වැහි අඳුරේ කවුරුවත්ම නොයන පාළු පාරෙ වැහි කබායක් ඇඳගෙන හෙමින් ඇවිදින මිනිසාව දුටු මම එක්වරම ගැස්සී ගියෙමි.
මා හැර වෙනත් කවුරුවත්ම නැති නිවස තුළ මම කිසිම අරමුණක් නැතිව සාලයේ තිබූ සෝපාවේ ඔහේ වැතිරී සිටියදී ඔහුව මට පෙනුණේ ජනේලයේ වීදුරු තුළින්.
තාත්තා ඊයේ උදේ නිවසින් පිටවී ගොස් පැයක් යන්නට මන්තෙන් මුළු පළාතම කළුවර කරමින් අහස වැස්සක පෙරනිමිති කියාපෑවේය.
එය මහා වැස්සක් නොවේ. ඒත් හීනීයට වැටෙන මේ වැස්ස දවස් කීපයකට නොනවතින පාටයි.
ඉතින් මම නිවස තුළටම සීමා වුණෙමි. තාත්තා සිටින දිනවලට ඔහුගේ පළතුරු වගාවට උදව් කරමින් සිටියද තාත්තා නොමැති දිනයන්හි මැහුම් කටයුතු කරමිනුත්, පොත් කියවමිනුත් කාලය ගත කරන්නට පුරුදු වී සිටියෙමි.
අද උදෑසන හයට පමණ අවදි වුවද , හිරිගඩු පිපෙණ සීතල හා කම්මැළිකම නිසා ඇඳෙහි උණුසුමට වී සිටියෙමි. නැවතත් මට නින්ද යන්නට ඇත. අවදි වී ඇදෙන් බිමට බැසගන්නා විට වෙලාව දහය පසුවී තිබුණි. වෙනදා නම් උදේම නැගිට තාත්තා සමඟ ආහාර පිළියෙළ කරයි. ඉන්පසුව අප දෙදෙනාම ආහාරගෙන පළතුරු වත්තට පිටත්ව යයි.
තාත්තා නැවත පැමිණෙන්නෙ හෙට දහවලෙහි ය. සති දෙකකට වරක් සති අන්තයේදී තාත්තාගෙ ව්යාපාර කටයුතු සඳහා නිවසින් පිටවී යයි. ඔහු එනතුරු මා තනිකමත් සමඟම සිටිය යුතුය.
හිස කකියන්නට විය. ඒ වෙන කවදාකවත් නැතිව මේ දැනෙන කම්මැළිකම නිසා විය යුතුය. අම්මා සිටි කාලයේදී මෙලෙස අසනීප වනවිටදී ඇය මට සාත්තු කරන ආකාරය මතක් වුවද ආයෙ එවන් සමයක් උදාවන්නෙ නැත.
ජනේලයේ තිර දෙපසට ඇද පොද වැස්ස දෙස බලා සිටියෙමි.
වැස්ස බැලූ බැලූ හැමතැනටම පාළු අඳුරක් එක්කර තිබුණි.
මේ ලෝකේ මම ඇර වෙන කවුරුවත් ජීවත් නොවන පාටයි. නමුත් ලෝකයෙ මා පමණක් නොවන බව සැනෙකින් තහවුරු වූයේ ඔහුව ඇස ගැටෙද්දීය. කවුරුවත් නොයන මේ වෙලාවේ කුඩයක් යටින් ගමන් කරමින් සිටියේ ඔහුම බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඔහුගෙ නිල් පැහැති වැහි කබාය මට මතක් විය.
ඔහු අවුරුද්දකට පමණ ඉහත දිනකදී මට ආදරය ප්රකාශ කර තිබුණි. නමුත් ඔහුට ආදරය කිරීමට තරම් ඔහුගේ විශේෂත්වයක් තිබුණේ නැත. ඔහු මහ කරදරකාරයෙකි. ඔහුගෙ නිවස ඉදිරියේ ඔහුට හිමි මල් අලෙවිසැළක් විය. ඔහු සෑම උදයකම එහි සිටියි. තාත්තා සමඟින් යන විටදී මාව දකිද්දී ඔහු මට සිනාසෙයි. අප කතාබහ කර තිබුණේ අවස්ථා කිහිපයකදී පමණයි.
ඔහු කඩවසම් නැත. ආදරණීය පෙනුමක් නැත. සුන්දර සිනාවක් නැත. ඔහුට ආදරය කළයුතු හේතුව මෙයයැයි කිවහැකි කිසිම හේතුවක් මට සොයාගැනීමට නොහැකි විය.
ඉතින් හිස රිදුම් දෙන මේ වෙලාවෙ ඔහුගේ දැක්ම මගෙ හිසරදය තවත් වැඩි කරවීය.
