කොරෝනා පළමු රැල්ල ආව කාලේම කසාඳ බැඳපු ජෝඩුවක් වන කෝසලයි සංජුලායි තුන්වන රැල්ල පටන් ගන්න කලින් අලුත් ගෙදරට ගෙවැදුනා..
පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවක් කරපු කෝසල තම බිරිඳව සප්රයිස් කරන්න බොහොම කැමති කෙනෙක්..ඇයගේ උපන්දිනයට, විවාහ සංවත්සරයට මෙන්ම වැලන්ටයින් දිනයටත් ඔහු විවිධාකාරයෙන් බිරිඳව පුදුම කරන්න කරපු උත්සාහයන් සාර්ථක උනා..ගෙදරටම වෙලා රාජකාරි කටයුතු කරපු කෝසලට ඔන්ලයින් සේවාවන් මේ සදහා මනා පිටුවහලක් සැපයුවා..
නවකතා පොතේ සිට ගෘහෝපකරණ දක්වාද නියාලේපනයේ සිට ඇදුම් දක්වාද පොඩි චොකොලට් එකේ සිට වට්ටක්කා ගෙඩිය දක්වාද වූ නානාප්රකාර දේවල් කෝසල ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙදරටම ගෙන්වා ගත්තේ තම වේලාවත් මහන්සියත් ඉතුරු කර දීම ගැන කොරෝනාවට පිං දෙමින්…වෙනදාමෙන් ටවුම පුරා වාහනය පදවමින් නොයෙකුත් තැන්වල නවත්වමින් කඩ සාප්පු පුරා ඇවිදිමින් බඩු තෝරනවාට වඩා ගෙදරම සිටිමින් අදාළ ආයතනයේ වෙබ් පිටුවට ගොස් විනාඩි කිහිපයක් තුළ තමන්ට අවශ්ය භාණ්ඩ තෝරාගෙන තම ලිපිනයට ගෙන්වා ගැනීමට හැකිවීම ඇත්තටම කෝසලගේ කාලය මෙන්ම ධනයද ඉතුරු කර දීමක් උනා..
සමහර ආයතනයන් කෑෂ් ඔන් ඩිලිවරි සේවාව එනම් භාණ්ඩ ගෙනැවිත් දුන් පසුව මුදල් ගන්නා සේවාවන්ද තවත් සමහර ආයතනයන් එම ඇණවුම ලබා ගන්නා වෙලාවෙම බැංකු ගිණුම් හරහා අවශ්ය මුදල් ලබාගෙන සේවා සපයන්නන් ලෙසටද ක්රියාත්මක වුනා..
සංජුලා මේවන විට කෝසල ඔන්ලයින් මගින් ගෙන්වා දුන් සප්රයිස් මුදු, මාල, සාරි සහ උපන්දින මෙන්ම සංවත්සර කේක් නිසා සතුටින් සිටියත් ලොකු ඇඳුම් අල්මාරියක් ගෙදරට නැති වීම ගැන නිතරම කෝසලට කණු කුණු ගෑවා…
පුරුද්දක් ලෙස කෝසල තම පවුලේ ලී බඩු අවශ්යතාව සපුරා ගත්තේ තම සීයාගෙ කාලයේ සිටම ලීබඩු ගත් කඩයකින්…ඔවුන් අවශ්යතාවයට අනුව ලී බඩු සාදන්නන්..එහෙත් කොරෝනා නිසා ඔවුන්ගේ ලී මඩුව අක්රීය තත්ත්වයක පසුවුනා…කෝසලට එතැනින්ම අල්මාරියක් ගැනීමට අවශ්ය වෙලා තිබුණා..
ඔය අතරේ සංජුලා කෝසලට හාහා පුරා කියල කැමතියි කීව දිනය උදාවෙන්නට තිබුණේ සතියක පමණ කාලයක්.. ඇත්තටම එය දෙදෙනාටම වැදගත් ආදරණීය දිනයක් උනා..හැම අවුරුද්දකම ඔවුන් එම දිනය බොහොම ප්රේමාන්විතව සමරා තිබුණු අතර මෙවරත් කෝසල එය ඉහළින්ම සමරන්නට තීරණය කර තිබුණා..
රට මේ වන විට විවෘත කර තිබුණත් සංචාරයකට හෝ හෝටලයකට යාම වෙනුවට සංජුලා නිතරම කියන ලොකු අල්මාරියක් ගෙනැවිත් ඇයව සප්රයිස් කිරීමට කෝසල සිතාගෙන ඔහුගේ ලීබඩු සාප්පුවට කතා කලද බාසුන්නැහේ කොරෝනා ආසාධිතව සිටින නිසා සාප්පුව වසා දමා ඇතිබව දැනගන්නට ලැබුණා..
