ගගන යාත්‍රා..
1930 දශකයේදී ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්රජන් වායුව පිරවූ විශාල බැලුන් සහිත ගගන යාත්‍රා භාවිතයට පැමිණියේ, එතෙක් සමුදුර හරහා සිදුකළ ගමන්වලට වඩා කාර්යක්ෂම සහ සුවපහසු ගමන්ක්රමයක අවශ්‍යතාවයට විසඳුම් ලබා දෙමිනුයි . මේ වෙනුවෙන් ජර්මනිය මූලික වී සිටි අතර, ඒවා අත්ලාන්තික් සයුර හරහා මගී ප්‍රවාහනයට යොදා ගැනෙමින් තිබුණා. එහෙත් මෙම ගගන යාත්‍රා, ඉතා කුඩා ලුහුඬුවකින්, විනාශ වී යාහැකි අවදානමක් දැරූ බවටත් මතයක් පැවතුණා.
අපේ කතාවේ ප්‍රධාන චරිතය, එනම් හින්ඩන්බර්ග් යානය කරළියට එන්නේ 1936 වසරේ මාර්තු මාසයේදී. එය ඉතා ඉක්මනින්ම පෙර කී හයිඩ්රජන් වායුව පිරවූ විශාල බැලුන් සහිත ගගන යාත්‍රා කුලකයේ විශාලතම මෙන්ම ජනප්‍රියතම සාමාජිකයෙක් බවට පත් වුණා.
මෙය හින්ඩන්බර්ග් ලෙසට නම් කර තිබුණේ කෘතහස්ථ ජර්මානු ජනපති වරයෙකු වූ පෝල් වොන් හින්ඩන්බර්ග් හට උපහාර පිණිසයි.
හින්ඩන්බර්ග් සැලකෙන්නේ ලොව එදා මෙදා තුරා නිපදවන ලද විශාලතම ගගන නැව ලෙස යි. ටෝපිඩෝවක හැඩයෙන් යුතු මෙය දිග අඩි 804ක් හෙවත් මීටර 245ක් සහ විෂ්කම්හය මීටර 41.2ක් හෙවත්, අඩි 135 කින් සමන්විත වුණා. ඒ කියන්නේ මේ ලිපිය ලියන මොහොත දක්වාම එය වර්තමාන බෝයිං 747 ගුවන් යානයකට වඩා තුන් ගුණයකින් පමණ විශාලයි.
මෙම යානයේ ඇති බැලූනයේ ඝන අඩි මිලියන හතක හයිඩ්රජන් අන්තර්ගත වුණා. හැසිරවීම තරමක් අපහසු වුණත් අත්හදා බැලීම් හා මූලික ගුවන් සවාරි කරදරයකින් තොරව සාර්ථකව සිදුකිරීමට එය සමත් වූ නිසා මෙයට බොහෝ ප්‍රසාදය හිමිව තිබුණා. වේගයෙන් ගමන් කළ හැකි මෙහි උපරිම වේගය දැක්වුණේ පැයට සතපුම් 153ක් ලෙස යි.
මෙහි වායු සමීකරණය කරන ලද කුටි රාශියක් තිබූ අතර, එහි ඇඳන් 72ක් තිබුණා. සුඛෝපභෝගී කෑම කාමරයක්, විසිත්ත කාමර, බීමහල්, දුම්පානය කිරීමේ කුටිද එයට ඇතුළත්. එමෙන්ම මෙහි සිට අවට සිරිය නැරඹිය හැකි අන්දමින් ආසන නිමවා තිබුණා.
මෙහි ඇඳන්, පුටු වැනි දේ බරින් අඩු ඇලුමිනියම්වලින් නිපදවා තිබූ අතර, දුම්පානය කරන කාමරය ඉතාමත් ආරක්ෂිත ලෙස නිපදවා තිබුණා.
1936 වසරේ මාර්තු මස සිය ප්‍රථම චාරිකාව ගිය හින්ඩන්බර්ග් යානය, ඉන් අනතුරුව දීර්ඝ චාරිකා 60කට වඩා නිරුපද්‍රිතව සිදුකළා.
