පැරණි ශ්‍රී ලංකාවේ ආහාර හා බැඳි සංස්කෘතිය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආහාර පිළියෙල කිරීමේදීත් ආහාර පිළිගැන්වීමේදීත් පුරාතන සිංහලයාටම අවේණික වූ, ආහාර සමඟ බැඳී තිබූ නොයෙකුත් සංස්කෘතික අංගයන් අප රටේ දකින්නට ලැබුනා. මීට සියවසකට පෙර ශ්රී ලංකාවේ සියළුම ගම්මාන වල මෙම ආහාර හා බැඳි අපූරු සංස්කෘතික අංග ක්රියාත්මක වුණා. මේ පිළිවෙත් හා සිරිත් විරිත් අනුගමනය කරමින්, පිළියෙළ කරන්නා වූ ආහාරයේ පෝෂණීය බව, පිරිසිදු බව හා එහි ගුණ අගුණ පිළිබඳව ඔවුන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
වන්දනීය ශුද්ධ වස්තුව හෙවත්
බුද්ධ භෝගය.. සහල්
වී, සහල්, හෝ බත් බිම වැටී ඇත්නම් නොපාගා හෝ කොස්සෙන් ඉවත් නොකර අතින් අහුලා නිසි තැන තැබිය යුතුයි ලෙස අපේ පැරැන්නෝ විසින් චාරිත්රයක් ලෙස අනුගමනය කළ අයුරක් දකින්නට පුළුවන්. ඒ තරම් භක්තියකින් සහල් වලට ගරු කළ ඔවුන් වී “බුද්ධ බෝගය” ලෙස හදුන්වනවා.
බත් පිසීමේදී අතින් සහල් මිටක් වෙන් කර එය “මිටි හාල් මුට්ටිය” නම් බදුනට දැමීම අතීතයේ ගෘහණියන්ගේ සිරිතක්. එය හදීසි අවස්ථාවකදී හෝ දානමය කටයුත්තක් සඳහා පසුව භාවිතා කරන්නට ඔවුන් පෙළඹී තිබෙනවා. එසේම රැව්ම්, ගෙරවුම් ශබ්ද නොඇසෙන අවස්ථාවකදී සහල් ලිප තැබීමද පැරණි සිරිතක්. සහල් ලිප තැබීමේදී ශබ්ද වලට නිරාවරණය වුවහොත් එයින් බත් අඩු වන බව ඔවුන්ගේ විශ්වාසය විය. තවද තම පවුලට පිළියෙල කරන ආහාරය ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් පිළියෙල කළ යුතු බව මින් අදහස් වෙනවා. බත් මුට්ටිය තෙවරක් ස්පර්ශ කර ලිප තැබීම මෙන්ම බත් බෙදීමේදී එයට තෙවරක් නමස්කාර කිරීම පානම්පත්තුවේ පැරණි ගැමියන්ගේ සිරිතක් බව මහින්ද කුමාර දළුපොත මහතා ඔහුගේ කෘතියක සටහන් කර තිබෙනවා.
බත් පිසූ බදුන පිටත පිරිසිඳු කිරීමකින් තොරව බත් බෙදීම නොකළ යුතු බවත් පුරාණ සිරිතක්. බත් පිසීමේදී උතුරන බත් කැඳ වේලීමෙන් පසුව නැවත පිරිසිදු කිරීම අපහසු බැවින් හා ආහාරයේ පිරිසිදු බව උදෙසා මෙවැනි චාරිත්රයක් අනුගමනය කරන්නට ඇතැයි සිතන්නට පුළුවන්. එකල ආහාර පිසීමේදී නිවැසියන්ට අමතරව තවත් එක අයෙකුට බත් ඇති වන සේ ඉවීම සිරිතක්. වර්තමානයේ මෙන් නොව එකළ ගම් පළාත් වලට ආහාර ගන්නා වෙලාවට අමුත්තන් ගොඩ වැදීම සාමාන්ය ආකාරයක් වී තිබුණු බව ඉන් පැහැදිළි වෙනවා. රාත්රී කාලයේදී බත් පිසූ බදුනේ ඉතා කුඩා ප්රමාණයක් බත් ඉතිරි කිරීම තුළින් නිවසට රාත්රියට පැමිණෙන යැයි ඔවුන් විශ්වාස කරන ශ්රියා කාන්තාව සතුටු වන බව සදහන්. බත් බෙදීමේදී නිවසේ ස්වාමියට ගරු කිරීමක් ලෙස පළමුව ඔහුට බෙදීම සිදු කරනවා මෙන්ම මව ආහාරය සඳහා බත් බෙදා ගන්නේ සියල්ලට බෙදා අවසන් වූ පසුවයි.
