හිතාදර මධුරි අක්කලාට (අනා)ආදරයෙන් ලියමි, (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උපන්තේකට හරිහමන් ‘ලව් ලෙටර්’ එකක්වත් ලියා නැති මට මෙවැනි ලිපියක් ලියන්නට වේ යැයි සිහිනෙනුදු නොසිතුවෙමි. ඒ මොන දේ වුණත්, මෑතක සිට යළිත් ඔහේලා දෙන දස වදේ නිසා මෙය ලියන්නට ම සිත්වුණි.
උපන් දා සිට ඔයැයිලගෙ වර්ගයාගෙන් මට සිද්ද වුණ තරමක් සිදු වූයේ හිරිහැර පමණී. ඔය කාලයේ මං ඔහේලා නමින් ගමින් අඳුන්නන්නේ නැත.
ඒත්, සුට්ටි කාලයේ සුදු පුළුන් බෝලයක් වගේ හිටි මාගේ සුමුදු සුදු මුදු සූටි අත පය වල එල්ලී ලේ උරා බොන්නට ඔහේලා හිත හදාගත්තේ මොන හිතකින්දැයි මට නොතේරේ. පුදුමාකාර වැඩේ එය නොවේ ය. ඔහේලා වැම්පයර්ලා ලෙස මාගේ රක්ත රුධිරය උරා බිව් බව මා දන්නේ අතපය හතර සරබර ගා කසන්නට ගන්නා විට ය. (එය එදාට පමණක් නොව මෙදාටත් වලංගු ය.) මේවා ඉන්ටර්නැෂනල් සවුත්තු වැඩ ය. ඉන්පසු ඒ කසන තැන් වල කැත ලොකු කළු පැල්ලම් එන්නට ගත් පසු දොස්තර ආන්ටි වෙත පෙන්වා බෙහෙත් ගන්නා විට ‘මෙයාට මදුරුවෝ ඇලජි එකක් තියෙනවා’ කී දින ඔහේලාගේ හරි නම දැනගත්තෙමි. එතෙක් අපේ ගෙදර ඔයාලා වෙනුවෙන් පාවිච්චි වූ හුරතල් නම වූයේ ‘චප්පා’ ය.
මදුරුවෝ මාව කෑවා කියා කියමින් සිටිය ද බත් සුට්ට සුට්ට කා ලොකු වී ඉස්කෝලෙ ගොස් විද්යාව ඉගෙනගන්න තරම් ලොක්කියක වූ පසු පිරිමි මදුරුවන් ලේ උරා නොබොන බවත් උන් බොන්නේ පළතුරු යුෂ බවත් ඉගෙනගත්තෙමි. එතකොට මෙතෙක් කල් මාව හූරගෙන කා ඇත්තේ..ආ නෑ සොරි උරාගෙන බී ඇත්තේ ගැහැණු මදුරුවෝ ය. එනම් මගේ පක්ෂය වන කාන්තා පක්ෂේ එවුන් ම ය. (තියන්න වටින්නෑ ඉතින්!) ඔයින් මෙයින් ගැහැණු මදුරුවෝ කිය කියා ඉන්නවට වඩා ඔබට මධුරි කියා ආමන්ත්රණය කිරීමට සිතුවෙමි. මන්ද එය පහසු ය. ඉන්දියාවේ මධුරි ඩික්සිත් මෙය දැනගතහොත් මට එරෙහිව කෝටි ගණනක වන්දි ඉල්ලා අපහාස නඩුවක් දමන බව නොඅනුමාන ය. ඒත් මධුරි යන නමට ඇයට පමණක් තනි අයිතියක් නොමැති බැවින් මට නඩුව පහසුවෙන් දිනාගත හැකි බව සිතමි.
වෙන එවුන්ගේ අත් කකුල් වල ඇත්තේ සෙල්ලමට දුවන්නට පනින්නට ගොස් හදාගත් සීරීම්, තුවාල වල ලප කැළැල් ය. දුවන්නට පනින්නට ලොකුවට ඉඩක් කඩක් නොවූ මට එවැනි කැළැල් නැති තරම් ය. එහෙත් මධුරි අක්කලාට පින් සිදුවන්නට ඒ වෙනුවට චූටි ඇස් වැනි කළු පැල්ලම් පන්සියයක් පමණ මගේ දෙපා වල ඇත. කකුල් බතික් කළා වැනි ය. මරු ය! ඔලිව් තෙල් ගා හෝ එව්වා මකන්න බැරිය.