මේ අතර කෝසලට තම ආයතනයේ රාජකාරි බහුල වුනේ රට විවෘත කිරීම නිසායි..කෙසේ හෝ සංවත්සරයට දින තුනක් තිබියදී ඔන්ලයින් සේවා සපයන ආයතනයකින් අල්මාරියක් ඇණවුම් කිරීමට කෝසල හිත හදාගත්තා…එයට අවශ්ය මුදල්ද ඔහු එවෙලේම ඔන්ලයින් හරහා ගෙවා දැමුවා.. තම විවාහ සංවත්සරය අහවල් දිනයේ යෙදී ඇති බවත් එදිනට අනිවාර්යයෙන්ම අල්මාරිය ගෙදරට ඩිලිවර් කලයුතු බවත් කෝසල අදාළ ආයතනයේ නිළධාරිවරයාට දුරකතනය මගින් පැවසුවා..
එහෙත් තම බිරිඳව පුදුම කිරීමට ඔහු මේ බව ඇයට කීවේ නැහැ..ඇය අල්මාරියක් ගැන කතා කරනවිට ” සයිමන් බාස්ට කොරෝනා..එයා සනීප වෙලා ආවම ඩිසයින් එකක් දීලම හොඳ කරුවල ලීයෙන් එකක් හදමු” ලෙසට කෝසල කීවා..
අදාළ දිනයේ කෝසල රාජකාරියට පිටව ගියේ වේලාසනින් ගෙදර එන බව සංජුලාට පවසමින්…කාර්යාලයට පැමිණි පසු ඒ බව සංජුලාට දුරකතනයෙන් පැවසූ කෝසල දවල් එක වෙනතෙක් ඔහුට අත්යවශ්යම
නැත්නම් ඇමතුම් නොදෙන ලෙසට පැවසුවේ තව ටික වේලාවකින් මීටින් එකක් පටන් ගන්නා නිසයි..
දුරකතනය විසන්ධි කිරීමෙන් පසු සංජුලා ගෙදර අස්පස් කිරීමට පටන් ගත්තෙ සිංදුවක්ද මුමුණමින්..පැය භාගයක් පමණ යනවිට ගේට්ටුවේ සීනුව නාද වන බව ඇසුණු සංජුලා මුහුණු ආවරණයද පැළඳ ගෙන ගේට්ටුව ගාවට ගියා..
“මිස් අපි අහවල් කම්පනි එකෙන්..මේ නොම්මර 47 නේද? මහත්තයා ඔන්ලයින් ඕර්ඩර් එකක් දීලා තිබ්බා..අපි මේක ගෙදරට ගේන්නද මිස්?” ලෙසට රටේ ප්රසිද්ධ ගෘහ භාණ්ඩ ආයතනයක නම් සදහන් ටී ෂර්ට් එකකින් සැරසී සිටි තරුණයෙක් සංජුලාගෙන් ඇසුවා..පසෙකින් බට්ටා ලොරියක් සහ තව තරුණයන් තිදෙනෙකුද වූවා..සියල්ලන්ම මුහුණු ආවරණ පැළඳ සිටියා..
අල්මාරිය දුටු විගස ප්රීතියෙන් පිනා ගිය සංජුලා එය ගෙදරට ගෙන එන මෙන් පැවසුවේ තම සැමියාගේ සප්රයිස් දීමෙ හැකියාව ගැන ආදරයෙන් මතක් කරමින් සහ සිනහ වෙමින්..
සංජුලා පැවසූ කාමරයෙන් අල්මාරිය ප්රවේසම් සහිතව තැන්පත් කල තරුණයන් පිටව ගියා..එහි නායකත්වය ගත් මුලින්ම කතා කළ තරුණයා “මිස් මේකට මහත්තයා පේ කරල තියෙන්නෙ.. යතුරු මහත්තයා ගාව..එතකල් ඉතින් මේක ඕපන් කරන්න බෑ..රිසිට් ඔක්කොම මහත්තයාගෙ ඊමේල් එකට එවල තියෙන්නෙ..” යනුවෙන් පවසා පිටව ගියා..
සියල්ලන්ම පිටව ගිය පසු ගේට්ටුව සහ ඉදිරිපස දොර වසා දැමූ සංජුලා අල්මාරිය තිබූ කාමරයට ගොස් එහි හැඩරුව නිරීක්ෂණය කලා..තමා සිතූ ආකාරයටම නොවූවත් එය තම සිත් ඇදගත් බව සංජුලා පිළිගත්තා..
ඊට පසු සංජුලා නා කියා ගැනීමට නානකාමරයට වැදුනා..නා ගෙන උදෑසන ආහාරය නිමවා රූපවාහිනිය ක්රියාත්මක කිරීමට යාමේදී නැවත ගේට්ටුවේ සීනුව වැදුණු හෙයින් සංජුලා නැවත ගේට්ටුව අසලට ගියා..
