වඩේ දහය ඔතා දෙනතෙක් වාහනයේ පහත් කල වීදුරුව තුලින් මා දෙස බලාසිටින දුබුරු පැහැති ඇස් දෙක වඩේ බක්කියේ ලාම්පු එලියට දිලිසෙමින් තිබුණි. අවසන් වඩේ දෙක ඇගිලි අතරින් ලිස්සා ගොස් කඩදාසි මල්ලේ පතුල සිඹින විට තවත් අමතර වඩේ කීපයක් මල්ලට එකතු කලයුතු බව යටිහිත පෙරලි කරන්නට විය. සැප පහසු මෝටර්රථයක් තුල සිටියද, සංගමිත්තා පාරේ, හැටේ වත්තේ මුඩුක්කුවේ සිටියද පුංචි දරුවන් කවුරුත් මට කවදත් මගේම දරුවන් මෙන් විය. මෙවන් අවස්තාවක මුදල් අගහිඟ කම පරයා යටිහිත නිතරම ජයලබන බව මම අනන්ත වාරයක් ලද අත්දැකීම් වලින් ප්රත්යක්ෂකොටගෙන සිටියෙමි. තවත් අමතර වඩේ කීපයක් මල්ලට දමන විටම මෝටර්රථයේ නලාව නාද වුයෙන් මම ගැස්සී පියවි සිහියට පැමිණියෙමි. දුවගේ පියාගේ හදිස්සිය සාදාරනය. පුංච් බොරැල්ල හන්දිය වාහනයක් නවතාගෙන සිටීමට අමතර ඉඩක් ඇති තැනක් නොවේ. මන්තිරු දෙකේ පාර මැදට වන්නට තිබුණු බෝ ගස නිසාවෙන් ආනන්ද රාජකරුණා මාවත, මරදාන පාරෙන් පටන්ගනා තැන බොහෝ පටු ස්වබාවයක් ගන්නා ලදී. වහ වහා කඩදාසි බෑගයේ විවෘත කට පෙදෙස අතින් පොඩිකර වසාගත් මම වඩේ කරත්තයේ දකුණුපසින් මෝටර් රථයේ ඉදිරි ආසනය වෙත ලඟා උනෙමි.
“කියද ලොකුඋන්නැහේ ගාන?”
මගේ වයසටම සම වයසේ යැයි සිතිය හැකි මැදිවියේ තාරුණයාට මා “ලොකු උන්නැහේ” වීමේ කිසිම අරුමයක් නැත. වයසට වඩා දිරච්ච පෙනුමක් යුතු මගෙ මුහුණ ඔහුගේ අනුමානයට ඉනිමන් බඳින ලදි.
“රුපියල් එකසිය පනහක් දෙන්න මහත්තය. පොඩි බේබිට මම වඩේ කීපයක් වැඩියෙනුත් දැම්ම”
චුටි කෙල්ල හරිබරි ගැසී ඉදිරි අසුනේ වාඩිවී කඩදාසි මල්ලට අත ඔබගන්නා ලදි.
“එහෙම බැ. හරියට ගාන කියන්න. කාටත් අමරුකාලයක් නේ අය්යේ. ඔක්කොම වඩේ කියද? එකක් පහලවයි නේද? මට හරියටම ගාන කියන්න.”
“එකට කමක් නැ මහත්තය. මගෙ දුවත් මේ වයසෙමයි. එයත් හරි ආසයි මම හදන වඩේ කන්න. මට මගෙ පොඩි එකී මතක් වෙනවා මේ වගේ දුවෙක් දකින හැම පාරම”
“හරි, එහෙනම් මේක තියාගන්න”. රියදුරු අසුනේ සිට මා දෙසට ඇදී ජනේලයෙන් සීයේ කොළ දෙකක් දික්කරගෙන සිටින තරුණ මහත්මා කාරුණික පෙනුමැති අයෙක් වුයෙන්, මුලු මුදලම ගැනීමට හිත් නොදේ. ඉහල ෂර්ට් සාක්කුවෙන් විස්සේ කොළ දෙකක් ඇද එලියට ගත් මම ඔහුට එය දෙනගමන් “මේ ඇති මහත්තය” කියා සියේ කොලදෙක අත මිටමොලවා ගතිමි. ස්වයන්ක්‍රියව පැති වීදුරුව වැසුනෙන්, මෝටර්රථය බේස්ලයින් මාවත දෙසට නොපෙනී ගියේය.
