වැට සෑදීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි ඕස්ට්රේලියාවට සංක්රමනය කරලා අවුරුදු දෙකකට පස්සේ අපේම ගෙයක් හදා ගන්න ඕන කියලා හිතුනා. අපි ලංකාවෙන් එනකොට අරන් ආවේ අපේ සූට් කේස් විතරයි. අපේ දෙමව්පියන් ඇමතිලා නුවූ නිසා අර කලින් කතාවේ වගේ ඒ සූට් කේස් ඩොලර් සීයේ නෝට්ටුවලින් පිරිල තිබුනෙ නෑ. නිම්මිගේ තාත්තා සල්ලි ටිකක් දීලා තිබුනා, ඒකෙන් කාර් එකක්, ගෙදරට ඕන බඩු එහෙම අරගෙන තිබුනත් තව සල්ලි ඉතීරි වෙලා තිබුනා. ඒකත් සමග අපිත් කීය කීය හරි ඉතිරි කරගෙන ගෙදරට ඕන කරලු 20% ඩිපොසිට් එක හොයා ගත්තා.
එතකොට ඩැනීට වයස අවුරුදු දෙකයි. දඟම දඟ කාලේ. ‘ටෙරිබල් ටූ’ කාලේ, ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලන කොට මොකක් හරි කෙලියක් කරලා. එක පාරක් අයන් කරලා ඒක රස්නෙ නිසා කෙල්ල පුච්ච ගනීවි කියලා බයට බැල්කනි අයන් එක තියලා, ආයේ නිම්මි මොකක්ද එකක්ට බැල්කනියට යන්න දොර ඇරිය ටිකට අර අයන් එකට පයින් ගහලා කකුල පුච්ච ගත්තා.
කැන්බරාවල ගෙවල් ඉස්සරහ වැටවල් දාන්න බෑ. ඒ වුනාට පැත්තකින් වත්ත මැදින් ගේට්ටුවක් එක්ක වැටක් ගහමු, එතකොට සයිඩ් එකේ තල්ලු කරන දොර ඇරපු වෙලාවක කෙල්ල එලියට පැන ගත්තත් පාරට යන්න බැරි නිසා කියලා කතා කර ගත්තා. අපි අතේ තිබ්බ සල්ලි සේරම දාලා ගේ හැදුවත්, ඩැනීගේ ආරක්ෂාව සේරටම වැඩිය වැදගත්නේ කියලා, ඉතින් වැටවල් හදන අයගෙන් ඇස්තමේන්තු අරගෙන ලාබම එක්කෙනාට ඒක දෙන්න තීරණය කලා.
ඉතින් ඒ කාලේ හිටපු මගේ හොඳම යාලුව හිටියේ මෙල්බර්න් වල. උගේ නම ලලිත් කියමු. එදා රෑ ලලිත් කෝල් කරාම
‘මගේ චූටි කෙල්ල කොහොමද?’
කියලා මිනිහ ඇහුවා. ඌ කෙල්ලට හරිම ආදරෙයි. අපට වඩා කෙල්ල ගැන ආරක්ෂාව ගැන හිතන එක්කෙනෙක්.
‘කෙල්ල හොඳින් ඉන්නවා. අර මම කලින් උඹට කිව්වේ කෙල්ල පාරට දුවන එක නවත්තන්න වැටක් ගහන්න ඕන කියලා. අපි ඩොලර් 850 වැට ගහන එකෙක් හොයා ගත්තා’
‘ඩොලර් 850? පිස්සුද උඹට? මම ඇවිල්ලා ඕක කරල දෙන්නම් ඩොලර් දෙසීයකටත් අඩුවෙන්’
‘ෂුවර් ද?’
‘ඔව් යකෝ’
මිනිහා ආකිටෙක්ට් කෙනෙක්, ඒ දවස්වල ජොබ් එක නැතිවෙලා අලුත් එකක් හොය හොයා හිටියේ. ඒ හින්දා කැන්බරා ඇවිල්ලා කරල දෙන්නම් කිව්වට, ඒත් එයාගේ අතේ සල්ලි නැති නිසා මෙහේ එන්න ටිකට් එක මම අරන් දෙන්නම් කියලා මම කිව්වා එයා එපා කියද්දි. ප්ලේන් එකේ එන එක වියදම වැඩි නිසා, රෑ බස් එකේ ටිකට් එකක් අර ගෙන දුන්නා.
