දේශ සීමා ඉක්මවා ලොව පුරා භාවිත වන අක්ෂර මාලා 5ක් (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මනුෂ්‍ය වර්ගයාගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස “ලේඛන කලාව” හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙ යි. භාෂිත හෙවත් වාචික බස් වහරේ භෞතීය නිරූපණය වන ලේඛන කලාවේ ඇරඹුම සනිටුහන් කිරීමේ මුල් පියවර තබා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 35,000 තරම් ඈත කාලයේ දී ක්‍රෝ-මැග්නන් මානවයා විසින්. ඉන් බොහෝ කාලයකට පසු ව ක්‍රිස්තු පූර්ව 3,500 – 3,000 අතර කාල සීමාවේ දී දකුණු දිග මෙසපොටේමියාවේ වාසය කළ සුමේරියානුවන් මුල් වරට ලිඛිත භාෂාවක් ලොවට හඳුන්වා දී තිබෙනවා. බට පතුරු යොදාගනිමින් මැටි පුවරු මත ලියූ සුමේරියානු අක්ෂර හඳුන්වන්නේ “කියුනිෆෝම්” ලෙස යි.

“කියුනිෆෝම්” අකුරින් කෙටූ ශිලා ලිපියක් – Bjørn Christian Tørrissen

මුවෙන් ගිලිහී ගිය සැණෙන් වා තලයට මුසු වී මියැදෙන වදන් සඳහා වඩාත් ස්ථිර සහ දිගු ජීව කාලයක් ලබා දෙනු පිණිස භාවිත කරන ලේඛන කලාවේ අත්තිවාරම වන්නේ අක්ෂර මාලා බව පැවසීමේ වරදක් නැහැ. අක්ෂර මාලාවන් හි විකසනය පිළිබඳ ව සලකා බැලීමේ දී ඉතිහාසය තුළ වාර්තා වූ ජයග්‍රහණ ද්විත්වයක් පවතිනවා. ක්‍රිස්තු පූර්ව 1,700 – 1,500 අතර කාලයේ දී නැගෙනහිර මධ්‍යධරණී වෙරළ ආශ්‍රිත ව වාසය කළ  ෆිනීෂියානුවන් විසින් “උතුරු සෙමිටික්” ලෙස හඳුන්වනු ලබන ව්‍යඤ්ජන අක්ෂර සහිත ලේඛන රටාවක් නිර්මාණය කිරීම පළමු ජයග්‍රහණය වන අතර දෙවැන්න වන්නේ ග්‍රීකයින් ක්‍රිස්තු පූර්ව 800 – 700 අතර කාලයේ දී ස්වර අක්ෂර හඳුන්වා දීම යි.

එසේ ආරම්භ වූ අක්ෂර මාලා අද වන විට දේශ සීමා පවා ඉක්මවා යමින් දිගු ගමනක් පැමිණ තිබෙනවා. අක්ෂර මාලා ප්‍රධාන වශයෙන් අක්ෂරානුගත (තනි අක්ෂර ගළපමින් වචන ගොඩ නැඟීම), වචනාර්ථක සහ වර්ණක [තනි වචනයක් හෝ පදිමයක් (morpheme) දැක්වීම සඳහා තනි අක්ෂරයක් භාවිත කිරීම], ඇබ්ජාඩ් හෙවත් ව්‍යඤ්ජනාත්මක (ව්‍යඤ්ජන අක්ෂර දැක්වීම සඳහා සංකේතයක් භාවිත කරමින් අදාළ වන පරිදි ස්වර අක්ෂරය ගළපා ගැනීමට කියවන්නාට ඉඩ හැරීම) සහ ඇබුගීඩා හෙවත්  ව්‍යාජ අක්ෂරානුගත (ස්වර සහ ව්‍යඤ්ජන එක් කර තනි අක්ෂරයක් ලෙස ලිවීම) ලෙස වෙන් කළ හැකි යි. සිංහල අක්ෂර මාලාව අයත් වන්නේ “ඇබුගීඩා හෙවත්  ව්‍යාජ අක්ෂරානුගත” කාණ්ඩයට යි. මේ සිවු කාණ්ඩයන්ට අයත් අක්ෂර මාලා විශාල ප්‍රමාණයක් වර්තමානයේ දී ලොව පුරා භාවිත වෙනවා. ඒ අතරින් වඩාත් බහුල වශයෙන් භාවිත වන අක්ෂර  මාලා  පහක් ගැන  තොරතුරු යි මේ.

ෆිනීෂියානුවන් නිර්මාණය කළ “උතුරු සෙමිටික්”  අකුරු – Eliyahu Yannai

ලතින් අක්ෂර මාලාව

ඇතැම් විටෙක දී “රෝම අක්ෂර මාලාව” ලෙස ද හැඳින්වෙන “ලතින් අක්ෂර මාලාව” සැලකෙන්නේ ලොව වැඩියෙන් ම භාවිත කරන අක්ෂර මාලාව ලෙස යි. ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීම සඳහා භාවිත කරන සම්මත අක්ෂර මාලාව වන ලතින් අක්ෂර මාලාව සතු ව අකුරු 26 ක් තිබෙනවා. මුල් කාලයේ දී “පුරාණ ලතින් අක්ෂර මාලාව” සතු ව පැවතුණේ අක්ෂර 21 පමණ යි. පසු ව එය අක්ෂර 23 කින් සමන්විත “සම්භාව්‍ය ලතින් අක්ෂර මාලාව” දක්වා වර්ධනය වුණා. අවසාන වශයෙන් ලතින් අක්ෂර මාලාව එක් වූ අක්ෂර වන්නේ “J”, “U” සහ “W” යන අක්ෂර යි.

ක්‍රිස්තු පූර්ව 600 දී පමණ එට්‍රස්කන් අක්ෂර මාලාවෙන් බිඳී නිර්මාණය වූ ලතින් අක්ෂර මාලාව, පුරාණ රෝම වැසියන් ලතින් භාෂාවෙන් ලිවීමේ කටයුතු සිදු කිරීම සඳහා විශාල වශයෙන් භාවිත කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව හැරුණු විට යුරෝපීය භාෂා රැසක් ලිවීම සඳහා භාවිත කරන්නේ ලතින් අක්ෂර මාලාව යි.

ග්‍රීසියේ ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මැටි භාජනයක දැක්වෙන පුරාණ ග්‍රීක අක්ෂර මාලාව
– Marsyas – Wikimedia Commons

චීන අක්ෂර මාලාව

තනි අක්ෂරයක් මගින් තනි වචනයක් පෙන්නුම් කරන “චීන අක්ෂර මාලාව” අයත් වන්නේ “වචනාර්ථක සහ වර්ණක” අක්ෂර මාලා කාණ්ඩයට යි. ක්‍රිස්තු පූර්ව 3,300 දී පමණ මුල් වරට භාවිතයට පැමිණි එය, ලෝකයේ අඛණ්ඩ ව භාවිතා කළ පැරණි ම අක්ෂර මාලාව ලෙස ද සැලකෙනවා.

ආසියානු මහද්වීපය තුළ බහුල වශයෙන් භාවිත කරන චීන අක්ෂර මාලාව, චීනයේ පමණක් නොව ජපානය සහ කොරියාව වැනි නැගෙනහිර ආසියානු රටවල ද ජනප්‍රිය යි. ලොව පුරා වාසය කරන බිලියන 1.34 ක් පමණ වන ජනතාව චීන අක්ෂර මාලාව භාවිත කරන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

කියුනිෆෝම්, ඊජිප්තු සහ චීන අක්ෂර වර්ධනය වූ අයුරු – Gaston Maspero

චීන අක්ෂර මාලාව සතු ව අක්ෂර 50,000 ක් පමණ තිබෙන නමුත් වර්තමානයේ දී බහුල වශයෙන් භාවිතයේ පවතින්නේ අක්ෂර 20,000 ක පමණ ප්‍රමාණයක්. උගත් යැයි සැලකෙන සාමාන්‍ය චීන පුද්ගලයකු අක්ෂර 8,000 ක් පමණ දන්නා බව යි වාර්තා වන්නේ. නමුත් එදිනෙදා භාවිතය සඳහා දැන සිටීමට අවශ්‍ය වන්නේ චීන අක්ෂර 2,000 – 3,000 අතර ප්‍රමාණයක් පමණ යි.

