“මට සමාව දෙන්න පුලුවන්ද”
කාලයක් තිස්සෙ බ්ලොක් කරලා තිබ්බ නම්බර් එක ඇය විසින්ම අන්බ්ලොක් කරලා මැසේජ් එකකුත් එවලා තිබ්බේ ඊයේ රෑ.ඔෆිස් එකේ ටී ටයිම් එකේදී ෆෝන් එකේ ඩේටා ඔන් කළේ පුරුද්දට වගේ.
“අද මොකද බං ෆෝන් එක අතට ගත්ත ගමන් මල් හිනාවක් දාගෙන.ඇයි නෝනා මැසේජ් කරලද වේලාසන ගෙදර එන්න කියලා”
ඇත්තටම හිතට දැනූණ සතුට මූණේ ඉරියව් වලිනුත් පෙනිලා කියලා තේරුණේ යාලුවගේ කතාවට.ඌව මඟහැරලා ගිහින් ඇයට කෝල් එකක් ගත්තත් ඒ වෙලාවේ එයා ඔන්ලයින් හිටියෙ නෑ.
“සමාව දුන්නෙ මම ඒ දවස්වලමයි”
“කතා කළේ නැති උනාට අමතක වෙලා නෑ”
“මොකද වෙන්නෙ ඉතිං.හොදින් ඉන්නවද”
කොයි වෙලාවක හරි දකිවී කියලා මැසේජ් යැව්වා.හිතට දැනුණේ මහ අමුතු සතුටක්.ආයෙමත් මම පෙම්වතෙක් වෙලා කියලයි මට හිතුණේ.
ඇය විශ්මි.හරිම ලස්සන කෙල්ලෙක්.මට වඩා සෑහේන ලස්සනයි.ගොඩක් දුරට ඇය මාව ප්රතික්ෂේප කළෙත් ඇගේ රුවට මගේ රුව මැච් වෙන්නෙ නැති නිසා.කෙළින්ම ඒක නොකිව්වත් කිව්ව කතා වලින් මට ඒක තේරුම් ගන්න පුලුවන් උනා.කොහොම හරි අපි මාස පහක් හයක් වගේ ආදරේ කළා.නෑ ඇය ඒ තරම් කාලයක් ආදරේ කලත් මම ඊට වඩා කාලයක් ආදරේ කළා.
ඒ දවස්වල මං ජොබ් එකෙත් පහල තලයක හිටියේ.අපි ජීවිතේ ගොඩක් දේවල් ප්ලෑන් කලා.ගෙවල් හදන්න.වාහන ගන්න විතරක් නෙමෙයි හදන ළමයි ගාන පවා අපි කතා බහ කළා.ඇත්තටම ඒක පිස්සුවක්.ඒත් අාදරේ කියන ඒ මහ බලවේගය ළඟ මම හැසිරුණේ පොඩි එකෙක් වගේ.ඒත් ඒ හැමදේම හීනයක් විතරක්ම කරලා විශ්මි මාව දාලා යන්නම ගියා.
“මං කොච්චර හිත හදාගන්න හැදුවත් ඔයාව මට මැච් වෙන්නෙ නෑ.මගේ හිතේ ඉන්නෙ ලස්සන කොල්ලෙක්.සුදු ලස්සන කොල්ලෙක්.ඔයාගේ පෙනුමේ වරදක් නෑ.ඒත් මට තවත් මේක කරන්න බෑ”
ඒක මහ අමානුෂික හැරයාමක්.මට හිතුණේ එහෙම.මං පුලුවන් තරම් උත්සහ කළා ඇයව මගේ ළඟ තියාගන්න.ඒත් ඇයට ඉන්න ඕන උනේ නෑ.ඒක වෙලා අවුරුදු තුනක් මම හිටියෙ තනියම.මට ඕන උනේ නෑ කාටවත් අය ආදරේ කරන්න.ඒත් මට එහෙම ඉන්න බැරි උණා.අම්මලගේ බලකිරීම් නිසා.