පිසගත් පසු බත් උණුසුම් පිටම පන් වලින් හෝ රම්පේ පත්ර වලින් වියූ වට්ටියකට බෙදා උණුසුම මදක් අඩු වන තුරු තබා නැවතත් බත් පිසූ බදුනට දැමීම සිදු කරන්නේ ඒ මගින් බත් ඉක්මනින් නරක් වීම වැළක්විමටයි. රම්පේ බතට එක් කිරීම මගින් ආහාර රුචිය වර්ධනය වන අතර බත නිවීම සඳහා රම්පේ පත්ර වලින් වියූ වට්ටියකට එකතු කිරීමෙන් ඒ තුළින් ආහාර රුචිය වඩවන සුවදක් නිකුත් වෙනවා.
විවිධ අවස්ථාවන් වලදී බත් විවිධ ආකාරයෙන් හදුන්වනවා. රාත්රියේදී පිසූ බත් පසුදා උදේට හදුන්වන්නේ හීල්බත් ලෙසයි. එයට ජලය එකතු කර තබා ආහාරයට ගන්නා විට හදුන්වන්නේ දියබත් ලෙසයි. කමතට රැගෙන ගිය බත් මුත්තෙට්ටුව ලෙසත්, වෙල් යායට රැගෙන යන බත ඇඹුල ලෙසත්, දේවාල වල පිසින බත් මුරුතැන් බත් ලෙස, හා අවමගුලකට පසු පිළියෙල කරන බත මළ බත ලෙසත් හදුන්වනවා.
දුර ගමනක් යාම සඳහා බත් පිළියෙළ කිරීමේදී එය ඔතනු ලැබුවේ දිග ඇරීමේදී ආහාර රුචිය වඩවන සුවදක් එන නෙලුම් කොළවලය.
බත් ගස හෙවත් කොස් ගස….
පාරම්පරික ආහාර තාක්ෂණයේදී කොස් විවිධ ආකාරයට පිළියෙළ කරනවා. කොස් යනු ජීර්ණයට අපහසු ආහාරයක් බැවින් එය පිළියෙළ කිරීමේදී නිතරම අඹ ව්යංජනයක් සැකසීමත් සිදු වෙනවා. “කොස් කාලා අඹ මුලක් උඩින් පැන්නත් ඇති” යන ව්යවහාරය එක් වුයේ ඒ සමඟයි. කොස්, වරකා, හෝ වැල තනියම ආහාරයට ගැනීම ගැමියන්ගේ සිරිත වුණේ නැහැ. තමන්ට අවශ්ය ප්රමාණය වෙන් කරගෙන, කොස් බෑ හෙවත් කොස් පලු ලෙස හැදින්වූ ඉතිරිය කොළපතක දවටා අසල්වාසීන්ට බෙදා දීම සිදුකර තිබෙනවා. එසේම ඉදුණු වැල මහාමාර්ග දෙපස එල්ලා තිබු බව සදහන්.
සිරිත් හා බැදි විද්යාත්මක භාවය…
රාත්රී කාලයේදී අඟුණ කොළ හෝ කරවිල පිළියෙල නොකිරීම අතීත සම්ප්රදායක් විය. මෙවැනි ආහාර ගෙන සිටීමේදී සර්පයන් දෂ්ට කළ විට විස නැසීම සඳහා ප්රතිකාර කිරීම අපහසු බව විෂ වෙදකමේ සදහන් වෙනවා. වත්මනට වඩා අතීතයේදී සර්පයන් බහුලව සිටි අතර රාත්රී කාලයේදී රෝගීන් ප්රතිකාර සඳහා රැගෙන යාමද ඉතා අපහසු වුණා.
