කියල මට හිතෙන්නෙ” කියලා. මම ඒ වෙලාවට එයාට කියනවා “ඔයා එහෙම අමුතුවට බලනවා ඇති කියලා හිතන තාක් කල් එහෙමමයි ඔයාට දැනෙන්නෙ. ඒක නවත්තන්න” කියලා. අපි ගොඩක් සති අන්ත වල එලියට ගිහින් කෝපි කෝප්පයක් බීල එන්න පුරුදු වෙලා හිටියා.
අපි දෙන්න නිතරම ගිය වීදිය කෙලවරේ තිබුන අවන්හල දකිද්දි, ටවුමෙ පරණ කඩ වීදියේ ඇවිදපු හැටි මතක් වෙද්දි මොකද්දෝ නොදන්න හැඟීමක් ඇවිත් උගුර හිර කරනවා වගේ දැනෙනවා. එයා ඇත්තටම හොඳ යාළුවෙක්. එයාලා සරණාගත උන එක තමන්ගෙ පවුලෙ අය නැති උන එක කියද්දි හැම වෙලේම කිව්වෙ “මේක අසාධාරණ ලෝකයක්, සමහර මිනිස්සු හරිම කෲරයි, යුද්ධය බිහිසුණුයි” කියලා. විසා ලැබුනම එයාලගෙ ජාතියේ අය වැඩිපුර ඉන්න රෙඩිං කියන පැත්තට එයාල සංක්රමණය උනා.
2016 ගිම්හාන කාලෙ දවසක මම ලන්ඩන් ගිහින් රෑ වෙලා කෝච්චියේ එද්දි මම හිටිය කෝච්චි පෙට්ටියේ දුඹුරු ඇස් තිබුන උස මහත කඩවසම් කොලුවෙක් මට එහා පැත්තෙ ඉඳගෙන ඉන්නවා මම දකිනවා. ලන්ඩන් ඉඳන් ගෙදර එන්න පැය 3 1/2 ක් කෝච්චියේ එන්න ඕනෙ. ඒ වෙලාවට කෝච්චි පෙට්ටි හිස්, සමහර වෙලාවට මුළු පෙට්ටියටම මම විතරයි ඉන්නෙ. එදා අපි දෙන්න විතරයි හිටියේ. ගොඩක් වෙලාවට ඒ වෙලාවට දුර යන කෝච්චි වල පොලිසියේ කෙනෙක් ඉන්නවා වගේම CCTV තියෙන නිසා කවදාවත් බයක් දැනිලත් නෑ.
එදා මම එයා දිහා බලද්දි මේ ලමයා මට හිනාවෙලා කතා කරා. එයා සිරියානු ජාතිකයෙක් බවත් ඒ රටේ යාන්ත්රික ඉංජිනේරුවෙක් විදියට රැකියාව කල බවත් කිව්වා. යුද්ධය දරුණු වෙන්න ගත්තම රටෙන් පැනගත්තා, ඒත් අම්මටයි නංගිටයි මොනවා උනාද කියන්න දන්නෙ නෑ කියද්දි ඒ ඇස් වල කඳුලක් දිලිසුනා. ඒ ජූලි මාසෙ, එයා එයාගෙ රටින් එන්න පටන් ඇරන් තිබුනේ කලින් අවුරුද්දෙ අගෝස්තු වල. එක එක රටවලට ගිහින් සමහර රටවලින් ප්රතික්ශේප වෙද්දි එක්සත් රාජධානියට ඇවිත් තිබුනා මාස 6කට පස්සෙ. සමහර රටවල් වල පයින් සැතපුම් ගනන් කන්න නැතුව ඇවිදලා තිබුනා. මේ රටට ආවම සරණාගත වීසා අයදුම් කරන්න පුලුවන් වෙලා තනි පිරිමියෙක් නිසා තවත් අය එක්ක ඉන්න ගෙදරක කාමරයක් ලැබිලා තිබුනා. එයා කිව්වා පණ බේරගන්න මිනිස්සු දුවන හැටි, ඇස් ඉස්සරහා ගෙවල් දොරවල් විනාශ වෙන හැටි වගේම තමන් ගොඩනගා ගත්ත දේවල් විනාශ වෙද්දි දැනුන දුක. අද එයා කොහෙද ඉන්නෙ දන්නෙ නෑ.
මේ ඔක්කොම මතක් උනේ 2018දි ව්යාපෘතියකදි මට මුණගැහුන නිල්පාට ඇස් තිබුන කඩවසම් පිරිමියෙක් උන ඇෆ්ගන් ජාතික සීනෝ නිසා. එයා විශ්ව විද්යාල කථිකාචාර්යවරයෙක්. පෙරේදා කතා කරලා කිව්වා “ප්රියා මම ගෙදර අය ගෙන්නගන්න ගොඩක් උත්සාහ කරා, මට බැරි උනා, දැන් ගෙන්නගන්න තියා සම්බන්ධ කරගන්නවත් විදියක් නෑ, ඔයාට දැනෙනවද මගෙ දුක” කියලා.
හැමදාම මම කාගෙ හරි දුකක් අහගෙන හිටියා, ඒත් මට ඒවට දෙන්න උත්තරයක් තියා හිත හැදෙන්න කියන්න දෙයක්වත් තිබුනෙ නෑ. ඒත් මම එයාල එක්ක ඇඬුවා. සීනෝ කතා කරද්දි ඇහුවා “ඔයා අඬනව නේද? සොරි ඔයාව ඇඬෙව්වට, ඒත් මට ඔයාට වඩා හොඳ යාළුවෙක් නෑ දුක බෙදාගන්න” කියලා.
ඡායාරූප අන්තර්ජාලයෙන්. ඒත් මේ ඡායාරූප එයාලට සමානයි.
උපුටා ගැනීම: නිල්මිණී සමන්තිලක