නිවසේ සීනුව නාද වනු ඇසිණි. ජනේලය ළඟට ගොස් එබී බැලුවේද කුතුහලයෙනි. ඒ ඔහු ය. මම දොර අරින්නේ නැති බවට ස්ථීර කර ගත්තෙමි.
මම තිර යොදා ජනෙල් ආවරණය කර ගත්තෙමි. ඔහු නිවස වටා කැරකෙමින් නිවස තුළ බැලීමට උත්සහ ගන්නා බව දැනුණි. ඔහු ආපහු යන පාටක් නැත. ඔහු මගෙ නම කියයි. පැයකට පසුවත් ඔහු නැවත නොනවත්වා සීනුව නාද කළේය. ඔහු පිටවී යන පාටක් නැත.
අසල මේසය මත තිබූ පිහියක් අතට ගත්තෙමි. දොර විවෘත කළේ මා පිපිරෙන තරම් කේන්තියෙනි.
“ඔයා හොඳින් ද?” ඔහු සෙමින් ඇසුවේය.
“ඔව්. ඇයි?”
“එහෙනම් කමක් නෑ. මම බය වුණා. කරදරයක් හරි අසනීපයක් හරිද කියලා. ඔයාට මාව ඕනෑ වෙයි කියලා හිතුණා. ඒකයි ආවේ”
“ඇයි එහෙම හිතුණෙ?”
“ඔයා අන්තිමට කෑම හැදුවෙ ඊයෙ උදේ. ඉතින් මෙච්චර වෙලා කෑම හැදුවෙ නැත්තෙ ඇයි?”
“ඔයා කොහොමද දන්නෙ?”
“අපේ ගෙදරට ඔයාලගෙ ගෙදර දුම් කවුළුව පේනවා. ඉතින් ඔයා කෑම හදන වෙලාවට හැමදාම මම ඒ දුම දකිනවා. ඊයේ උදෙන් පස්සෙ ඒ දුම මම දැක්කෙ නෑනේ. තාත්තා නෑ නේද? ඔයාලගෙ තාත්තාත් ගෙදරින් යනවා ඊයේ උදේ දැක්කා” ඔහු එය කීවේ ඇසෙන නොඇසෙන තරම් සෙමින්.
“ඔව්. මට කෑම තිබුණ නිසා මම කෑම හැදුවෙ නෑ අලුතින්”
මම කේන්තියෙන් පැවසුවෙමි.
ඊයෙ උදේ තාත්තාට ගෙනියන්න කෑම හදද්දි වැඩිපුර හැදුවෙ මට දවල්ටත් එක්කන්. රෑට චීස් එක්කන් පාන් පෙති කීපයක් ආහාරයට ගත්තෙමි. අද උදෑසන අවදිවන විට දවල් වී තිබූ නිසා උදේ කෑම කන වෙලාව පසු වී තිබුණි. ඒ වෙලාවෙදිත් ඉතිරි පාන් ආහාරයට ගෙන උණුසුම් බෝතලයේ තිබූ උණුවතුරින් කෝපි කෝප්පයක් පානය කළේ හවස් වී හිසේ වේදනාව අඩු වූවාම කෑම හදන බලාපොරොත්තුවෙන්.
“කෑම තියෙන්න ඇති. ඒත් උණුසුම් කෑම නෑනේ නේද? ඒ හින්දා සුප් එකක් ගෙනාව මම. දොර අරින්න පරක්කු වෙච්ච නිසා දැන්නම් ටිකක් නිවිලා. ඒත් හොඳටම නිවිලා නෑ. අම්ම හදපු කෝපි කේක් එකෙනුත් ඔයාට කෑල්ලක් ගෙනාවා. අපේ අම්මා හදන කෝපි කේක් රසයී. කාලා බලන්නකො. ආ….. බය වෙලා ඉන්නෙ නැතිව මේවා ගන්න”
ඔහු මා අත පාර්සලය තැබුවේය. ප්රතික්ෂේප කිරීමට තරම් මා සවිමත් නොවීය.
“මම යන්නම්.”
ඔහු එසේ කියා යන්නට හැරුණේ ය. නමුත් ඔහුට යමක් අමතක වූ අයුරින් නැවතත් මා දෙස බැලුවේය.
“කෑම හදන්න ඕනෑ වුණේ නැතත් ලිප නිකමට හරි ටිකකට පත්තු කරන්න. තාත්තා නැති දවස්වලටවත්. එතකොට මම දන්නවා ඔයා හොඳින් කියලා”
මේ මොහොතේ මෙලොව සිටින සුන්දරම මිනිසා ඔහු විය යුතුය.
ඔහු පරිස්සමට රැගෙන ආ උණුසුම මාගෙ දෑත් මත තබා නැවතත් සීතල වැහි බිංදු අතරින් නොපෙනී ගියේය.
ඉතින් ඔහුට ආදරය කිරීමට මට තවත් හේතු සෙවීමට අවශ්ය නොවීය.
උපුටා ගැනීම: සුභාෂිනී රත්නායක