රාත්රී ආහාරය සඳහා පලා මැල්ලුම් පිළියෙළ නොකිරීමට හේතු වන්නේ රාත්රියේදී පලා තේරීමේදී එහි සිටින කුඩා කෘමියන් හා පණුවන් ඉවත් කළ නොහැකි බැවින්. තවද පලා වල බඩ විරේක කරවන ගුණයක් තිබීමද මෙයට එක හේතුවක් විය. පොල් සම්බෝල පිළියෙළ කිරීමේදී මිරිස් ගල මත තිබියදී දෙහි ඇඹුල් එක නොකරන ලදී. පලා තේරීම සඳහා කුල්ල භාවිත නොකරන සිරිතක් විය. කුල්ල සහල් පෙළීමට භාවිතා කරන බැවින් එය වියළි තත්ත්වයෙන් තිබිය යුතුයි යන්න ඊට ඉදිරිපත් කළ හැකි හේතුවයි.
සමහර ක්රියාවන් උදෙසා විද්යාත්මක පදනමක් තිබුනත් තවත් කරුණු විද්යාත්මකව පහදා ගැනීමට නොහැකියි. ඉතින් පැරණි සිංහලයන්ගේ ආහාර හා බැඳි සංස්කෘතිය කොතරම් සරල මෙන්ම කොතරම් අකර්ශණියද යන්න ඔබට දැන් වැටහෙනු ඇත.
සංස්කෘතිය රටින් රටට වෙනස් වේ. ශ්රී ලංකාවටද ආවේණික වූ සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් තිබේ. ඒ අනුව ආහාරය පිළිබඳව ද ආවේනික සංස්කෘතියක් ඇතිවාක් මෙන්ම ඊට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. ශ්රී ලංකාවේ පුරාණ සංස්කෘතිය පිළිබද ඓතිහාසික ලිඛිත මූලාශ්ර හා පුරාවිද්යාත්මක මූලාශ්රවලද සදහන් වේ. ඒ අනුව මහාවංශය‚ රසවාහිනිය‚ සද්ධර්මරත්නාවලිය‚ සද්ධර්මාලංකාරය‚ ජාතක අටුවාව‚ ථූපවංශය‚ මහා බෝධිවංශය මෙන්ම පුරාවිද්යාත්මක සාධක වන තෝනිගල‚ මැදිරිගිරිය‚ එප්පාවල‚ වේවැල්කැටිය වැනි ශිලා ලිපිවලින්ද‚ බදුලු ටැම් ලිපියෙහි ද සඳහන් වේ.
පොදුවේ ගත්කල ලොව පවත්නා ආහාර, වර්ග කිහිපයකට වර්ග කර තිබේ. එනම් ධාන්ය‚ අල‚ එළවළු, පලාවර්ග‚ පළතුරු‚ කිරි‚බිත්තර‚ මස්‚මාලු, යනාදි වශයෙනි. මෙම ආහාර වර්ගවලට අමතරව කැවිලි වර්ග‚ තෙල් වර්ග‚ බීම වර්ග‚ කුළුබඩු වර්ග ආදිය ද ආහාර සදහා භාවිතයට ගෙන ඇත. නූතනයේ පෝෂණවේදීන් පෙන්වා දෙන සමබල ආහාරයක තිබිය යුතුයයි සැලකෙන පිෂ්ඨය‚ මේදය‚ ප්රෝටීන්‚ ජලය‚ විටමින් හා කෙඳි සහිත ආහාර සම්ප්රදායික ආහාර වේලක අඩංගු වී ඇති බව පෙනේ. එමෙන්ම ආහාර විවිධ ක්රම අනුව සකස්කර ගැනීමට මෙන්ම ආහාර ස්වභාවිකව කල්තබා ගන්නා ක්රම ද දැන සිටි බව පෙනේ. එම ක්රම අදටත් ප්රායෝගිකව යොදා ගන්නා අවස්ථා තිබේ.
