සිහින පවුල් කාරයා ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හය වැනි වසරේ හෝ අට වැනි වසරේ ඉගෙනුම ලැබූ මම පුරුද්දට දිනපතා සවස වත්ත පහළ කුඩා කෙල්ලන් සහ කොල්ලන් සමග සෙල්ලම් ගෙයක් තනා ගැනීම කලෙමි. මෙහිදී මා නිතරම තෝරාගත්තේ බඩු විකුණන වෙලෙන්දාගේ චරිතයය. එසේත් නැත්නම් කැලේ ජීවත් වන ටාසන්ගේ චරිතයය.
සෙල්ලම් ගෙයක්ට ටාසන් කෙනෙක්ගේ ඇති අවශ්යතාවය කිමදැයි කෙල්ලන් ප්රශ්න කරන විට මා පැවසුවේ මම කැලෙන් පළතුරු ආදිය කඩාගෙන එන බවත් කැලේ ඇති සුන්දර තැන් පසුව ඔවුන්ට පෙන්වන බවත් ය. එහෙත් මා ටාසන් වීමේ සත්ය උවමනාව එය නොවීය. මට නිතරම උවමනා වූයේ සෙල්ලම් ගෙදර තාත්තාගේ චරිතය මග හැරීමටය. අම්මා ලෙසින් තවත් කෙල්ලෙක් ඉදිරිපත් වූ පසු මට ඈ සමග පවුලක් සේ ඉදිරිපත් වීමට තිබුණේ ලැජ්ජාවකි. එවක වූ සමහර මෝඩ සංස්කෘතික සීමාවන් අනවශ්ය ලෙස අපේ ළමා ජීවිත තුලට ඇතුළු වූයේ කවර ලෙසකින්දැයි මම අදටත් නොදන්නෙමි.
එක් රන්වන් පැහැ උදෑසනක අපේ නිවසේ මිදුලට මදක් ඔබ්බට වන්නට වූ ගසක් යට වූයේ එතෙක් මා නොදැන සිටි කුඩා දැරියන් තිදෙනෙකි. විනාඩි කීපයක් ගතවත්ම ඔවුන් හා හිතවත් වූ මම ඔවුන්ගේ ඉල්ලීම පිට සෙල්ලම් ගෙයක් තැනීමෙහි නිරත වූයෙමි. ගස් බඩගා අතු කපා, ඒවා නියමාකාරයෙන් හසුරුවා සෙල්ලම් ගෙය සකසා උඩට වහලක්ද දමා නිම කල පසු කෙල්ලන් තිදෙනා ගෙට ගොඩ වූහ.
“ම්ම් හරි ඔය දෙන්න මගේ දූල දෙන්නා”
වයසින් ටිකක් වැඩි කෙට්ටු දැරිය අනෙක් දැරියන් දෙදෙනා පෙන්වා පවසා සිටියාය.
“ඔයා තමයි තාත්තා”
ඈ මදෙසට ඇඟිල්ල දිගු කරමින් පවසා සිටියාය.
අම්මට හුඩු. මට නම් තාත්තා වන්නට බැරිය. මට ලැජ්ජාය. දැන් කුමක් පවසම්ද මේ අළුත හඳුනාගත් ක්රියාශීලී මිතුරියන් තිදෙනාට.
“අර දූල දෙන්න, මම පුතා වෙන්නම්. හරිනෙ.?”
මම බැරෑරුම් ලෙස පැවසුවෙමි.
“නෑ නෑ. ඔයා තාත්තා. ඔයා ලොකුයි.”
ඇගේ ස්වරය කොතරම් දැඩිද යත් මම වෙලෙහිම ඇයට යටත් වූයෙමි.
“මම එහෙනම් වැඩට ගිහිල්ල සල්ලි හම්බ කරන් එන්නම්.”
මේ නරිනාටකයෙන් පලා යාමට උපායක් කල්පනා කල මම එලෙස පැවසුවෙමි.
“දැන් කොහේද වැඩට යන්නෙ? මෙන්න මෙහෙ ගෙට වෙලා ඉන්න ළමයින්ගෙ වැඩ එක්ක මම හිරවෙලා ඉන්න වෙලාවෙ.”
ආපහු වතාවක් අම්මට හුඩුය. මේකි සැබෑවටම පවුල් කන්න සූදානම් වන සෙයකි.
“හා අම්මේ හරි හරි”
මම එසේ පැවසූවේ ඇත්තටම නිරුත්තර වූ නිසාය.
“අයියෝ.. ඔයා නම් හදන්නම බෑ.. කට කැඩෙනකන් කියන්න එපැයි ඔයා මට “ඒයි” කියල කතා කරන්න.”
මම විළි ලැජ්ජාව නිසාම අසරණව සිටියෙමි.
මේ අතර අනෙත් කෙල්ලන් තිදෙනාද කතාවට එක් වූහ.
“තාත්ත අම්මට අම්මේ කියන්නෙ නෑ. ඕයි හරි ඒයි හරි කියල කියන්නෙ.”
මේ අතර අම්මා වූ කෙල්ල ලිපක් සාදා එහි බතක් හා එළවුළු පිලියෙල කොට කන්න දුන්නාය. නළලෙහි වූ දාඩිය පිස දමමින් හා ලිපට පිඹිමින් ඇය කෑම ඉව්වේ අපට බනිමින් ය.
“පොල් ටිකක් ගාල දෙන එකක් ය. මිනිහෙක් හිටියට. ඒකටම හරියන දෝණිය්න්දැල දෙන්නෙකුත් ඉන්නෙ.”
මේ කතාවට අනෙක් කෙල්ලන් දෙදෙනා පෙරලෙමින් සිනහ වූ අතර මිනිහෙක් ලෙස හැඳින්වීම නිසා මමද සිනාසෙන්නට පටන් ගතිමි.
“ඔයා දැන් ළමයි දෙන්නව ඉස්කෝලෙට දාල ඉක්මනට එන්න හරිද. තැන් තැන් වල රස්තියාදු නොගහ.”
මේකි නම් ඇත්තටම පවුල් කන ගානය. දැන්නම් මේ පවුල මට ඇතිය. වහාම පලා යා යුතුය. ටාසන් වූවා නම් මෙපමණ පීඩනයක් නැත. කැලේ වැලක එල්ලී හූ තියමින් පළතුරු කඩා ගෙන ඒම මොන තරම් නිදහසක්ද. මොන තරම් පහසුවක්ද. මේකි නිකම් හෝ අතේ එල්ලුනොත් වස විලි ලැජ්ජාවය. මම තීරණයක් ගත්තෙමි. ළමයින් දෙන්නා පාසලට දමා එද්දී මම කැලේ පනිමි. කැලේ පැන නැවත ටාසන් වෙමි.
“මම කෑගැහුවට කේන්ති ගන්න එපා ඉතින්. ඔයා ඉතින් තාත්තනෙ.”
සෙල්ලමට කිව්වද ඇත්ත්ට කිව්වද නොදත් ඒ වාක්යය මගේ හදවත විනිවිද ගියේය. ඇත්තටම ජීවිතේ පළමු වතාවට මට හදවතට දැනෙන්න යමක් කෙල්ලෙක් කීවේ එදා විය යුතුය.
දරුවන් දෙදෙනා පාසලට දමා එන මගදී මම බිස්කට් පැකට් ලෙස ගල් කැටද, පරිප්පු ලෙස පාසි වර්ගද, කඩල ලෙස කටරොලු කරල් වල ඇටද, තවත් බොහෝදෑද රැගෙන නිවස වෙත පැමිණියෙමි.
-සිහින මතකයක්-
No photo description available.
උපුටා ගැනීම:  Sihina Udayanga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!