පරිප්පුව විවිදාකාරය.ඒවා නම්,
ඇට ලොකු පරිප්පු හෙවත් වටානා පරිප්පු,
පොඩි පරිප්පු හෙවත් මයිසූර් පරිප්පු,
රතු පරිප්පු,
කහ පරිප්පු,
ඉල්ලාගෙන කන පරිප්පු,
බලෙන් කන පරිප්පු,
උයාගෙන කන පරිප්පු ලෙස වේ.
අද මා කියන්නේ උයාගෙන කන පරිප්පු ගැන පමණි.
අපේ නිවසේ ප්‍රධාන ආහාරය බත් නොව පරිප්පුය.
ගෙදර පරිප්පු නැති වේලාවක් නැත.
තෙලට,කිරට,මිරිසට , උඩ දමා, බිම දමා, කර කර, පුච්චා, කරවූ පසු උඩ ටික ගෙන කිරි දමා ආදී ඕනෑම විදියකට පරිප්පු ඔවුනට දිව්‍ය භොජුනකි.
උදේට පරිප්පුයි බතුයි උයන මා දවල්ට
බතුයි පරිප්පුයි ඉවිය යුතුය.
රෑට නැවතත් පරිප්පුයි බතුයි ඉවිය යුතුය.
තවද මාගෙ ස්වාමියා කෑමට ගන්නා එකම ඇට වර්ගය පරිප්පු වේ.
මුංඇට,කව්පි හෝ වෙන ඕනෑම ඇට වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඔහුට,
ඔක්කාරය ඇතිවේ.
දිරවීමේ ශක්තිය හීන වේ.
ආමාශයේ හර්තාල් ඇතිවේ.
අග්න්‍යාශයේ පළු මතුවේ.
පිත්තාශයේ දද මතුවේ.
වකුගඩුවේ සමනල ගැට වැටේ.
නමුත් පරිප්පු යැයි රවටා ජාපාල ඇට හෝ නියගලා අල දුන්නද දෙවි පිහිටෙන් ඔහුට කිසි හෙනයක් නැත.
පරිප්පුව නම් එලොව වැඩ වාසය කරන දේවෝත්තමයාණන් විසින්,ඔවුන්ට මෙලොවට සෑම විටම වැඩිය නොහැකි නිසා උන්වහන්සේලා වෙනුවට මෙලොවට එවන ලද දෙවියන් යැයි මාගෙ ස්වාමියා අදහයි…!
ඊයේ වන තෙක් අපේ ගෙදර පරිප්පුවෝ තිදෙනෙක් සිට ඇත.
නවතම සොයා ගැනීම් අනුව පොඩි එකාද පරිප්පුවෙකි.
හා හා පුරා කියා ඌද තම පියා කැවූ පරිප්පු කා ඇත.
බොහොත් සන්තෝස් හේ…දැන් පරිප්පුවෝ හතර දෙනෙකි.දැන් ඌටද පාප්පු නැතිව බැරිය.
මාගේ ගණනය කිරීම් අනුව කොවිඩ් වසංගත කාලයේ උවද රජය ඉදිරියට යන්නේ අප පරිප්පු සඳහා වැය කරන මුදල් නිසාය.නිවසේ ආදායමෙන් තුනෙන් දෙකක් පරිප්පු සඳහාය.
කසාද බැන්ද දිනයේ සිට අද දක්වා මාගේ යෞවන කාලයෙන් තුන් කාලකට අධික කාලයක් ගෙවී ඇත්තේ පරිප්පු ඉවීම සඳහාය.
ඉතිරි කාලය ඉවිමේදී කරවූ පරිප්පු භාජන සේදීම සඳහා ගෙවී ඇත.
එසේ පරිප්පු කර වූ පසු දෙවන වතාවට පරිප්පු ඉවූ වාර ගණන මාගේ හිසේ කෙස් ප්‍රමාණය මෙන් තිස් ගුණයකි.
මා නිසා පරිප්පු උපන්නාද,පරිප්පු නිසා මා උපන්නාද යන්න සිරස ලක්ශපතියේ චන්දන සූරියබණ්ඩාර මාමාට පවා පිළිතුරු සෙවිය නොහැකි පස්නයකි..
සරලයි සුකුමයි කියා මා එක් දෙයක් සක්සුදක් සේ දනිමි!
මා මියයන විටද මා අතේ පරිප්පු හැන්දක් තිබෙනු නොඅනුමානය !!
(පළමු රූපයේ දැක්වෙන්නේ මා විසින් අවසාන වතාවට පෙර කරකර ගත් පරිපුවේ සමීප දසුනකි..එය නන්ස්ටික් භාජනයකි.දැන් එහි ‘නන්’ කොටස ඉවත්ව ඇත.
දෙවන රෑපයේ ඇත්තේ මා උයනා පරිප්පුවේ ලකය)
ස්තූති!
පස්න තියනවද,පස්න ??


උපුටා ගැනීම: Achini Lakmini Ekanayake