සමුගැනීම (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම අත්විඳපු අවසාන සමුගැනීම සිද්ධ වුණේ මීට අවුරුද්දකට කලින් අගෝස්තුවෙ මැදක. එදාත් පාර පුරාම රතු පාට කොළ වැටිලා තිබුණා. අපි දෙන්නම ජීවත් වුණ ගෙදර හිස් කරලා වෙන් වෙන මොහොත සමරන්න එයාට චිත්රයක් වගේ තිබුණ ඒ නිස්කලංක පාරටම එන්න ඕන වුණා. සමහරවිට එයාට ඕන වුණේ කලාත්මක සමුගැනීමක්ද.. එතකොට එයාට පුලුවන් ඒ වේදනවට පාට ගාලා කැන්වස් එකක අඳින්න.
ඒත් මට තිබුණා බෑ කියන්න. එහෙනම් මට අපි දෙන්නා හිටපු පාලු ගෙදර අතෑරලා යන්න තිබුණා. සමහරවිට මීට වඩා මිනිස්සුන්ට ලඟ ගෙදරකට. මේ ගෙදර තිබුණේ අපි දෙන්නගෙ ආදරණීය මතකයි මගේ කඳුලුයි විතරයි. මට මගේ තනිකමවත් තනි කරන්න මට නොහිතෙන තරම් මම ඒ මතක වල පැටලිලා. ඉතින් අපි හැමදේම අතෑරියත් මට මේ ගෙදර අතාරින්න බැරි වුණා. එයාත් අඬන්නැතිද… මම හිතන්නෙ නෑ. එයා පපුව ඇතුලෙන් රිදෙනකොට ඇස් වලට දැනෙන්න කලින් කැන්වස් එකට ගන්නැති. ඒ නිසා එයාගෙ ඇස් දුක අඳුරන්නැතුව ඇති.
ඉස්සර අපි වාඩි වෙලා මිනිහෙක්ගේ ගැඹුරුම හැඟීම් ගැන කතා කරපු බංකුවෙන් ඉඳගෙන මම බලාගෙන හිටිය ගෙදර දිහා.
මමත් අතාරින්න ඕනද..
මගේ කල්පනාව බිඳුනේ ෆෝන් එකේ සද්දෙට.
“බිනූ. මොකද කරන්නෙ”
ඒ මගේ යාලුවා.
“නිකම් ඉන්නෙ. පොඩ්ඩක් ඇවිද්දා”
“දැන් ඇති නේද. මට මේක මන්තරේ වගේ මතුරල ඇති වෙලා තියෙන්නෙ. ඔය මනුස්ස පුලුටක් නැති පාලු මගුල අතෑරල මෙන්න මෙහෙ එනවා. අර මිනිහා ගියා ගියාමයි ආවෙ නෑනෙ. තමුසෙ මුලු ලෝකෙම අතෑරලා ඔතනට වෙලා ඉන්නවා. අනික ඔච්චර මැරීගෙන ඉන්න ඕන නම් මොන මගුලටද වෙන් වුණේ”
“අපි වෙන් වුණේ ආදරේ නැති නිසා නෙමෙයි අමානි. ඒක ඔයා දන්නවනෙ. ඒත් මට දැන් එයාව ඕන නෑ. මට මෙතන නිදහස්. ඒකයි මම ඉන්නෙ”
අපි වෙන් වුණේ ආදරේ හිඳිලා ගිය නිසා නෙමෙයි. එයා මට රිද්දන්න අකමැති නිසා. මම එයාට රිද්දන්න අකමැති නිසා. ඉතින් ඒකත් ආදරයක් නෙමේද…
කලාකාරයො කැමති එයාලගෙ හැඟීම් වචන වලින් එලියට නොදා ඉන්න. ඒත් මට එයාගෙ පාට පාට පින්සල් පාරවල් තේරුණේ නෑ. මට ඕන වුනේ වචන. ඉතින් අල්ලගෙන ඉන්න දරපු මහා උත්සහයකට පස්සෙ අපි තීරණය කරා අතාරින්න.
“අනේ මට කාලය හරහා යන්න පුලුවන් නම් මම උඹට ඕකා දිහා බලන්නවත් දෙන්නෙ නෑ”
මම හයියෙන් හිනා වුණා. ඇත්තටම එහෙම පුලුවන් වුණා නම්… එහෙනම් මට මගේ හුස්ම මේ තරම් බරට නොදැනෙන්න තිබුණා.
“ඇත්තටම එහෙනම් ආපහු හැරෙනවද”
ඒ කටහඬ ආවෙ ෆෝන් එකෙන් නෙමෙයි. මගේ පිටිපස්සෙන්. එතන හිටියෙ මම කවදාවත් දැකලා නැති වයසක ගෑණු කෙනෙක්.
“ආ?”
“මම ඔයාට අවස්ථාවක් දෙන්නම් ආපහු හැරෙන්න”
මට හිතන්නත් වෙලාවක් නොදී එයා මගේ අතින් අල්ලගත්තා. මම ඇස් පියාගත්තා.
“බිනූ.. බිනූ.. කොයි ලෝකෙද ඉන්නෙ”
මම හිටියෙ මීට අවුරුදු දෙකකට කලින් ජනවාරියෙ දවසක හිටපු කැෆේ එකක. ඒ විදියටම. ඒ ඇඳුමෙන්ම. ඒ අපේ ඇස් හමුවුණ මුල්ම දවස.
“බිනූ.. අර කොල්ලා… ඔයා දිහා බලාගෙන ඉන්නෙ”
“ආ”
“මොන ලෝකෙද ඉන්නෙ.. බලනවකො හෙමීට”
මට නොබලා ඉන්න අවස්ථාවක් දීලා තියෙද්දි ඇයි මම බලන්නෙ. ඒත් මට එයාව දකින්න ඕන. අවුරුද්දකින් මම නොදැකපු ආදරණීය හිනාව… ඉතින් මම බැලුවා. එයා ඉස්සර තරම්ම ලස්සනට හිනා වුණා.
නෑ! මම මේක නවත්තන්න ඕන. මම බෑග් එක ගත්තෙ නැගිටලා යන්න හිතාගෙන.
“හායි. මම වාඩිවෙන්නද”
එයා හිටියෙ මගේ මූණ දිහාම බලාගෙන.
“ආ.. මම යන්න හැදුවෙ”
“සොරි. ආයිත් හම්බවෙමු එහෙනම්”
බලාපොරොත්තු කඩ වුණ හිනාවක් එක්ක එයා කිව්වා.
මම හිනාවුණා. අපි ආයිත් හම්බවෙන්නෙ නෑ අහස්. ඒක දුකක්. මම ආයිත් ඒ කැෆේ එකට ගියේ නෑ.
අවුරුදු දෙකකට කලින් මම කරපු දේවල් ඒ විදියටම කරන්න මට සිද්ධ වුණා. එදා කාර්යබහුල දවසක්.
“බිනුරි මිස්, කවුද ඇවිත් මිස්ව අහනවා. පහල රිසෙප්ශන් එකේ ඉන්නවා”
ආයතනයේ කෙනෙක් ගෙනාපු පණිවිඩයට මම පහලට බැස්සෙ කොහොමටවත් අහස්ව බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒත් එයා එක කාලෙක අපි නිසාම අහිමි වෙච්ච හිනාවෙන් මූණ පුරවගෙන මගේ දිහා බලාගෙන හිටියා.
“ඔයා”
“ම්ම්.. සොරි මෙහෙම ආවට. ඒත් මට හිතුණා එදා බැරි වුණ කොෆී එක බොන්න එනවද අහන්න”
ඒ ඇස් දිහා බලපු හැමපාරම මම පැරදුණා. අඩුම තරමෙ ‘අපි වෙන් වෙමු’ කියද්දිවත්.. එදත් බැරි වුණ ප්රතික්ෂේප කිරීම මම කොහොමද අද කරන්නෙ. ඒක නිදහසට කාරණාවක්. මට තිබුණා බෑ කියන්න. ඒත් මට බැරි වුණා.
