(කාලෙකට කලින් ලියපු පුංචිම පුංචි කතාවක්…)
කතාවේ අන්තිම හරියේදි පුරැදු විදිහටම ‘‘එතකොට අසොල් ගේ හීනේ හැබෑ වුණාද? රතු රුවල් තියෙන නැවකින් ආපු කුමාරයෙක් එයාව එක්කරගෙන ගියාද?’’ කියලා ඔයා ඇහුවා.
මේ කතාවම මම කී සැරයක් ඔයාට කිව්වද කියලා මට මතක නැහැ. ඒත් ඇලෙක්සැන්ඩර් ග්රීන් ලියපු ‘‘රතු රුවල් නැව’’ කතාව කියපු හැම වෙලාවෙදිම ඔයා ඔය ප්රශ්නයම මගෙන් ඇහුවා.
‘‘ඉතිං ඔයත් කැමැති රතු රුවල් නැවක් තියෙන ආතර් වගේ කුමාරයෙක් එක්ක යන්නද?’’ මම ඔයාගෙන් ඇහුවේ විහිළුවට වගේ.
‘‘මට ආතර් වගේ සල්ලි තියෙන කුමාරයෙක් මොකටද? ඔයා ඉන්නේ. ඒ හොඳටම ඇති’’ ඔයා කිව්වා.
ඇත්තටම මමත් හිතුවේ ඔයා සල්ලිකාර ආතර් කෙනෙක්ට වඩා ඔයාට ගොඩාක් අදරය කරපු මට ආදරය කරනවා ඇති කියලා.
ආතර් වගේ කුමාරයෙක් රතු රැවල් දාපු නැවකින් ඇවිත් ඔයාව එක්ක යයි කියලා ඔයා බලාගෙන ඉන්නවා කියලා මම එදා නිකමටවත් හිතුවේ නැහැ.
ඒත් අන්තිමේදී ආතර් ඔයාව හොයාගෙන ආවා… රතු රුවල් නැවක් නම් තිබ්බේ නැහැ. ගොඩාක් වටින කාර් එකකින් ආපු එයා, ආතර් එදා දුප්පත් අසොල්ව අරගෙන ගියා වගේම ගොඩාක් දුර තිබ්බ එයාගේ තට්ටු දෙකේ ගෙදරට අරගෙන ගියා.
ඒ යන දවසේ ඔයාගේ මූණේ තිබ්බ සතුට, එදා ආතර් එක්ක රතු රුවල් නැවේ නැගලා ගිය අසොල් ගේ මූණෙත් තියෙන්න ඇති කියලා මට හිතුණා.
ගොඩාක් පුංචි කාලේ උපන් දින තෑග්ගක් විදිහට ආච්චි අරගෙන දීපු ‘‘රතු රුවල් නැව’’ කතාව තාමත් මට හොඳින් මතක තියෙනවා.
ඒත් අසොල් ව මතක් වෙන හැම වෙලාවෙම මොකක් හරි හේතුවක් නිසා මට අදත් මතක් වෙන්නේ ඔයාව…. අපරාදේ මටත් ආතර්ට වගේ සල්ලි තිබ්බා නම්, මටත් තිබ්බා අසොල් ව වගේ ඔයාව මගේ ගෙදර එක්ක යන්න….
– අනිල් –