අල්මාරිය ගෙන ආ තරුණයා ගේට්ටුව ඉදිරිපිට සිටියා” අනේ මිස් අපිට වවුචර් දෙකක් පැටලිලා..මිස්ලට එන්න ඕන අල්මරිය අපේ වෙන ලොරියක පටවලා වෙන ඇඩ්රස් එකකට ගිහින්..එහෙට යන්න ඕන
එක මිස්ලට ඇවිත්..සමාවෙලා අපි අල්මාරිය අරගෙන යන්නද මිස්?” ලෙසින් ඔහු කීවා..
එයට එකඟ වනවා හැරෙන්නට සංජුලාට කිරීමට වෙන යමක් තිබුණේ නෑ..තරුණයන් තිදෙනා නැවත ගෙට ගොස් අල්මාරිය රැගෙන විත් තමන් පැම්ණි බට්ටා ලොරියට පැටවූවා..
“කොරෝනා නිසා අපේ ස්ටාෆ් එක අඩුයි මිස්..අලුතින් ආව කෙනෙක් තමයි වවුචර් වලට ඕර්ඩර් කරපු බඩු ලොරි වලට රිලීස් කරන්නෙ..මිනිහට පැටලිලා..සොරි වෙන්න ඕන මිස්” ලෙසින් අර තරුණයා සංජුලාගෙන් සමාව ඉල්ලා සිටියා..
“ඒකට කමක් නෑ..අපේ එක අදම ඒවි නේද?” ලෙස සංජුලා ඇසුවා..
“ඔව් ඔව් මිස්..තව පැයකින් ඒක ඩිලිවර් වෙයි” ලෙසට පැවසූ තරුණයා නැවත සමාව ඉල්ලා පිටව ගියා..
කීවාක් මෙන්ම ඊළඟ හෝරාවේදී අදාළ ආයතනයේ ලොරියක් පැමිණ වෙනත් අල්මාරියක් සංජුලාට භාර දුන්නා..
එහි නායක තරුණයා බඩු භාරගත් බවට ඔහුගේ කාර්යාලීය පොතක සංජුලාගෙන් අත්සනක්ද ලබා ගත්තා…
“අද උදේම ඔයාලගෙ වෙන ටීම් එකක් ඇවිත් වවුචර් පටලවාගෙන වෙන අල්මාරියක් බාලා ආයෙමත් අරං ගියා..මේකත් ආයෙම මාරු කරන එකක් නෑනේද?” කියා සංජුලා අත්සන් කරන ගමන් විහිළුවට මෙන් එම තරුණයාගෙන් විමසුවා..
එය ඇසූ තරුණයා පුදුමයට පත් වුනා.
“නෑ මිස්…අපේ එහෙම ටීම් එකක් නෑ..අපි තමයි මේ ඒරියා එකට ඩිලිවරි කරන එකම ටීම් එක”
“මොකක්? එහෙනම් කව්ද අර උදේ නමයට විතර ඔයාලගෙ ටී ෂර්ට් ඇදගෙන බට්ටා ලොරියක ආවෙ?”
” අපිට බට්ටා ලොරි නෑ මිස්..මේ වගේ ලොකු බ්රෑන්ඩ් කරපු ලොරි තියෙන්නෙ..පේනවනෙ ලොරි බඳේ අපේ කම්පනි එකේ නම බ්රෑන්ඩ් කරල තියෙනව..”
කම්පනයට පත් වූ සංජුලා වහාම ගෙට දුව ගොස් තම නිඳන කාමරයට වැදුනා..තම කන්නාඩි මේසයේ ලාච්චු ඇර බැලූ සංජුලාට හුස්ම ගැනීමත් අමතක වූවා..දෑවැද්දට ගෙනා සහ වරින් වර කෝසල විසින් ගෙනත් දුන් ලක්ෂ හතරක් පමණ වටිනා රත්තරන් බඩු සහ හදිසියකට ගැනීමට තබා තිබූ ලක්ෂයක පමණ මුදලක්ද තම පසුම්බියේ තිබූ ATM කාඩ් පතද නැතිවී තිබුණා..
එවිටම ඇයගේ දුරකතනයට එස් එම් එස් පණිවිඩ දෙකක් පැමිණියා..ATM කාඩ්පත අයත් බැංකුව මගින් පැමිණි එම පණිවිඩ වල සදහන්ව තිබුණේ ප්රදේශයේ වෙළෙඳ සැළකින් රුපියල් විසිදාහක සහ තිස්දාහක බඩු ගෙන ඇති බවයි..
පියවි සිහි එළඹවාගත් සංජුලා වහාම කෝසලට ඇමතුමක් ගත්තා…
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru