මෙය 1972 වසරේ අග භාගයේ දී මඩකලපු පොලිසියේ සේවය කරමින් සිටියදී වූ සිද්ධියකි. එදින මා හා තවත් නවක පොලිස් කොස්තාපල්වරයෙක් ජ්යෙෂ්ඨ පොලිස් කොස්තාපල්වරයෙකු සමග පාපැදිවලින් මුර සංචාරයේ යෙදුනා. අයියා (ජේෂ්ඨ පොලිස් කොස්තාපල් වරුන්ට අප ආමන්ත්රණය කරන ආකාරයයි) ඉදිරියෙන් යන අතර ඔහු පිටුපස අප සංචාරය කළා. වෙලාව රාත්රී 1ට පමණ විය. සංචාරයේ යෙදෙන අතර අපටත් නොදන්වා එක්වරම ඔහු පාපැදිය මඩකලපුව පොදු කනත්ත ගේට්ටුවෙන් ඇතුළට හැරෙව්වා. පසුපසින් ගිය අප දෙදෙනාගේ පපුව හෝස් ගැවුනි . තරුණ කාලයේදී වත් දිවාකාලයේදී වත් කනත්තක ට ඇතුළුවීමට මම බිය වෙමි. කරන්නට දෙයක් නැත. පොලීසියෙන් ජේෂ්ඨයන්ට නෑ බෑ කිවනොහැක.
සොහොන් කොත් 100ක් පමණ පසු කර ඔහු නැවතුනේ කනත්තේ කෙළවර ය. මට එක්වර සිතුනේ පරණ කතාවල් වල සඳහන් සොරාගන්නා ලද දේපල සොරුන් බෙදා හදා ගන්නේ අමු සොහොන් වල බැවින් එවැනි පුද්ගලයන් අල්ලාගැනීමට අයියා අප සමඟ මෙහි එන්නට ඇති බව ය. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. පාපැදියෙන් බැස ගත් අයියා ඔහුගේ වැහි කබාය එලූවේ අලංකාර ලෙස කිරි ගරුඩ ගල් අල්ලා සකස් කළ සොහොන් කොතක් මතය.
” තවත් පැයක් තියෙනවා උඹලත් රෙස්ට් කරපල්ලා…” යනුවෙන් ඔහු කියා සිටියා. අප දෙදෙනාට මොන රෙස්ට් එකක්ද මහ රෑ මැද. කනත්තේ බියෙන් ගැහෙමින් සිටියා. ස්වල්ප වේලාවකින් අයියා ගොරවන්නට පටන් ගත් අතර ඒ හඬ කනත්තේ රැව් දුන්නා. ඉතා අමාරුවෙන් බියෙන් ගැහෙමින් සිටි අප දෙදෙනා අයියව ඇහැරවා ඔහු සමග ඉතිරි රාජකාරි සඳහා පිටවුනා.
එසේ කරන්නේ අප පරික්ෂා කිරීමට එන උසස් නිලධාරීන්ගෙන් බේරීමට බව පසුව ඔහු අපට පැවසුවා. ඒ කාලයේදී රාජකාරි වෙලාවේ නිදා සිට අසුවුව හොත් කිසිදු සමාවක් නොමැතිව සේවයෙන් නෙරපා හරිනවා. එහෙමත් කාලයක්.
උපුටා ගැනීම: Terry Jayarathne