හිත අතීතයට යද්දි සැරින් සැරේ ඩේටා ඔන් කර කර බැලුවේ ඇයගෙන් මැසේජ් එකක් තියෙනවද කියලා.එක පාරම කෝල් එකක් එද්දි හිත ගැස්සිලා ෆෝන් එක ගත්තත් ඒ කෝල් එක ආවේ ඇගෙන් නෙවෙයි.හිතට දැනුණු පුංචි දුකකුත් එක්ක ෆෝන් එක ආන්සවර් කළේ ඒ කෝල් එක ආවේ වයිෆ්ගෙන් නිසා.
“කියන්න ඇයි.උවමනාවක්ද.මම වැඩ”
“මට නිකන් මතක් උනා අනේ.මමත් වැඩ.අද ඔෆිස් එකේ වැඩ ගොඩගැහිලා.කොච්චර වැඩ තිබ්බත් කාලා ඉන්න හොදද.එහෙනම් මම තියන්නම්.පරිස්සමෙන් වැඩ කරන්න”
ඒ අරුණි.මගේ බිරිඳ.අපි මැරි කරලා දැන් මාස හතරක්.ඇය පුලුවන් හැම වෙලාවකම මං ගැන හොයලා බලනවා.අරුණිව මැරි කළේ මගේ උවමනාවටත් වඩා අම්මලගේ බලකිරීමට.කියන්න තරම් මහ ලොකු ලස්සනක් තිබ්බෙ නැතත් කියන්න තරම් වරදකුත් අරුණි ලඟ තිබුණේ නෑ.මං දන්නෑ මං අරුණිට ආදරේ කළාද නැද්ද කියලා.ඒත් මං ඇයට බිරිඳක් විදිහට හොදින් සැළකුවා.මම අැයත් එක්ක මගේ දේවල් කිසිම වෙලාවක් කතා කළේ නැතත් අරුණි කියන හැමදේකටම මම ඇහුම්කන් දුන්නා.
වැඩ ඇරිලා ගෙදර යනකන්ම ෆෝන් එක දිහා සැරින් සැරේ බැලුවත් විශ්මිගෙන් පණිවිඩයක් ලැබුණේ නෑ.එදා මට නින්ද ගියෙත් නෑ.රෑ දහයත් පහුවෙලා ඒත් මම සාලේට වෙලා ටීවී එකත් දාගෙන ෆෝන් එක දිහා බලාන උන්නෙ විශ්මිගෙන් මැසේජ් එකක් හරි එයි කියන බලාපොරොත්තුවෙන්.
“මොනවද ඔයා අද මෙච්චර කල්පනා කරන්නෙ.මම කී වතාවක් ඔයාට කතා කළාද.ඔයා හිටියෙ වෙන ලෝකේක.මොකක් හරි ප්රශ්නයක් නම් කියන්න.හිතේ තියන් ඉන්නවට වඩා ඔයාට සහනයක් දැනෙයි”
ඒ අරුණි. මගේ පුංචි වෙනස්කමත් ඇය හරි අපූරුවට තේරුම් ගත්තා.
“එහෙම මොකුත් නෑ.ඔයා ගිහින් නිදාගන්න.මම තව ටිකකින් එන්නම්”
ඇය හිනාවුණා.
“ප්රශ්නෙ මොකක් උනත් ඉක්මනින් විසදෙයි” ඇය නිදාගන්න ගියේ එහෙම කියලා මගේ ඔලුවත් අතගාලා.මට හිතුණා ඇයට ආදරෙයි කියන්න.ඇත්තටම මැරි කරත් හරි මම අද වෙනකන් අරුණිට ආදරෙයි කියලා නෑ.මම ඇය පසුපසම යන්න නැගිටිද්දිම මැසේජ් එකක් ආවා.ඔව් ඒ විශ්මි.මං ආයෙම පුටුවේ වාඩි උණා.