අඟහරුවාදා දවසක රෑ බස් එකේ නැගලා මිනිහ ආපු බස් එක කැන්බරා ආවේ උදේ අටට විතර. මූ එන නිසා මම එදා නිවාඩුවකුත් ගත්තා මිනිහ එක්ක වැට හදන්න. ඒ වෙනකොට සමර් එක නිසා අව්ව හොඳට. මම මිනිහව බස් ස්ටේසන් එකෙදී හමුවෙලා එකිනෙකා බදා ගෙන පිලි අරගෙන, එන ගමන් ලලිත් කියනවා
‘මචං, අද මාර රස්නේ දවසක් වගේ, වැඩ කරන ගමන් බොන්න ගමු බියර් කේස් එකක්’
‘හරි ගමු’
වැටට ඕන කරන දේවල් වලට කලින් ඌට මතක් වුනේ බියර්. ඉතින් බියර් ගත්තට පස්සේ හාඩ්වෙයාර් කඩේකට ගිහිල්ලා වැටට අවශ්ය දේවල් අරගමු කිව්වම,
‘නෑ බං, ඉස්සෙල්ලා ගිහිල්ලා මට බලන්න ඕන එතන. මම ඉතින් ආකියෙක්නේ, ඊට පස්සේ ඒක ඩිසයින් කරලා, මැනලා ඕන බඩු ගමු. බඩු ගන්න කලින් මම කනු ඉන්දන වලවල් එහෙම හාරන්නම්’
කියලා කිව්වා. එයානේ ඩිසයින් කරන්නෙත් හදන්නෙත්, මම ඉතින් අත් උදව් කාරයා නිසා කරබාගත්තා.
ගෙදර ආපු ගමන්,
‘නිම්මි, කමුද කිරිබත් පාරක්?’
කියල කිව්වම, ඔන්න නිම්මි කිරිබතුයි සැමන් කරියකුත් හදන්න ගත්තා. ඒ අතර ලලිතයා බියර් එකක් කඩාගෙන බොන්න ගත්තා උදේ පාන්දරම. කොහොම හරි කිරිබත ලෑස්ති වෙනකොට, බියර් තුනක් විතර බීලා. ඊට පස්සේ කිරිබත ගහලා ගොරව ගොරව නිදා ගන්න පටන් ගත්තා සෝපාවෙම.
‘පවු අනේ එයාට. බස් එකේ නින්ද යන්නෙ නැතුව ඇති’
කියල නිම්මි කිව්වා.
පැයක් විතර නිදාගෙන, ගිහිල්ලා මූන කට හෝදගෙන ඇඳුම් මාරු කර ගෙන ඇවිල්ලා,
‘මචං, අද ශ්රී ලංකා ඕස්ට්රේලියා මැච් එක. පොඩ්ඩක් ඒක බලලා වැඩේ පටන් ගමු’ කියල කියාපි.
ඒ පාර, ඉතින් ටීවි එක දාලා මැච් එක බලන්න ගත්තා. මාත් ක්රිකට් පිස්සා නිසා මාත් ආසාවෙන් බලන්න ගත්තා. කරුමෙට ලංකාව බැටිං.
‘අඩෝ කොහොමද අරවින්දගේ කවර් ඩ්රයිව් එක? හියුස් බවුන්සර් දාන්න ගිහිල්ලා කෙලව ගත්තා නේ අරවින්දගෙන්. ඌට කොහේද බං බවුන්සර් දාන්නේ. ලෝකේ ඉන්න හොඳම හුකර් කෙනෙක් ඌ’
කියන ගමන්, අරවින්දගේ ෂොට්ස් ගහල පෙන්නනවා මට.
‘ලලියා, අඩෝ අපේ වැඩේ පටන් ගන්නෙ නැද්ද?’
‘හිටපං බං, මම ඒක කරල දෙන්නම්’
කියනව මිසක් වැඩ පටන් ගන්න පාටක් නෑ. ඒ අතර සැරින් සැරේට ගිහිල්ලා ෆ්රිජ් එක ඇරලා බියර් ගන්නවා. ඔහොම ගිහිල්ලා මැච් එකේ දවල් කෑම වෙලාව ආවා.
‘අපිත් එහෙනම් දවල්ට කමු’
කියලා මූ දැන් දවල් කෑම කන්න රෙඩි වෙලා. මූට දෙකක් කියන්න හිතුනත්, පව් නේ දුර ඉඳලා ආපු එකා, අනික හදිස්සියකුත් නැහැනේ කියල නිකම් හිටියා. අර බියර් ගහලා කාපු නිසා මැච් එක බලන ගමන් ලලිත්ට ආයෙත් නින්ද ගියා.
තුනට විතර ඇහැරිලා
‘කෝපි එකක් ගහලා වැඩේට බහිමු’
කිව්වම ඉතින් දඩබඩ ගාලා කෝපි එක හදලා දුන්නා. ඒ පාර නම් කෝපි එක බීලා,
‘ගනිං ටේප් එක’
කියලා, මම දීපු ටේප් එකත් අරගෙන ගිහිල්ලා, මැනලා ඇතුලට ඇවිල්ලා ඉතින් ඩ්රෝවිංස් දෙකක් කරලා,
‘උඹ කැමති මොන ඩිසයින් එක ද?’ කියලා මගෙ ඇහුවා.
‘ඕන එකක් බං, කෙල්ලට එලියට යන්න නොදෙන්න වැටක් මට ඕන’
‘ඕක නේ කියන්නේ, උඹට දෙයක් හොඳට කරල දෙන්න හැදුවම පන්ඩිත කතා කියනව නේ’
‘හරි ඔය දෙවෙනි ඩිසයින් එක හොඳයි’
‘නෑ බං, පලවෙනි එක තමයි වඩා හොඳ’
‘මොන @$$%කටද මගෙන් එහෙනම් ඇහුවේ’
කියල මට කියවුනාම ඔන්න ඌට තේරුනා දැන් ටික ටික මට මල පැනගෙන එන බව.
‘හරි හරි බං, උඹලට හොස්ස ලඟින් මැස්ස යන්න බෑ නේ. අරං වරෙං අලවංගුව’
කියලා ආයෙත් ඌ එලියට ගිහිල්ලා, වලවල් හාරන තැන් මාක් කරා. මම අලවංගුව අරන් ගිහිල්ලා ලලියට දුන්නම, ඌ ඒක උස්සලා දෙපාරයි ගැහුවේ,
‘අම්මෝ, මගේ අතට මොකක්ද උනා’
කියලා දකුනු උරහිස අල්ල ගෙන ගේ ඇතුලට ගිහිල්ලා
‘නිම්මි, මගේ උරහිසට මොකක්ද උනා. ප්ලීස් බලන්නකෝ’
කියල අඬනවා.
නිම්මිත් සිරා පිට උගේ උරහිස චෙක් කරනවා. උරහිස උස්සන්න පහත් කරන්න, කරකවන්න ආදිය කියලා.
‘අපි දැනට අයිස් තියමු’
කියලා අයිස් පැක් එකක් තිබ්බා උගේ උරහිසේ. ඌ එක අතකින් අයිස් පැක් එක තියාගෙන,
‘මචෝ හොඳ එකා වගේ මැච් එක ඔන් කරලා, ෆ්රිජ් එකෙන් බියර් එකක් අරං වරෙංකෝ’
මම මොනව කරන්නද ඉතින්, ඌ ඉල්ලපු දේ කරා. එදා රෑ උරහිසේ අමාරුව යන්න කියලා විස්කි පාරකුත් ගහලා, ඊට පස්සෙ රෑට හොඳට කාලා නිදා ගන්න ගියේ,
‘හෙට උදේ වෙනකොට උරහිස හොඳ වෙලා තියේවි. මම හෙට වලවල් ටික හාරලා, ඕන කරන බඩු ටික ගිහිල්ලා ඕඩර් කරන්නම්. වීක්එන්ඩ් එකේ ඉවරයක් කරලා දාන පුලුවන්. බයවෙන්න එපා බං, මම කිව්වොත් කරන බුවෙක් නේ. ගුඩ් නයිට්’
කියලා.
