මේක අපේ පොඩ්ඩො දෙන්නා පුංචි කාලේ සිද්ධ උන දෙයක්. පොඩ්ඩෝ දෙන්නා කිව්වේ නිවුන්නු. දුවයි පුතයි පුංචි කාලේ. මට මතක විදිහට එක වසරේ වෙන්න ඕනි.
පොඩ්ඩෝ පොඩි කාලේ අපිට හීන කෝටියයිනේ. උන් ලස්සන්ට චිත්ර ඇන්දොත් චිත්ර පංති දානවා. පොඩ්ඩක් තාලෙට කකුල තිබ්බොත් නැටුම් පංති දානවා. පොඩි තට්ටුවක් දාපු ගමන් සංගීත පංති ඇදන් යනවා. සහජ දක්ශතා ඔප් නන්වන්න කියලා අම්මලා ඉතින් හෙන ගැම්මේන් ඉන්නේ පොඩි උන් චූටි කාලේ. ඒ උනාට ළමයි කරන්නේ එයාලට ඕන දේ කියලා තෙරෙන්නේ පස්සේ. එතකන් අතේ තියෙන තුට්ටුවට තට්ටු වෙනකන් ළමයාගේ දක්ශතා ඔප් නන් වන්න එක එක විකාර කිරීම අම්මලාගේ පොඩි උණක්.
ඉතින් මටත් ඒ රෝගේ හැදුනා.
පොඩි උන් දෙන්නා සංගීතයට දක්ශයි කියලා මම කොහොමත් ඒ දෙන්නා බඩේ ඉන්න කාලේ ඉදන් හිතන් හිටියේ. මොකද බබාලගේ අප්පච්චි හෙන සංගීත කාරයා. ගෙදර සංගීත භාණඩ පිරිලා. එයා හවස ගිටාර් ගහන එක සින්දු කියන එක හරිම සාමාන්ය දේවල්. කොහොමහරි එයා සංගීතෙ ඉගෙන ගෙන තියෙන්නේ අවුරුදු 4 ඉදන්ලු. අවුරුදු 9 දී ප්රාදේශීය නිදහස් උත්සවේක ජාතික ගීයට මියුසික් දුන්නා කියාලා නැන්දම්මා පින්තූරයක් පෙන්නලාම කිව්වේ සෑහෙන උජාරුවෙන්.
ඉතින් මාත් හිතුවා පොඩ්ඩෝ දෙන්නටත් පොඩිම කාලේ ඉදලා සංගීතෙ උගන්නවා කියලා. හැබැයි ඉතින් නොයෙකුත් හේතු එක්ක මේක පටන් ගන්න එක එයාලා 1 වසරට යනකන් බැරි උනා. ඒකට ප්රධාන හේතුව උනේ ඒකට සුදුසු ගුරුවරයෙක් හොයාගන්න තිබ්බ අමාරුව සහ ගුරු වරයෙක් හොයන්න භාරගත්තේ බබාලගේ අප්පච්චී වීම. ඔය මාතෘකාව උඩට එන කොට අමරදේව හරි ගෙදර ගෙන්න කතා කරාට ඊලග මොහොතේ මතක නෑ.
පස්සේ මම සද්ධයක් දාලාම කිව්වා හරි යන්නේ නෑ කොහෙන් හරි ගුරෙක් හොයාගන්න නැත්තන් දරුවෝ දෙන්නගේ සහජ දක්ශතා අපතේ කියලා. දැන්ම කෝල් කරලා කන්ටැකට් එකක් ගන්න ඉකමනින් මේ සතියේ වැඩේ පටන් ගමු කියලා.
ඉතින් එයා යලුවෙක්ට කතා කරලා ගුරුවරයෙක්ගේ කන්ටැක්ට් ගත්තා. ඒ කෙනාට කතා කරලා දිනේකුත් දාගත්තා. ඊලග බදාදා එනවා කියලා දින නියම කරගත්තා. මම ඉතින් පොඩ්ඩෝ දෙන්නටත් තේරෙන විදිහට කිව්වා සංගීතෙ උගන්නන්න සර් කෙනෙක් එනවා. එයා එක්ක ඕගන් ගහන්න පුලුවන්. සිංදු කියලා දෙයි කියලා. දෝණි අහනවා ඒ සර්ගේ නම මොකද්ද කියලා. එතකොට තමා මතක් උනේ මම විස්තර අහගත්තේ නෑ කියලා.
” ඒයි අර මියුසික් සර්ගේ නම මොකද්ද ? “
” ආ නම හරියටම මතක නෑ. මම සර් කියලා කතා කරේ.”
” ඕකනේ ඉතින් දෙයක් කරනකොට හොයලා බලන්නේ නෑ කියලා” මාත් පුරුදු ජර බරේ දැම්මා.
” මේ කන්ටැක්ට් එකේ තියෙන්නේ කිරීන් මෝ කියලා නේ”
“මොකෙක් කිරින් මෝ.. අයියෝ ඒ සර් කෙනෙක්ද අප්පා.. නමෙන්ම පේනවා නේ.. අයීයෝ මොලේ නැද්ද අප්පා. ඔයාට වැඩක් භාර දුන්නොත් ඉවරයි. කිරින් මෝ ? මොන ඉස්කෝලෙද උගන්නන්නේ කියලා ඇහුවද? අයියෝ ගෙදර එන්නත් කිව්වා නේ. මොන ජාතියේ මිනිහෙක්ද දන්නේ නෑ. මම විතරයි ඔය වෙලාවට ඉන්නේ. ” මම ඉතින් ආවේස වෙච්ච කපුවා වගේ කෑ ගහනවා. පොඩි උන් දෙන්නා තුශ්නිම්භූත වෙලා බලන් ඉන්නවා.
” හවස 4 එන්නන් කිව්වේ. 6 වෙනකොට යන්න ඕනී කිව්වා. මොකක්ද ……. හොටේල් එකේ සිංග් කරනවා කියලා.”
” මොකක් සර් කෙනෙක් නෙමේද? හෝටල් වල සිංදු කියන කෙනෙකුට පුලුවන් ද ළමයින්ට සංගීතය උගන්නන්න. ඔයාට නන් පිස්සු අප්පා.” මට මැවිලා පේන්නේ කොණ්ඩය වවලා, පාට කරලා, පච්ච කොටලා, කරාබු දාලා ගිටාර් එකක් එල්ලන් ටේලර් බයික් එක්ක නැගලා හෝටල් ගානේ සිංදු කියන කොල්ලෙක්ව. මට ඉතින් ආපු ආවේගය තුන් ගුණයකින් වගේ වැඩි උනා. ඊට පස්සේ බැනපු කියපු ඒවා මතකත් නෑ. කොහොමහරි මේ වගේ වෙලාවට අපේ මනුස්සයා උච්ච ස්වරයෙන් කියන වාක්ය කිව්වම මගේ බර බරය මිමිණිල්ලක් සයිස් එකට වොලියුම් අඩු කරගත්තා.
ඒයා ආපහු කෝල් කරනවා කන්ටැක්ට් එක දුන්න කෙනාට. ” හලෝ මල්ලී අර මියුසික් සර්ගේ නම මොකද්ද? අහා.. මිනිහා අවුලක් නෑනේ. අහා.. ක්ලාස් කරනවා.. අහා.. ඔව් නේ.. නෑ අක්කයි පොඩි අයයිනේ ඉන්නේ.. ඔව් මම කතා කරා.. එන්නන් කිවා. හරි මල්ලී. තැන්කිව්. අහා මම බලන්නන්. ” අපේ මනුස්සයා දැන් ෆෝන් එක දිහා බලන් හිනා වෙනවා.
” මේ අර මනුස්සයාගේ නම කිරින්ද. අර මල්ලී ඒක සේව් කරලා තියෙන්නේ කිරින් මො කියලා. මෝ කියන්නේ මොබිටෙල් වෙන්න ඇති. මේ ඩයලොග් නොම්බරේකුත් පස්සේ එවලා. මේන් බලා ගන්න ෆේස් බුක් ඉන්නවා මනුස්සයා” කියලා මූණූ පොතෙන් ප්රොෆයිල් එකත් පෙන්නුවා.
අනේ කොණ්ඩය පැත්තට පීරපු අහිංසක කොලු පුන්චෙක් ඉන්නවා පිං පාටට දිලිසි දිලිසී.
මට ලැජ්ජත් එක්ක. කියපු අඩපාලි වලට. එහෙම කියලා ඉතින් අපි අතාරින්නේ නෑ. “ඒකනේ කතා කරන්න ඉස්සර හොයලා බලාන්න එපෑයැ. “
“හරි හරි දැන් බලාගත්තන.දැන් අර කියපු ඒවා පොඩ්ඩොන්ට ඇහුණා. ආව ගමන් මොනා කියයිද දන්නෑ.” කිව්වම තමා මතක් උනේ මටත් අපේ බඩු දෙක ශුවර් නෑ ඉතින්. දෙන්නා කොහොම හරි ශේප් කරන් කලාස් කරා මාස 2 වගේ. ඊට පස්සේ කිරින්ද මල්ලී ඇක්සිඩන්ට් වෙලා ක්ලාස් නවත්තන්න උනා. පස්සේ එයා රියැලටි ශෝවල පවා දක්ශතා පෙන්නුවා වගේම තාමත් එයා ක්ලාස් කරනවා. බෑන්ඩ් එක්කුත් තියෙනවා.
අපේ දෙන්නගෙන් දෝණි විතරයි මියුසික් කරන්නේ. පුතා තෝරගත්තේ නැටුම්. එයලා ආසා දේ ඉතින් අන්තිමට එයාලම තෝරගන්නවා කරන්න.
උපුටා ගැනීම: Sumudu Dhanapala