ආපහු හැරෙන්න ආපු මම ආයෙමත් මුල ඉඳන් මගේ හදවතේ දොරවල් ඇරලා පරණ හුළඟටම ඇතුල් වෙන්න ඉඩ දුන්නා…
සමහරවිට මේ වතාවේ මගේ හදවත සීතලෙන් මිදිලා යාවි. මට හුස්ම ගන්න බැරි වේවි. ඒත් සිය දහස් වතාවක් ජීවිතේ මාව මෙතනට ගෙනත් දැම්මත්, එදාටත් මට ඒ ඇස් දිහා නොබලා ඉන්න බැරි වේවි. ඉතින් මම හැමදාමත් මේ දුකම තොරගනීවි. ඒක මහා මෝඩකමක් වුණත්. මම තීරණය කරා ආයෙමත් උත්සහා කරන්න. රිදෙන බව දැන දැනත් මට ඕන වුනා අපිට තව අවස්ථාවක් දෙන්න.
“බිනූ.. ඔයා නැතුව මට හුස්ම ගන්නවත් බැරිවේවි”
එයා කිව්වෙ අපි ඉස්සරහ වේගෙන් රැලි බිඳින මුහුද දිහා බලාගෙන.
“ඔයා හුස්ම ගනීවි අහස්”
“මම හිතන්නෙ නෑ මට ඔයා නැති වුණොත් කවදාවත් චිත්ර අඳින්න පුලුවන් වෙයි කියලා. ඇන්දත් ඒ චිත්ර වල කවදාවත් සතුටක් තියෙන එකක් නෑ”
ඔව්. ඇත්තටම ඒ චිත්ර වල තිබුණේ වේදනාව. මට සතුටු හිතුණා. මම ආදරේ කරන මිනිහා වේදනා විඳිනවට අකමැති නිසා යන්න දුන්නට ඇත්තටම මට ඕන වෙලා තිබුණේ එයාගෙ වේදනාව දකින්න. මම නිසා රිදෙන තරම අහන්න. පපුව ඇතුලට අත දාලා ඒ ගැහෙන හදවත ඇදලා එලියට ගන්න. මට හැමදාම ඕන වුණේ එයාගෙ හැඟීම් කැන්වස් එකෙන් එලියට අරගෙන ඇස් වලින් කියවන්න. කන් වලින් අහන්න.
“අපිට අපිව අතෑරුණත් මම ඔයාව හොයාගෙන එනවා. ලෝකෙ කෙළවරට හරි එනවා”
මම බලාගෙන හිටියේ හැඟීම් පිරිච්ච ඒ ඇස් දිහා.
“ඔයා ආවෙ නෑ අහස්. මම එතනම ඉඳලත් ඔයා අවෙ නෑ. සමහරවිට… ඔයාට කලින් මම ඔයාව හොයාගෙන එන්නැති”
“ආ?”
මම හිණාවුණා. වේගෙන් ඇවිත් වැළඳගන්න රල එකක් නෑර වෙරළ බිඳලා දැම්මත් තාමත් රැලි නගන මුහුදට. දරන්න බැරි රල වැදිලා කොයි තරම් රිදුණත් තාමත් දරාගෙන ඉන්න වෙරළට.
දිග සුසුමක් හෙළලා මම ඒ උණුහුම් ඇඟිලි අතරින් මගේ ඇඟිලි රිංගවාගත්තා. දැනටමත් මම ඉන්නෙ මුහුද මැද. සමහරවිට මම පීනගෙන යාවි. එහෙම නැත්තම් මම ගිලේවි.
මම තීරණයක් ගත්තා.
“මට කියල දෙන්න චිත්රයක් කියවන හැටි. එතකොට මට පුලුවන් ඔයාගෙ හදවත කියවන්න. එතකොට අපිට පුලුවන් වැඩිපුර තව දවසක් ආදරේ කරන්න, හුස්ම වැදෙන දුරක ඉඳන්. “
උපුටා ගැනීම: -තක්ෂිලා පැතුම්-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!