මම බ්රහස්පතින්දා වැඩට ගිහිල්ලා එනකොටත් අර ඇලවංගුව ඊට කලින්දා උගේ උරහිසට මොකක්ද උනා කියලා ගහපු තැනමයි. මම ඌට මොනව හරි කියන්න ලෑස්ති වෙනකොටම,
‘තවම ෂෝල්ඩර් එක හරි නෑ බං. ඒක නෙවෙයි සීන් එක. මට අමතක වුනා ඩී.එච්.එස් එකට මගේ ෆෝම් එක බාර දෙන්න. සිකුරාදා හවසට කලින් නුදුන්නොත් මගේ පේමන්ට් එක ලැබෙන්නේ නෑ. ඒක හින්දා අද රෑ බස් එකේ ආපහු මෙල්බර්න් යන්නම ඕන. මම මෙල්බර්න් ජොබ් හොයන බව පෙන්නන්න ඕන නිසා මම ෆිසිකලිම එතනට යන්න ඕන. මම ඒක දීලා අනික් පැත්තට එන්නම්’
කියලා කූල් එකේ මූ කියනවා.
‘නෑ නෑ හදිස්සියක් නෑ. උඹ පුලුවන් වෙලාවක වරෙං’
‘ඒයි යකෝ, උඹ අප්සෙට් ද?’
‘නෑ බං මොන අප්සෙට් ද? උඹ ආවේ උදව්වකට නේ’
‘ඒකනේ. එහෙනම් හොඳ එකා වගේ මගේ රිටන් ටිකට් එකත් අරං දීපං. එතේ තියෙන්නේ ඩොලර් විස්සයි බං ඊලඟ ඩෝල් පේමන්ට් එක එනකම්’
කියලා කිව්වම ඉතින් අරං නොදී ඉන්නෙයි.
ලලියත් දාගෙන කැන්බරා මේන බස් ස්ටේසමට ගිහිල්ලා, ඌට ටිකට් එකත් අරන් දීලා ආපහු මිනිහව මෙල්බර්න් ඇරියා. අර ඇලවංගුවේ මුල් ඇදිලා තිබුනා ඌ ඊලඟ පාර එනකොට, ඒ වෙනකොට ඌට ජොබ් එකක් ලැබිලා අලුත් කාර් එකක ආවේ, ඒ හින්දා ටිකට් එක අරන් දෙන්න ඕන වුනේ නෑ.
පසුව මම අර වැට හදන මිනිහට ඩොලර් 850 දීලා වැට ගස්සවා ගත්තා. ඉතින් ඩොලර් 850 වැඩේට මට ගියා ඩොලර් 1200 විතර.
ඌට ලැජ්ජා නෑ කියන්නේ, ඊට කාලෙකට පස්සෙ අපේ ගෙදර පේන්ට් කරන්න කොන්ත්රාත්කාරයෙකුට දෙන්න හදන කොට
‘අඩෝ මම ඇවිල්ල පේන්ට කරන්නම්’
කිව්වනේ. මම සාමාන්යයෙන් පාඩම් ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි, ඒත් ඒ පාඩම නම් ඉගෙන ගෙන තිබුනු නිසා,
‘තෑන්ක්ස් මචෝ. උඹ ඇවිල්ලා එක බිත්තියක පාට ගාලා, ඒ පේන්ට් බිම ඉහිරවලා, ඊට පස්සෙ කොන්ත්රාත්කාරයාට අර ගෙවන්න තියෙන ගානට අමතරව උඹ කක්කා ගාපු වගේ බිත්තිය කලර් වොෂ් කරන්නයි, ඊට පස්සේ පේන්ට් ඉහිරුනු කාපට් එක ගලවලා අලුතෙන් දාන්නයි තව ඩොලර් පන් හයදාහක් යාවි. ප්ලීස්, උඹ එන්න එපා’
කිව්වම ඌටත් හිනා. ඒත් ඉතින් යාලු කම නැතිවුනේ නම් නැහැ.
උපුටා ගැනීම:  Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!