මා මේ ගෙන්දගම් පොලවට ආගන්තුකයෙකි. කොළඹින් බොහෝ දුර මොනරාගල ප්‍රදේශයේ හැදීවැඩුන මම කොළඹට පැමිණෙන්නේ 2010 වසරේ අග බගයේය. දිනමිණ පත්තරයේ තිබුන සිකුරිටි ඇබෑර්තුවක සම්මුක පරිෂණයකට කැදවුම් ලැබුණෙන් ගඩොල්බැද්ද ග්‍රාමයේ සිට කොළඹට පැමිණියේ යන්තම් වයස 19ක් වූ තැනය. කොළඹ ජිවිතයේ මුල්කාලය මට මහත් ආගන්තුක කමක් දැනුනෙන්, ගෙදරින් පිට නුහුරු පරිසරය සමග පොරබදින අතරතුර ජිවිතය අරමුණක් නැතුව ඔහේ එහෙ මෙහෙ ගලාගෙන යනලදී. ඔය අතරතුර මා සේවය සැපයු ආයතනයට තේ සෑදීම සහ සුද්දපවිත්‍ර කටයුතු සඳහා නිර්මලා නම් තරුණියක් එක්විය. නිර්මලා තලෙළු සහ සාමාන්‍ය පෙනුමැති නමුත් පිළිවෙලට ඇඳපළඳි පිරිසිදු තරුණියක වුවාය. කාලය සෙමෙන් ගෙවියත්ම මගේ ජීවිතය යම් පිළිවලක් වෙන බවත් ඊට හේතුව නිර්මලා බවත් ටිකෙන් ටික මට තේරුම් යන්නට විය. නිර්මලා ගේ සිතෙහිද යම් විශේෂ ඉඩක් මා වෙත තිබී ඇතිබව මට දැනගන්නට ලැබුනේ, පළමු වරට මම ඇයට මගෙ අදහස සැලකළ දිනයේය. විවාහය තරමක් ඉක්මන් වුවද එය සිදුවුයේ මගෙ පවුලේ කිසිවෙකුගේ කැමැත්තකින් නොවේ.
නිර්මලා පවුලේ එකම දියණිය වූ අතර ඇයගේ පියා ගුවන්විදුලි සංස්ථාවේ සුළු රැකියාවක නිරතවී සිටියේය. මව රැකියාවක් නොකලාය. නිර්මලාව කැන්දාගෙන යෑමට මට මගේකියා තැනක් කොළඹ නොතිබුණෙන් සහ ඇයගේ දෙමාපියනටද යම් රැකවරණයක් අවැසි වුයෙන්, විවාහයෙන් පසු අප දෙදෙනා නිර්මලාගේ දෙමාපියන් පදිංචිව සිටි හැටේ වත්තේ පුංචි ලෑලි ගෙදරම ජීවිතය ඇරඹුවෙමු. අප දෙදෙනාගේ දියණිය නිර්මලාගේ කුස පිළිසිඳ ගත් දවසේ සිට ඇය රැකියාවට යෑම නවතා දමනලදී. එ වෙනුවට, ඇයගේ මාව ඒ වනවිට සුළුවට ආරම්බ කර තිබු කෑම පාර්සල් වියපරයට අත් උදවු සැපයුවාය. මා දිගටම රැකියාව කරගෙන ගිය අතර, පුලුවන් හැමවිටම රාත්‍රී මුරයක් දෙකක් සාමාන්‍ය රාජකාරියට අමතරව කරනු ලැබුවේ අමතර මුදලක් එකතු කරගැනීමටය.
