නුඹ හිනැහීම (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
.”එතකොට ඇත්තටම ඔයා බැඳලද ?”
අහන්නම දෙයක් නැති නිසා මං ආයේම ඇහුවේ ඒක හිත පිළිගන්නත් කැමැති උනේ නැති නිසයි.
ඔහු දිග ඇස් පුංචි කරලා මං දිහා බැලුවේ මං ඒක අහපු ස්වරය නිසා ද එහෙම නැත්නම් මෙච්චර දවසක් සර් කියපු එයාට ඔයා කියපු නිසා ද කියලා හරියටම මට තේරුමක් තිබ්බේ නෑ.
ඔයා කියන වචනේ හිතලා කිව්වේ නැති උනත් ඔහුගේ බැල්ම එක්ක මට දැනුනේ අපහසුතාවයක්.
”සචිත්යා ඇයි එහෙම අහන්නේ ?”
”නෑ මං හිතුවේ සර් බැඳලා නෑ කියලා….”
”ඇයි ඉතින් සචිත්යා එහෙම හිතුවේ ?”
ඔහුගේ බැල්ම තියුණුයි. පාසලේ උසස් පෙළ දෙවන වසරේ මැද ඔහුව දුටු දින පටන් ඔහු පස්සේ දුවපු මගේ ඇස් මේ තරම් තියුණු බැල්මක් ඔහුගෙන් දුටුවේ අදමයි.
”මං දන්නෑ! සර්ව දැක්කම මට එහෙම හිතුනා…”
”බැන්ඳා කියලා බෝඩ් ගහන් යන්න බෑ නේ දරුවෝ…”
”මුද්ද දාන්න පුළුවන් නේ සර්…”
මං එහෙම කිව්වේ නෝක්කාඩු ස්වරයකින්. ඇත්තටම මට තරහයි. ඒ තරහා මට මං ගැනම දැනුන අනුකම්පාවක එක්තරා ඵලයක් වෙන්න ඕනේ.
ඔහු මං දිහා බලලා හිනා උනේ පොඩි දරුවෙක් වැරැද්දක් කරාම නොතේරුම්කම කියලා හිතලා බලන විදිහට.
”කමක් නෑ සචිත්යා දැන් දන්නවනේ නේද ? මං බැඳලා කියලා. මං වෙන කෙනෙක්ට අයිතියි කියලා…”
අයිතිය කියන වචනේ ඔහු කිව්වේ බර කරලා. හරියට ඒ අයිතියේ පරිමාණය දක්වන්න වගෙයි.
”හ්ම් ඔව්…”
”එහෙනම් මං යන්නද සචිත්යා…?”
”හා සර්…”
”සචිත්යා ආයේ මේ පැත්තේ එවෙන එකක් නෑ නේද ?”
අධ්යාපන කටයුතු ඉවර කරලා අවුරුද්දකුත් ගත වෙලා තියෙද්දී අද ආවේත් ඔහුව දකින්න විතරක්ම නිසා ආයේ මොන හේතුවකට නම් එන්නද කියලා අහන්න හිතුනත් මගේ හිත තව පාරක් හිතුවේ දෙන්න තියෙන සංවරම උත්තරය මොකද්ද කියලා වෙන්න ඕනේ.
”එවෙන එකක් නෑ සර්…”
”හ්ම්ම් ඒක හොඳයි. දැන් ඉතින් මෙතැනින් එහාට සම්පූර්ණ ජීවිතේම අරන් යන්න කාලේ හරිනේ…”
”ඔව් සර්. ඒ නිසා ආයේ එන්නම වෙන එකක් නෑ සමහර විට…”
”ඉඳලා හිටලා හරි දකින සචිත්යාගේ හිනාව නැතුව මෙහේ පාලු වෙයි”
ඒ වචන ටිකට මං ගැස්සුනා.
”සමහර විට ඒ හිනාව ආයේ මූණට එන එකකුත් නෑ සර්…”
එහෙම කියද්දී සමහර විට මගේ ඇස් වලට කඳුලු පිරෙන්න ඇති. මට ඇස් හරි බරට දැනුනා.
”දරුවෝ…”
”ම්ම්ම් සර්…”
”ජීවිතේ සමහර කතා තියෙනවා ඒවා අසම්පූර්ණයි. සමහර වෙලාවට ඒවා සම්පූර්ණ කරන්න ඕනේ උනත් ලියන්න ඕනේ කරන දේවල් අපි ලඟ නෑ…”
”ම්ම්ම්…”
”මටත් සචිත්යාගේ ජීවිතේ කතාවක් ලියන්න තිබ්බා. හැබැයි එහෙම ලිව්වා නම් මට ඒක ලියන්න වෙන්නේ පැන්සලෙන්….”
කාලෙකට කලින් පාඩම පැහැදිලි කරන විදිහටම ඔහු පැහැදිලි කරද්දි මං පුරුදු සිසුවියම වෙලා අහන් හිටියා.
”මං පැන්සලෙන් ලියපු කතාව සචිත්යා මකන්න ගිහින් ඒ පිටුව ඉරාගත්තොත් කවදාවත්ම ඒ පිටුවේ පෑනෙන් ලියැවෙන්න ඕන කතාවට හරි වටිනාකමක් ලැබෙන එකක් නෑ….”
ඔහු ඇත්තටම හරි. ඒත් හිත මේ දැනුත් බොළඳ වෙන්නේ ඔහුගේ හිතේ තියෙන පැන්සලෙන් මගේ ජීවිතේ කියන පොතේ එක අකුරක් හරි ලියනවා නම් කියන හැඟීමෙන්.
”සචිත්යා දැන් යන්න. ඉක්මනට හිත හදාගෙන ලියන්න ඕනේ කතාව ලස්සනට ගලපලා ලියන්න…”
අන්තිම වචන වලට මගේ ඇස් තවත් බර උනා. ඒත් සමුදීම ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
”මං ගියාට පස්සේ සර්ට එක පාරක් හරි මාව මතක් වෙන එකක් නැද්ද ?”
මේ තරම් කිව්වට පස්සෙත් අහපු මෝඩ ප්රශ්නේ ගැන ඔහුට තරහත් යන්න ඇති. ඒත් මං එහෙම ඇහුවේ ඔහුට මං තව එකම කෙනෙක් ද යන ප්රශ්නෙට උත්තර හොයාගන්න විතරයි.
”මතක් වෙයි…”
මං ඔලුව උස්සලා ඔහු දිහා බැලුවා. මතක් වෙනවා නම් ඇයි මට යන්න දෙන්නේ වගේ හැඟීමක් හිතට දැනුනා ඒත් ඔහු අන්සතුයි කියලා ආයේම මතක් උනා.
”හැබැයි සචිත්යා, මට මතක් වෙන්නේ මේ මෙතන ඇස් වල කඳුලු පුරවගෙන ඉන්න සචිත්යාව නෙවෙයි…”
”එහෙනම් ?”
”අවුරුදු තුනකට කලින් දවසක අන්න අර කොරිඩෝවේ කෙලවරේදී දැකපු සචිත්යාවයි මට මතක් වෙන්නේ…”
මට දැනුනේ පුදුමයක්. ඒ මම ඔහුව මුලින්ම දැකපු මොහොත. මට වගේම ඔහුටත් ඒක මතකයේ තිබිලා.
”සචිත්යා කියන නම ඇහෙද්දී මට මතක් වෙන්නේ අන්න ඒ කෙල්ලව. තද නිල්පාට ගවුමක් ඇඳලා කොන්ඩේ උඩට කරලා ගැට ගහලා බෝලයක් වගේ පෙරලි පෙරලි ඇවිත් අමුතු හැඟීමක් මට ඉතුරු කරලා මාව පහු කරන් ගියපු සචිත්යා විතරයි මගේ මතකේ ඉන්නේ….”
දෙවියනේ මේ හැමදේම ඔහුගේ මතකයේ රැඳුන හැටි පුදුමයි. අපි දෙන්නම උගුරට හොරා බෙහෙත් බීලාද කියලා මට හිතුනා.
”දන්නවද සචිත්යා ඇයි මට ඒ සචිත්යාව මතක කියලා ?”
මං නෑ කියන්න ඔලුව වැනුවා.
”එදා වෙද්දී මගේ ජීවිතේ වෙන කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා මට ඒ මතකය මං ලඟ තියාගන්න අයිතියක් තියෙනවා. ඒත් දැන් එහෙම නෑ. ඒ නිසා මේ ඉන්න සචිත්යාව මට මතක තියාගන්න අයිතියක් නෑ…”
මගේ ඇස් වල බරවෙලා තිබ්බ කඳුලු බිමට වැටුනා.
”මං යන්නම් සර්. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න…”
එකවරම නැමිලා ඔහුගේ දෙපා අල්ලලා වැඳපු මම ආයේ ඒ දිහා නොබලම නික්මුණේ ‘තෙරුවන් සරණයි දරුවෝ…’ කියන වචන ටික යාන්තමට කනට ඇහෙන්න ඉඩ දීලායි.
වැටෙන කඳුලු එක්ක ඇස් වල බර එක්කම හිතේ බරත් හේදීලා යනවා මට දැනුනේ ඔහුගේ හිතේ ඔහුගේ අයිතිකාරී වෙනුවෙන් තිබුණ හැඟීම මට කියපු වචන ඇතුලේ තිබුණ නිසා වෙන්න ඇති.
-තාරා-
ප. ලි. – ඉතින් ආදරේ හිමිවීමට වඩා නුඹ හිනැහීම මට අගනේය…!
උපුටා ගැනීම:  තා රා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!