අවසන් ගමන…
හින්ඩන්බර්ග් LZ 129 ගගන යාත්‍රාව, 1937 මැයි 6 වනදා, පුද්ගලයන් අනූ හත්දෙනෙකු රැගෙන, ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් සිට අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ මැන්චෙස්ටර් බලා ගමන් ඇරඹුවා.
මගීන් 36 ක් සහ කාර්යමණ්ඩලයේ 61 ක් මෙම පිරිසට ඇතුළත් වුණා.
අපේක්ෂිත අන්දමින් සුළඟ නොහැමීම නිසා පැය 12 ක පමණ ප්‍රමාදයක් සිදුවීම හැරෙන්නට, වෙනත් කිසිදු විශේෂිත සිදුවීමකින් තොරව ගමන සිදුවූ අතර, එය පස්වරු 4.00 පමණ වනවිට මැන්චෙස්ටර් හි “ලේක් හර්ස්ට්” නාවික ගුවන් යානා පර්යන්තයට ළඟා වුණා. ඒ අවස්ථාවේ තරමක කුණාටු කාලගුණයක් පැවති නිසා, ගගන යාත්‍රාව ගොඩබෑම තවදුරටත් පමා වුණා. තත්ත්වය යහපත් වන තුරු යානය ඔබමොබ ගමන් කරවමින් තැබීමට එහි කාර්යමණ්ඩලයට සිදුවුණා.
ගගන යාත්‍රා එතරම් සුලබ නොවූ ඒ කාලයේ, මේ ජනප්‍රිය ගගන නැව ගොඩබානු බැලීමට විශාල පිරිසක් ඒ වනවිට රැස්ව සිටියා. මෙවන් අවස්ථා ඒ කාලයේ කෙතරම් සුවිශේෂී සහ දුර්ලභ වූවාද යත්, මෙම ගගන යාත්‍රාවේ ගමන පිළිබඳව වාර්තා කිරීමට පැමිණි නිව්ස් රීල් ආයතනයේ වාර්තාකරුවන් පිරිසක්ද ඒ අතරේ සිටියා.
නිව්ස් රීල් යනු 1910 සිට 1960 දශකයේ අගභාගය තෙක් පැවති කෙටි වාර්තා චිත්‍රපට සහ ප්රවෘත්ති වාර්තා පටිගත කල ආයතනයකි .
විනාශය පැමිණෙයි…
රාත්‍රී 7 වන විටත් කාලගුණ තත්ත්වය යහපත් නොවූයෙන්, යානය ගොඩබස්වන්නට තීරණය කෙරුණා. මේ වනවිට එහි මගීන් තරමක් නොසන්සුන් ව සිටියා. කාලගුණය තවත් අයහපත් වුවහොත් ගුවනේ රැඳී සිටීම, ගොඩ බෑමට උත්සහ කිරීමටත් වඩා අවදානම් වූ නිසා ගගන නැව ගුවනේ සිට අඩි 180ක් දක්වා පහත් කරනු ලැබුවා.
යානය පහත් කරනවිට එහි යම් ගැස්මක් ඇති වන අතර, කෙටි වේලාවකින් එහි හයිඩ්රජන් බැලුනයෙන් ගිනිදැල් මතුවන්නට පටන්ගන්නවා. ක්ෂණයකින් ගිණි ජාලාවක් පැන නගින, ගගන නැව නාසය උඩට සිටින පරිදි බිමට කඩා වටෙන්නේ ගිනිදැල්වලින් සම්පූර්ණයෙන් වෙළෙමින් තිබියදීයි.
තත්පර 34ක කාලයක් තුළ දී යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වනවා.
බේරාගැනීමේ මෙහෙයුමක්…
ගිනි නිවීමේ අංශ හැකි ඉක්මණින් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ක්‍රියාත්මක වනවා. එහෙත් අනතුරේ ක්ෂණික ස්වභාවය නිසා දිවි බේරාගැනීමට සමත්වන්නේ තිබුණේ 62ක් පමණයි. ඒ අතරින් කිහිපදෙනෙකුත් බරපතල ලෙස තුවාල ලබනවා.