එක් රාත්‍රියක නිර්මලාට ප්‍රසුත වේදනාව ඇතිවුයෙන් වහා සොයිසා රෝහලට වාට්ටුවට ඇතුල් කෙරිණි.මා රාත්‍රී මුරය රාජකාරි කරමින් සිටි හෙයින් සහ එදින සිටියේ මම විතරක්ම බැවින් මට නිර්මලා සමග වාට්ටුවට යෑමට නොහැකිවිය. මුලු රැයම නිදිවර්ජිතව සිටි මම උදේ හයට ලෙඩුන් බලන වෙලාවට නෝනා වාට්ටුවේ ගේට්ටුව අසල පොදිකමින් සිටි සෙනග අතරට එක් වූනෙමි. පසුපසින් සිටි කිසිවෙකු මගෙ උරහිසට තට්ටු කරන ලදින් පසුපස හැරුන විට මා පිටුපසින් නිර්මලාගේ පියා දක්නාලදී. ඔහු මට ඉඟියෙන් එන්නටයැයි පවසුයෙන්, ආපසු හැරුණු මම ඔහු පසුපසින් වැටුනෙමි. යම් වෙනසක් හාත්පස දැනුනද රාත්‍රී මුරයේ තෙහෙට්ටුව නිසා වියයුතුයි සිතු මම නිර්මල සහ බිලිඳා දැක බලාගැනීමට තිබු අවශ්‍යතාවයෙන් අන් සියලු අපහසුතාවයන් යටපත් කරගතිමි. ගේට්ටුවෙන් මදක් එපිටට සෙනග අතරින් ගිය නිර්මලාගේ පියා එකවරම මා දෙසට හැරී මා වැළඳ ගත්තෙන් මට කිසිත් සිතාගැනීමට නොහැකි විය. දරු ප්‍රසුතියේදී ඇතිවූ සන්කුලතා හේතුවෙන් නිර්මල දිවිගමන අතරමග මාත් සිඟිති දියණියත් තනිකර යන්නට ගොසින්ය.
කඩා වැටෙන්නට සිහින මාලිගා නොතිබුනද නිර්මලාගේ ආදරය ඉහටත් උඩින් මා වින්දෙමි. දුර බැහැරක සිට කොළඹට පැමිණි මට ජීවිතය හරී මාවතට ගැනීමට ඇයගේ පිළිවෙල වූ ජීවිතය අප්‍රමාන රුකුලක් විය. දැන් ඇය නැත. ජීවිතය ගලාගෙන යා යුතුමය. මට ද නවතින්නට අවැසි වුවත් මට එය කල නොහැක. පවුලේ එකම දරුවා දෙමාපියනට අහිමිවී ගොසිනි. තවත් නිර්මලාම වැනි ලස්සන සිඟිත්තියක් ඈ ඉතිරිකර ගොසින් ය. නිර්මලාගේ දෙමාපියන් රැකබලා ගත යුතුය. දියණිය ලොකුමහත් කරගත යුතුය. මට කිසිසේත් නැවතිය නොහැක.
හැල හැප්පීම් මැදින් ජිවිතය හෙමින් හෙමින් ගලායන ලදි. දුව නිර්මලාගේ අම්මාට “අම්මා” ත් මට “තාත්තා” ත් කියා ආමන්ත්‍රණය කලාය. නිර්මලාගේ තාත්තා “සීය තාත්තා” විය. තාත්තා ගුවන්විදුලියේ රැකියාවෙන් විශ්‍රාම ගියෙන් අම්මාට බත් රස්සාව කරගෙන දුව බලාගැනිමට තිබු බාදාව තරමක් පිරිමැසුණි. මොන කරදර ජිවිතයට පැමිණියත් පුංචි සුරන්ගනාවියගේ සිනා අතර සියල්ල දියකර හැර ජිවිතයට මුහුණදීමට මාත්, අම්මත්, තාත්තාත් පුරුදු වුහ.
රාත්‍රී වැඩමුරයක නිරතවෙමින් සිටි එක් දිනයක සිකුරිටි OIC මහත්තයා හදිසියෙන් ඉක්මන් අඩි තබමින් මා රාජකාරි කල පොයින්ට් එක දෙසට එනු පෙනුනෙන් කුමක් හෝ හදිසියක් බව මට දුර්ස්තියාම දැනුනි. “ඉන්ටර් කොම්” දුරකථනය අතට ගෙන පරික්ෂා කල මම එය ක්‍රියා කරන බව සැකහැර දැනගතිමි. OIC මහත්තයා යමක් දුරකතනයෙන් දැනුම්දීම සාමාන්‍යය වුයෙන්, පවුද්ගලිකව රාත්‍රීයේ ඉක්මන් ගමනින් පැමිණීම සැක සහිතය.