ආර්යයන් සෙසු ජනතාවට වඩා කලින් ධාන්ය වගාව ආරම්භ කළ බවට සාධක ඇත. වංශකථා කියන ආකාරයට පැරණි ශ්රී ලාංකික ජනතාවගේ ආහාරයට මූලික වී ඇත්තේ ද සහල්ය. ඓතිහාසික මූලාශ්රවල වී ගොවිතැන සම්බන්ධ රසවත් තොරතුරු දැක්වේ. වී ගොවිතැනේදී අත්යවශ්ය සාධකයක්වූ වැව, පණ්ඩුකාභය රාජ්ය සමයේ ඇරඹුණු බවට සාක්ෂි තිබේ. උතුරේත් දකුණේත් වැව් විසි දහසක් තිබී ඇත. පැරැණි පාළි ග්රන්ථවල ධාන්ය වර්ග හතක් ගැන සදහන් වේ. වී වර්ග තුන්සිය දාහතක් (317) හදුනාගෙන ඇත. වී වර්ග දාහක් (1000) පමණ ව්යවහාරයේ පැවැති බවට ද මත පවතී. හේන් ගොවිතැන ආශ්රිත අනෙකුත් ධාන්ය වර්ග වූයේ තල‚ මුං‚ මාස‚ මෙනේරි‚ කුරක්කන්‚ තණහාල්‚ උදු‚ කඩල‚ පරිප්පු හා කව්පි ආදියයි.
මේ අනුව පෙනීයන්නේ පුරාණ ලාංකිකයන්ගේ ප්රධාන ආහාරය වී ඇත්තේ බත් සහ ධාන්ය වර්ගයි. බත් ප්රධාන වු අතර එය මස්‚ මාලු‚ බිත්තර‚ එළවළු වර්ග සමග කෑමට ගන්නට ඇත. මෙරට ව්යවහාරයේ පැවති බත් පිසීමේ ක්රම රාශියක් මහා වංශයේ දැක්වේ. එනම් බත්කැඳ‚ කිරිබත්‚ තෙලින් පිසූ බත්‚ අඹුල් බත්‚ සීනි සමග පිසූ බත්‚ හකුරු සමඟ පිසූ බත්‚ මී පැණි සමග පිසූ බත්‚ වෙඩරු සමග පිසූ බත්‚ තැඹ්ලි වතුර‚ වෙඩරු හා කුළුබඩු යොදා පිසූ බත් යනාදී වශයෙනි. මීට අමතරව මුං‚ කොල්ලු‚ බෝංචි ඇට යොදා පිළියෙළ කරනු ලබන කිරිබත්‚ එළවඵ වර්ග දමා තෙලින් තෙම්පරාදු කරගත් බත්‚ ඇඹුල් දියර යොදා සකස් කර ගත් බත්‚රාත්රි සිසිල් දියෙහි බත් දමා තබා පසුදා උදේ ඒ බත් මිරිකා ජලය ඉවත් කොට ඵෑණු‚ මිරිස්‚ පොල් කිරි‚ ලූණූ‚ දෙහි ඇඹුල් යොදා පිළියෙල කර ගන්නා බත්‚ දියෙන් කිරෙන් සහල් හෝ හුන්සහල් යොදා පිළියෙල කරගන්නා බත්‚ අමු‚ මෙනේරි‚ යව‚ කුරක්කන්‚ ඉරිගු ආදී ධාන්ය වර්ග යොදා සකස් කළ බත් සහ හීල් බත්‚ කහ බත්‚ මුං බත්‚ඇගිටි හාල් බත්‚ කුඩු බත් ආදිය වැදගත්ය. රජවරුන් විසින් භික්ෂූන් වහන්සේලාට කිරිබත් පූජා කළ අවස්ථා දැක්වෙන අතර එය අද ද සුභ සංස්කෘතික ආහාරයක් සේ සැළකේ.
මීට අමතරව ධාන්ය වර්ග අඔරා එයින් කැඳ හා රොටී සාදාගෙන ඇත. ධාන්ය වර්ගවලින් සාදාගත් කැඳ වර්ග තුනක් ගැන සඳහන් වේ. එනම් ලුණු කැඳ‚ කොළ කැඳ හා කිරි කැඳයි. අතීතයේ කැඳ වට්ටෝරු තුන්සියයක් (300) පමණ පැවති බවට සාක්ෂි තිබේ. පැරණි රජවරු ගිලනුන්ට නිතිපතා බෙහෙත් කැඳ දී තිබේ. බටු කැඳ‚ කොහිල කැඳ‚ අබ කැඳ‚ පොල්පලා කැඳ‚ හාතාවාරිය‚ ඉරමුසු‚ රණවරා‚ ගොටු කොළ ආදිය ඉන් සමහරෙකි. උදේ ආහාරය සඳහා ද කැඳ පානය කොට ඇති අතර ඇතැම් කොළ වර්ග ඖෂධීය පානයක් ලෙස ද පානය කොට තිබේ. ඊට අමතරව පළතුරු බීම වර්ග (අඹ‚ දඹ‚ නාරං‚ දොඩම්‚ දෙහි‚ බෙලි‚ දිවුල්) ආදිය නිරතුරුව පානය කොට ඇත.
ශ්රී ලාංකේය ආහාර සංස්කෘතියේ දෛනික ආහාර වේලට එකතු වූ වැදගත් ආහාරයක් ලෙස මස් හා මාලු පෙන්වා දිය හැකිය. පුරාණ ලංකාවේ ජනප්රියව පැවැති මස් වර්ග ලෙස මුව මස්‚ ගෝන මස්‚ එළු මස්‚ ඌරු මස්‚ මොනර මස්‚ ගිරා මස්‚ වටු මස්‚පෙන්වා දිය හැක. ගවමස් කෑම රාජ උදහසට ලක්වන්නන් විය. මිරිදියෙහි වාසය කළ ලූලා‚ මඩකනයා‚ මගුරා‚ කාවයියා‚ පෙතියා‚ ඉස්සන්‚ කකුළුවන් වැනි මාඵ වර්ග අනුභව කොට ඇත. කරදිය මාලු අනුභව කළ බවට සාධක නොමැත. වර්තමානයේ එය ඉතා ජනප්රිය ආහාරයකි. බිත්තර වර්ග අතර කුකුළු‚ තාරා‚ කළුකුම්‚ කැස්බෑ ආදි සතුන්ගේ බිත්තර අනුභව කොට තිබේ.
ගෙවතුවල සහ හේන්වල වවන ලද පලාවර්ග හා එළවඵ වර්ග රාශියක් පැරණි ශ්රී ලාංකිකයන් ආහාරයට ගෙන තිබේ. වත්තෙහි අලවර්ග‚ කෙසෙල්‚ පොල්‚ පුවක්‚ කොස් ආදිය වවාගත් බව සද්ධර්මාලංකාරයෙහි දැක්වේ. නිතර වැළඳු එළවඵ වර්ග නම් කැකිරි‚ පුහුල්‚ දෙල්‚ රත්තම්පලා‚ තියඹරා‚ තිබ්බටු‚ අඵපුහුල්‚ වට්ටක්කා‚ මෑ‚ මිරිස්‚ බන්ඩක්කා යනාදියයි. එමෙන්ම බොහෝ පලා වර්ග සහ වම්බටු‚ මුරුංගා‚ කොල්ලු‚ කිරිබදු කොළ‚ තුඹ‚ අල කොළ‚ මඩු දළු‚වැල් කොහිල‚ කෙසෙල් මුහ‚ කෙකටිය‚ නෙඵම් අල හා දඩු ආදිය ඉතා ප්රචලිත ආහාර වර්ගයෝය. තෙල් වර්ග හා පොල් ව්යාංජන රසවත්කර ගැනීමට බහුල වශයෙන් යොදා ගෙන ඇත. එමෙන්ම කුඵබඩු වර්ග ලෙස ගම්මිරිස්‚ වගපුහුල්‚ ඉගුරු‚ අබ‚ දුරු‚ කහ‚ සුදුඵෑණු හා කුරුදු මෙන්ම දෙහි‚ ගොරකා‚ සියඹලා‚ නාරං‚ රම්පේ‚ කරපිංචා ආදිය යොදා ගෙන ඇත.
සහල් පිටිවලින් සාදන ලද කැවිලි වර්ග සහ පැණි රස වර්ග පිළිබඳව පැරණි මූලාශ්රවල සඳහන් වේ. ප්රණීතාහාර මධුරාහාර හෝ අවුල්පත් යනුවෙන් මේවා හැඳින්වේ. කැවිලි වර්ග අතර විවිධ ලෙස සකස් කරන අලුවා‚ හැළප‚ ඉඟුරු දෝසි‚ පුහුල් දෝසි‚ වැලිතලප‚ පැණි වළලු‚ දොදොල්‚ ලාලු‚ කිරි රොටී ආදිය වැදගත් තැනක් ගනියි. නූතනයේ භාවිත වන බොහොමයක් කැවිලි වර්ග සංස්කෘතික විපරණයෙන් උරුම වූ ඒවාය.
සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් ලෙස “කිරි” හදුන්වා දිය හැකිය. ගවයාගෙන් ලබා ගන්නා කිරිවලින් සකස් කර ගන්නා දේ “පස්ගෝ රස” වේ. කිරි‚ දී‚ ගිතෙල්‚ වෙඩරු හා මෝරු ආදියයි. උක්පැණිවලට ගිතෙල් මී වෙඩරු හා හකුරු එකතු කර “චතුමධුර” පිළියෙල කරගන්නා ලදී.
ශ්රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතියක පවතින බව මේ අනුව පෙනේ. එය අතීතයේ සිටම වෙනස් කම් සිදු වුවද නොනැසී පවතී. වෙනස්කම් සිදුවීමේදී ඉන්දියානු ආභාසය බෙහෙවින් බලපා තිබේ. පිට්ටු‚ ආප්ප‚ ඉදිආප්ප‚ තෝසේ‚ වඩේ‚ පපඩම් ඉන්දියාවෙන් ලැබුණු ආහාරයෝය. එමෙන්ම පෘතුගීසි‚ ලන්දේසි‚ සහ ඉංග්රිසි සංස්කෘතීන්ගෙන් විවිධ ආහාර වර්ග රාශියක් අපට උරුම වී තිබේ. කැරට්‚ නෝකෝල්‚ බීට්රූට්‚ ලීක්ස්‚ ගෝවා‚ සලාද වැනි එළවඵ මෙන්ම මැන්ගුස්‚ රඹුටන්‚ පැපොල්‚ අන්නාසි‚ මිදි‚ ඇපල්‚ පෙයාස් ආදී පලතුරු බටහිරින් උරුම වූ ඒවාය. මුස්ලිම් සංස්කෘතියෙන්ද උරුම වූ ආහාර රාශියක් වේ. මස්කට්‚ පැණි බූන්දි‚ ඉඳි‚ වටලප්පන් ආදිය ප්රචලිත ආහාරයෝය.
ඉහතින් සඳහන් කරන ලද ආහාර වර්ගීකරණයට අයත් සියලුම ආහාර වර්ග මෙරට තිබුණු බවට සාක්ෂි තිබේ. ශ්රී ලංකාවේ ආහාර සංස්කෘතිය පෝෂණය වීම සඳහා ආයුර්වේදයේත් බුදු දහමේත් අභාසය බෙහෙවින් ලැබී තිබේ. ඒ බව ආහාර පිළිබඳ සිරිත් විරිත් ආචාර ධර්ම තුළින් විද්යාමාන වේ. එමෙන්ම විවිධ විශ්වාස කෙම්ක්රම පූජාවිධි ශාන්තිකර්ම වැනි දේද මෙරට ආහාර සංස්කෘතිය පෝෂණය කර ඇත. මේ අනුව නිගමනය කළහැකි වන්නේ ශ්රී ලංකාවේ ආහාර සංස්කෘතිය මෙරටට ආවේණික වැදගත් අස්පර්ෂීය සංස්කෘතික උරුමයක් බවයි..
…………..අන්තර්ජාලය ඇසුරෙනි……….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!