මගෙ ගම කොරතොට තියෙන්නේ හරියටම කඩුවෙල සහ අතුරුගිරිය අතර ඉතින් අනූගනන් වල(අපේ ලමා කාලෙ) බොහොම පහසුකම් අඩුයි. කොළඹ දිස්ත්රික්කයේ කෙලවර උනාට ගැමි පරිසරයක් තිබ්බෙ දැන්නම් තත්වේ වෙනස් දැං පිටින් ආපු පිරිස වැඩි ගමේ අයට වඩා. අපේ ළමා කාලය බොහොම සුන්දයි. මම එක වසරේ ඉදල පහ වසර දක්වා ගියේ ගමේ ඉස්කොලෙට. ඒ දවස්වල කිලෝමීටර් දෙකක් විතර පයින්ම තමයි ගියෙ. උදේ පාර දිගේ ගියත් ගෙදර එන්නෙ වෙනම පාරකින්.ඉස්කොලේ ඇරිල සපත්තු දෙක අතේ අරගෙන යාලුවොත් එක්ක වෙලේ නියරට ගොඩවෙනවා. ඊට පස්සෙ ඉතින් වටේ පිටේ තියන ගඩා ගෙඩිත් (වෙරලු, අඹ..) එකතු කරගෙන නියර දිගේම එනව ඇල පාර ලගට එනකන්. මුලින්ම බෑග් එක ප්රවේශමෙන් ඇලෙන් එහා පැත්තට විසි කරනවා ඊලගට සපත්තු දෙක ඊට පස්සෙ අපි ඇලෙන් ගොඩ වෙනවා. ඊට පස්සෙ තියනවා ලොකු ගල් තලාවක් ඒකෙ ඉදගෙන ගඩාගෙඩි කමින් ගිමන් හැරල ආපහු සපත්තු එහෙම දාගෙන පාරට ගොඩවෙලා පාර දිගේ ගෙදර එනවා. ඒකාලේ ඉතිං ප්රශ්න නැති සුන්දර කාලයක්.
අපේ ප්රදේශයෙ ඉස්සර බොහොම සස්රික පලාතක් වී,පොල්, රබර්, කුරුදු වගේ වගාවන් තිබ්බත් අද බොහොම සුලු ප්රමාණයක් වී වගාව විතරක් කරනවා. ගොඩාක් ඉඩම් වල ජනාවාස විශාල ඉඩම් කුඩා කුඩා කට්ටි වලට විකුණලා ඒවයේ මිනිස්සු පදිංචි වෙලා. අවුරුද්දෙ මාස කීපයක් එක දිගට වහිනව සමහර අවුරුදු වල ගංවතුර එනවා කැළණි ගග උතුරනවා පාරවල් සමහර ගෙවල් යටවෙනවා .
වැහි කාලෙ ඉවර උනාම තමයි අපිට වසන්ත කාලෙ එන්නෙ මොකද වටේම තියන ගල් වලවල් වැහි වතුරින් පිරිල යනවා. කඩුවෙල ආශ්රිතව ගල් කොරි තියනවා වැහි කාලෙට ඒව වතුර පිරෙන නිසා වැඩ නවත්වනවා. ඉතින් මේව තමයි ඒකලෙ අපේ Swimming Pool පීනන්න පුරුදු උනෙත් ගල් වලවල්වලින් තමයි. වැහි කාලෙ ඉවර උනාම එක දිගට සති කීපයක් අපේ ජල ක්රීඩා සමය ආරම්භ වෙනවා. සෙල්ලම් කරන මුවාවෙන් ගෙවල් වලින් පැනගෙන, ගැන්සිය එක්ක පැයක් විතර වතුරෙ ඉදල ගොඩට එනකොට ඇස් ගොරක ගෙඩි වගේ ගෙදර ගිහිං බැනුම් ටික අහනකොට තමයි කන්වල අගුල් ඇරෙන්නෙ. පූල් එකක වගේ නෙමේ ගල් වලක ගොඩාක් අනතුරු වෙනවා නොදැන ගියොත් ජීවිතේ වුනත් අහිමි වෙන්න පුලුවන් මොකද සමහර තැන් ගොඩාක් ගෑඹුරුයි.
ඔන්න ඉතිං එක දවසක් පුරුදු විදියට පීනන්න ගියා ඔහොම ඉන්න අතරෙ තරගෙට පීනන්න යෝජනාවක් ආව. වැඩේ ලේසි නෑ මීටර් 25-30 ක් විතර තියනවා , හතර දෙනෙක් ඉන්නවා (මමද ඇතුලුව) තරගෙට ඉතිරි අය ප්රේක්ෂකයන් . තරගෙ පටන් ගත්ත, එකයි දෙකයි තුනයි කියන කොටම ක්රීඩකයන් පැන්න ජල කද දෙබෑ කරගෙන. මීටර් 20 විතර පීනන කොට මට තේරුනා වැඩේ හිතන තරම් ලේසි නැති බව , හති ඇරල පපුව හිරවෙලා වගේ තේරුනා. නවතින්නත් බෑ මම හිටපු තැන පීනපු දුර වගේ ගැඹුරුයි.
හිත හිත ඉන්න වෙලා නෑ වතුරට බරවෙලා තිබ්බ අත්තක එල්ලුනා ගිලෙන්න කලිං. ගහක අත්තක් උනාට රබර් ටියුබ් එකක් ඇල්ලුවා වගේ තේරිච්ච නිසා එක පාරටම බැලුවා නෙමේ බැලුනා. ඒ අත්තෙ එතිල ඉන්නවා සර්පයෙක්
මොකෙක්ද කියල හෙවිල්ල කෙසේ වෙතත් ඌට කලින් මං ඉස්සර වුනා. ක්ෂණිකව අත්ත අතඇරල ගොඩටම පීනුවා. සර්පයාට පිං සිද්ද වෙන්න හොද තරගයක් දුන්නා. ඔය වගේ අමතක නොවන සිදුවීම් ,අනතුරු ඕනෙ තරම් තියනවා මතක් කරන්න.

උපුටා ගැනීම: Venusha Sandaruwan