“පියසිරි, මම මෙතන ඉන්නම්. ඔයා ඉක්මනට ගෙදර යන්න. තාත්ත කෝල් කරල කිව්වා දුවට පොඩ්ඩක් හුස්ම ගන්න අමාරුයි වගේ, රිජ්වේ එකට එක්කන් යනවා කියල. ඔයාට ගෙදර ඇවිත් අම්ම එක්කම ඉස්පිරිතාලෙට එන්න කිව්වා”
“අනේ දෙය්යනේ. ඇයි එහෙම කරන්නේ. මම කාටවත් වරදක් කරපු නැති මිනිහෙක්. ඇයි මේ”…. පපුව හිරකර එ මතින් විශාල කළුගලක් තැබුවා වන් වුයෙන් ශබ්දය නැතිවම ඉහත කන්නලවුව හිත ඇතුලෙම හිරවිය. තොල කට වියලී උගුර දක්වාම පල්ලම් බැස්සෙන් උගුර කාරවන්නට කැස්සක් ඇතිවුවෙන් OIC මහත්තය මට වතුර බෝතලය දික් කරමින් පිටට තට්ටුවක් දැම්මේය.
“පියසිරි, මේක වියදමට තියාගන්න. කෙල්ලට අමාරුවක් නැතුවැති. හොඳ සිහියෙන් වැඩ කරන්න” යම් මුදලක් යුනිෆෝම් සාක්කුවට ඔබන ගමන් OIC මහත්තයා කියාගෙන ගියේය.
මම වහා ශ්රීරම්ය හෝටලයට දිව ගියේ ඒ අසල රාත්‍රී වනතුරු ත්‍රීරෝද රථ නවත්වා තිබෙන බව හොදින් දන්නා නිසාය. සැනෙකින් ත්‍රීවීලර් රථයකට ගොඩවුණු මම හැකි ඉක්මනින් හැටේ වත්තට යනලෙස ඉල්ලා සිටියෙමි. නිවසට ලංවන විටත් ඉදිරිපස දොරන්ගුළු දමා තිබුනෙන් , අම්මාද රෝහලට ගොස් ඇතිබව පැහැදිලිය.
“මල්ලි, හරවගන්න. කෙලින්ම රිජ්වේ එකට යමු”
වාසනාවට මෙන් මා සමග කලින් රැකියාව කල හිතවතෙකු සහ වත්තේම ජිවත් වන රසික හදිස්සි අනතුරු ඒකකය අසල මුරකුටියේ රාජකාරියේ යෙදී සිටි හෙයින් දුර තියාම මා සිටිනා මානසික මට්ටම සහ මගෙ අවශ්‍යතාව ඔහුට තේරුම් ගතහැකි විය.
“පියසිරි අය්යේ, දුව ICU එකට දැම්ම. මේ වෙලාවේ ඇතුලට යන්න දෙන්නේ නැ. යමු මාත් එක්ක. මම එතනට එක්කන් යන්නම්. දොරේ වීදුරුව ලඟට ඇඳ පේනවා.”
කා සමගවත් කතා කිරීමට වචන ගැටගසා ගත හැකි තත්වයක් නොතිබුණෙන්, රසික පසුපස වැටි කෙලින්ම ICU දොර ලඟට ඉක්මන් ගමනින් පැමිණියෙමි. අම්මා සහ තාත්තා දොර අසල බංකුව සිටියද කතාකිරීමට තරම් මට සිහියක් නොතිබිණ. ICU දොර අසලට කෙලින්ම පෙනෙන ඇඳක් මත සතපවලු මගේ ලෝකය වයර් කීපයකට අමුණා උඩු අතට සයනය කොට ඇත. පුංචි මුහුණේ අඩක් වන්නට ඔක්සිජන් සපයන මුකආවරනයකට වැසි ගොසිනි. වම් අත නොපෙනුනත් සේලයින් බටයකට අමුණා ඇති සැටියකි. “නිර්මලා. මේ වෙලාවේ දුව ඔයාට අයිති නැ. මට මෙහෙම කරන්න එපා. ඔයත් නැති මට හිටියේ මෙච්චරයි. ඔයාට තනියිනම් මම එන්නම්. කෙල්ලව මේ ලෝකෙට ඕනේ නිර්මලා” කාටවත් නොඇසෙන්නට මම හෙමින් තොල් අතර මුමුණා මටම කියගතිමි.
දවස් කීපයකට පසු සාමන්‍ය වාට්ටුවකට දුවව මාරුකරන ලදි. එය හිතට මහා සැනසීමක් වුවද පසුව කරනලද වයිද්ය පරීක්ෂණ සියල්ලම අවසන් වුයේ එකකට එකක් නරක ආරංචි වැලක් සමගින්ය. සියල්ල අවසන නිගමනය ලෙස, ලක්ෂයකින් එක් අයෙකුටපමණ වැළඳෙන දුර්ලබ පෙනහළු ආශ්රිත ලෙඩකින් දුව පිඩා විඳින්න බව වයිද්‍යා වරුන් විසින් දන්වන ලදි.