ඇසින් දුටු සාක්ෂි…
ඇසින් දුටුවන්ගේ සාක්ෂි විමසීමේදී ඔවුන් ලබාදී තිබුණේ පරස්පර විරෝධී අදහස්. වරාය ආසන්නයේ සිටි දෙදෙනකු දැක තිබුණේ කහ-රතු පැහැති ගිනිදළු, අංක 4 සහ 5 කුටීරවලින් ආරම්භ වී එහි පතුල හරහා පටුපසට පැතිරී ගිය බවයි. එම පෙදෙසේම සිටි අනෙකුත් සාක්ෂිකරුවන් පවසා සිටියේ ගින්න තිරස් වරලට මදක් ඉදිරියෙන් ආරම්භ වී වරල් දෙසට පැතිරී ගිය බවයි. එක්වරම හතරවන කුටීරය තුලින් පිපිරීම් හඩක් ඇසී, එකෙනෙහිම ගින්නක් හටගත් බව යානයේ පළමු කුටීරයේ සිට දිවි ගලවාගත් අයෙකු පැවසුවා.
නිවුස් රීල් කැමරාකරුවන් පහළ සිටියත් ගින්න ආරම්භ වීම පටිගත කිරීමට හෝ ජායාරූප ගතකිරීමට ඔවුන් අසමත් වුණා. කෙසේ වෙතත් ගිනිගෙන දැවෙන යානයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප රැසක් ඔවුන් ලබාගත්තා.
අහේතුවට හේතුව…
අනතුරත් සමඟ විවිධ මතවාද කරළියට ආවා. රසායන හා භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥයන් පැවසුවේ මේ අනතුරට හේතුව යානයේ හයිඩ්රජන් ටැංකියේ කාන්දු වීමක් බවයි. හයිඩ්රජන් ඉවතට පැමිණ වාතයේ ඔක්සිජන් හා මිශ්‍ර වීමෙන් විශාල පිපුරුමක් සිදු වී මේ ගින්න හටගත් බව ඔවුන් ප්‍රකාශ කළා. මේ එක් මතයක් පමණයි.
ඉතාමත් ගිනිගන්නා සුළු රෙදිවලින් ආවරණය කළ හයිඩ්රජන් බැලුනයට අකුණක් වැදුණු බැවත්, වර්ෂාව මධ්‍යයේ එය ගොඩබැස්වීමට වේගයෙන් යානය එහෙ මෙහෙ හැරවූ නිසා, බැලූනයේ ඉරීමක් සිදු වූ බවත්, තවත් මත දෙකක්.
සමහරුන් පැවසූයේ මෙය එවකට ජර්මනිය පාලනය කළ හිට්ලර්ට විරුද්ධව ඔහුගේ සතුරෙකු කළ විනාශකාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවයි. මගියෙකුගේ අත්වැරැදීමකින් පිස්තෝලයකින් පිටවූ උණ්ඩයක් නිසා ගිනි ගැනීම ආරම්භ වූ බවත් ජනප්‍රිය මතයක්.
එහෙත් මේ කිසිවක් අදටත් ඔප්පු වී නැහැ.
ගගන නැව් කටුගෙයි නවතී….
හින්ඩන්බර්ග් අනතුරෙන් පසු හයිඩ්රජන් පිරවූ බැලූන යොදාගෙන ගුවන් ගමන් කිරීමේ අවදානම අවධාරණය වුණා.
මෙම අවදානමට අමතරව හිට්ලර් කෙරෙහි තිබූ ලෝක අප්රසාදයත්, 1940න් පසු ගුවන්යානා තාක්ෂණය වැඩි දියුණු වීමත් නිසා වායු බැලූන යොදාගෙන පියෑඹූ ‘ගගන යාත්‍රා’ අහසින් බැස කටුගෙවල්වල ගිමන්හරින්න වුණා…
……………අන්තර්ජාලය ඇසුරෙනි…………..
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න