“මටත් ඔයාව ගොඩක් මතක් උණා.හොදින් ඉන්නෙ කොහොමද එතකොට මං”
“විශ්මි මැරි කළේ නැද්ද”
“මැරි කලා.දැන් අවුරුද්දකටත් ළඟයි.ඩොක්ටර් කෙනෙක්.එයා කොයිවෙලෙත් වැඩම තමයි”
“කෝ දැන් මහත්තයා”
“එයා නිදි”
අද වෙනකන් මට ඕන උණා විශ්මි එක්ක කතා කරන්න.මාව දාලා ගියාට පස්සෙ මම විදපු වේදනාව කියන්න.ඒ හැම දේම කියලා හිත නිදහස් කරගන්න.මට කවදාවත් බැරි උණා ඇයට වෛර කරන්න.මම අද වෙනකන් ඇය මාව ප්රතික්ෂේප කලාට දුක් වුණා.ඒත් මට අද ඇය ගැන දැනුණේ පිළිකුලක්. පළමු වතාවට මගේ හිතේ ඇය ගැන තරහවක් දැනුණා.ඒ වගේම මම ගැනත්.මමත් ඇය තරම්ම වරදක් කරනවා වගේ ගැඟීමක් දැනුණේ අරුණිව මතක් වෙලා.
“විශ්මි දැන් මං ගැන හිතන්න එපා.අපි දෙන්නම මැරි කරලනේ.දැන් නිදාගන්න”
“මට පුලුවන් දික්කසාද වෙන්න”
මට පුදුමයි.කාලයක් මං ආදරේ කරපු ඇය,මාව ප්රතික්ෂේප කරපු ඇය අද මං ළගටම එන්න හදනවා.ඒත් මට සතුටක් දැනුණේ නෑ.මං එහෙන්ම නැගිටලා කාමරේට ගියා.අරුණි හිටියේ ඇදට වෙලා නිදාගෙන.ඒත් ඇයගේ ඇස් නින්ද හොයාගෙන තිබුණේ නෑ.
“ඔයා ආවද.මටත් නින්ද ගියෙ නෑ.අපි නිදාගමු”
අද වෙනකන් දැනුණේ නැති ආදරයක් මට අරුණි ගැන දැනෙන්න පටන් ගත්තා.තමන්ගේ මහත්තයා ඉද්දි මට මැසේජ් කරන විශ්මිට වඩා, තමන්ගේ මහත්තයා වෙනුවෙන්ම නැහෙන අරුණි ගැන මට දැනුණේ ගෞරවයක්.මම එතන ඉදන්ම විශ්මිට මැසේජ් එකක් දැම්මා.
“දික්කසාද වෙන්න හේතුවක් මට නෑ. මට ඉන්නෙ ලෝකේ හොඳම බිරිඳ.ඔයා නිසා තමයි මම ඒක තේරුම් ගත්තෙ.තෑන්ක්ස් විශ්මි”
ඇය මැසේජ් එක සීන් කරනකන් ඉදලා මමම ඇයව බ්ලොක් කළා.ෆෝන් එකෙන් විතරක් නෙමෙයි මුලු හිතින්ම මම ඇයව අයින් කරලා දැම්මා.අවුරුදු තුනකුත් මාස ගානකට පස්සෙ මගේ හිතට මහ විශාල සැනසීමක් දැනුණා.මැරි කරලා පළමු වතාවට ඔව් පළමු වතාවට මම අරුණිව ආදරයෙන් වැළඳගත්තා.ඒ වැළදගැනීම වෙනදා මෙන් යුතුකමක් වගකීමක් නියමයක් විදිහට නෙමෙයි.ඇත්තටම ආදරණීය වැළඳගැනීමක්.
“මං ඔයාට ආදරෙයි මැණික”
මම දන්නැ ඇයි එහෙම කියද්දි අරුණි ඇඬුවේ කියලා.හැබැයි මට විශ්වාසයි ඒ කඳුලු වේදනාවේ කදුලු නම් නෙමෙයි.වෙනදා නොදැනෙන උණුසුමක් ඇත්තටම ඇයටත් දැනෙන්න ඇති.මං අලුතින් ජීවත් වෙන්න පටන් ගත්තා අරුණි වෙනුවෙන්.
උපුටා ගැනීම: Hirusha Wijerathna