දෙවෙනි වරටද මගෙ ලෝකය සුනුවිසුනු වී සමතලා වී ගියා වන් විය. නිර්මලා ගේ වියෝවෙන් පසු මට ජිවත් වීමට ඉතිරිව තිබු එකම බලාපොරොත්තුව දුව පමණි. දැන් එකවරම ඇය මගෙන් උදුරාගෙන නොගොස් ටිකෙන් ටික මට රිදවීමට පටන්ගෙන ඇත. මට කිසිම අවස්ථාවක් නොදී නිර්මලා නික්මගියද, දුව මට උත්සාහ කිරීමට අවස්ථාවක් ඉතිරිකොට ඇත. හැකි උපරිම වෙර යොදා දුව ජිවත් කරවීම මටද ජීවිතය තල්ලුකරගෙන යෑමට අරමුණක් සපයනු නොඅනුමානය. නමුත් වයිද්‍යා උපදෙස් අනුව ඇයට නැවත කිසිදාක දුවපැන සෙල්ලම් කිරීමට නොහැක. යම් හේතුවක් නිසා ශරීරයට ඔක්සිජන් සැපයුම අවම වුවහොත් ඇයගේ මුලු සිරුරම නිල්පැහ ගැන්වෙයි. එවන් අවස්තාවක හැකි විගස ලඟම රෝහලට ඇය රැගෙන යා යුතුය. හුරුපුරුදු ආරක්ෂක රැකියාවට ආයුබෝවන් කීමට සිදුවුයේ හදිසි අවස්ථාවක දියණිය රෝහල්ගත කිරීමට යම් අයෙකු නිතරම ඇය අසල රැඳී සිටිය යුතු නිසාය. විනාඩියක් දෙකක් වුවද, එවන් අවස්තාවක ජිවිත කාලයක් තරම් වටිනාකමක් ඇති දෙයකි. නිර්මලාගේ අම්මගේ බත් රස්සාව තරමක් දියුණු වුයෙන් දිවාකාලයේ අම්මාත් තාත්තත් තරමක් කාර්යබහුලය. මේ හේතුවෙන් දවල් කාලයේදී මම නිතරම දුව පෙනෙන දුරින් සිටිමින් යමක් කිරීමට පුරුදුවී සිටියෙමි. හවස් වරුව තරමක් කාර්යබහුල නොවූ බැවින් දුවගේ තනි රැකීමට අම්මාට වැඩි ඉඩක් ලැබුණි.
පුංචි බොරැල්ල හංදියේ කුලතුංග තැබෑරුම අසල අවුරුදු පහලවක් වඩේ විකිණීමෙන් ජිවත් වූ තනිකඩ පිරිමියෙකු වූ ජිනදාස මාමා මාස කීපයකට මත්තෙන් මෙලොව හැරගියෙන්, ඔහුගෙන් පසු අඩුව පිරවීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුනි. වත්තේ සමගි විශ්‍රාම ශාලාව අසල අතහැර දමාතිබුණු වඩේ බක්කිය පිරිසිදු කර අලුතින් තීන්ත අලෙපකර ගත් මම හවසට පුන්චිබෝරැල්ල හන්දියේ වඩේ විකිනීමට පටන්ගත්තේ නිර්මලාගේ දෙමපියන්ටම දුවගේ බෙහෙත්හේත් වල බරපැන පැටවීමට හිත ඉඩ නුදුන් නිසාය.
වඩේ කරත්තයේ රැකියාව පටන්ගත් දින සිට මගතොටදී අනන්තවත් පුන්චි දුවාදරුවන් හමුවී ඇත්තෙමි. මගෙ සිඟිති දියණියට නොහැකි වුවද අනෙක් දරුවන් දුවපැන නටනයුරු දැක අප්‍රමාන සතුටක් ලබන්නෙමි. එවන් ඕනෑම අවස්තාවක මගේ සුරන්ගනවියද මේ දරුවන් අතර කොතැනක හෝ සෙල්ලම් කරනවා ඇතයි ඇස්දෙක රිදෙනකන් විපරම් කර හිත රවටා ගැනීමට මම දැන් පුරුදු වී සිටිමි.
උපුටා ගැනීම: Rajith Waduge