මා ටික ටික නාකි වන්නට ගත් පසු ඔහේලාගේ කරදරේ වේදනාව තරමක් සමනය වීම මාගේ නොමඳ ප්රීතියට හේතුවක් විය. එහෙත් ඒ සතුට පැවතුණේ මා ඒ ලෙවල් පන්තියට පැමිණෙන තෙක් පමණ ය. 2013 දී ගම් පළාතට සංචාරය කර පැමිණි පසු මාගේ දෙපා පුරා ම ඔබතුමීලාගේ භෝජන සංග්රහ වල සලකුණු හටගෙන සැරව ගලන්නට විය. එය කොතෙක් ද යත් ඒ දිනවල මරදාන ස්ටේසම ළඟ මද වේලාවක් හිටගෙන සිටියේ නම් යාචකයෙක් යැයි සිතා හොඳ ගතමනාවක් උපයන්නට මට හැකි ව තිබුණි. (අපරාදේ හැබැයි!) කොටින්ම දෙපා පුරා ප්ලාස්ටර් අලවාගෙන පාසල් පැමිණි මා ගැන දුක සිතී අපේ පන්තිභාර ගුරුතුමිය කෙටි කලෙකට මට පන්තිය අතු ගෑම පවා තහනම් කළා ය.
නුඹලාගෙන් මේ තරම් තාඩන පීඩන වලට ලක් වූව ද මේ අවුරුදු විසිපහටම මා චප්ප කර ඇත්තේ මධුරිලා එකෙක් හෝ දෙකක් පමණක් බව මා පවසන්නේ මහත් ආඩම්බරයෙනි. හා පැටියෙකු සේ මා අහිංසක බව පැවසීමට තවත් අටුවා ටීකා ටිප්පනි කුමටද? නේද? ඇරත් ඔය මිනීමැරුම් වැනි භයානක වැඩ ප්ලෑන් කිරීමට මා අකමැති ය. තව ද බිලියන හතහමාරක් මිනිසුන් සිටිනා ලෝකේ මාව ම සොයාගෙන එන්නේ මා මෙන් ම මගේ රුධිරය ද ‘හරි ස්වීට්’ නිසා යැයි සිතා එවෙලෙට හිත හදාගන්නෙමි.
අවුරුදු පහ හයකින් දැනෙන්නට වදයක් නොදුන් ඔහේලා මේ ළඟදී සිට ආයෙමත් මට වද දෙන්නට ගත්තේ මොන කරුමෙකටදැයි මම නොදනිමි. 2013දී සිදු වූ ආපදාවේ අප්ඩේටඩ් වර්ෂන් එක පැමිණෙන්නට යන බව නිකමට මෙන් හැඟෙයි.
වෙනදාට වඩා විශේෂත්වය මෙවර ඔහේලා මාගේ මූණට ද හාදු දෙන්නට ගැනීම ය. මේ ලිපිය ලියන මොහොතේදී ද මූණ කසන්නට ගත් නිසා අතගා බලන විට මූණ කා ඉගිලී යන මධුරියෙක් දුටුවෙමි. ඇල්වතුරත් නිවා බොන, සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වන අසරණ මා ඔබලාගෙන් වැද නමස්කාර කර ඉල්ලා සිටින්නේ මට මාගේ පාඩුවේ ඉන්නට දෙන ලෙස ය. දාන පාරමිතා පුරන්නට මම කැමති නමුත් මේ ඒකට විදිය නොවේ ය. මාගේ කාරුණික ආයාචනය ආදර (කෑදර) මධුරි සහෝදරියන් පිළිගනු ඇතැයි මා උදක් ම බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!
මෙයට,
අසීමාන්තික දොම්නසට පත්
දිලී නංගි
උපුටා ගැනීම: Dilshi Dedunu Wickramasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!