අරාබි අක්ෂර මාලාව

චීන අක්ෂර මාලාවෙන් පසු ව වඩාත් භාවිත කරන “අරාබි අක්ෂර මාලාව” බිහි වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ දී යි. දකුණු දිග සිරියාව, ජෝර්දානය සහ උතුරු අරාබියේ වාසය කළ නැබටියන් ගෝත්‍රිකයන් භාවිත කළ අකුරු රටා, අරාබි අක්ෂර මාලාවේ පදනම ලෙස සැලකෙනවා. ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය සමඟ විශාල වශයෙන් ලොව පුරා පැතිරුණු අරාබි අක්ෂර මාලාව භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 660 ඉක්මවනවා. පර්සියානු, උර්දු සහ කුර්දිෂ් වැනි භාෂා ලිවීම සඳහා භාවිත කරන අරාබි අක්ෂර මාලාව සාමාන්‍යයෙන් කියවන්නේ දකුණේ සිට වමට යි.

පැරණි අරාබි අකුරින් ලියූ ඉස්ලාම් ග්‍රන්ථයක් – Public Domain

දේවනාගරී අක්ෂර මාලාව

ලොව පුරා මිලියන 600 ක් පමණ වන ජනතාව භාවිත කරන “දේවනාගරී අක්ෂර මාලාව” භාවිත කරමින් ලියන භාෂා ගණන 120 කට ආසන්න යි. ස්වර අක්ෂර 14 කින් සහ ව්‍යඤ්ජන 33 කින් සමන්විත එය “දේවනාගරී” ලෙස හඳුන්වන්නේ “දෙවියන්ගේ නගරයේ භාවිත කරන අකුරු” යන අරුතින්. ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේ දී ඉන්දියාවෙන් බිහි වූ දේවනාගරී අක්ෂර මාලාව ඉන්දියානු අර්ධද්වීපය තුළ විශාල වශයෙන් භාවිත වන අතර හින්දි, සංස්කෘත, පාලි, නේපාලි වැනි දකුණු ආසියානු භාෂා රැසක් ලිවීම සඳහා එය භාවිත කරනවා. දේවනාගරී අක්ෂර අයත් වන්නේ ස්වර සහ ව්‍යඤ්ජන එක් කර තනි අක්ෂරයක් ලෙස ලියන “ඇබුගීඩා හෙවත්  ව්‍යාජ අක්ෂරානුගත” අක්ෂර කාණ්ඩයට යි.

දේවනාගරී අක්ෂර භාවිතා කර නේපාලි බසින් ලියූ බෞද්ධ පුස්කොළ පොතක් – Sarah Welch

‌බෙංගාලි අක්ෂර මාලාව

ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ දී පමණ බ්‍රාහ්මීය අක්ෂරවලින් බිඳී නිර්මාණය වූ “බෙංගාලි අක්ෂර මාලාව” භාවිත කරන පිරිස මිලියන 300 කට අධික යි. යම්තාක් දුරකට දේවනාගරී අක්ෂරවලට සමානකමක් දක්වන බෙංගාලි අක්ෂර මාලාවේ වත්මන් ස්වරූපය 1778 දී පමණ ප්‍රකාශයට පත් වූ අතර 19 වැනි සියවසේ දී සුළු නවීකරණයන්ට භාජනය වුණා. “දර්ශනීය භාෂාව” සහ “වත්මන් භාෂාව” ලෙස බෙංගාලි අක්ෂර ලියන ආකාරය ද්විත්වයක් පවතිනවා. 16 වැනි සියවසට පෙර භාවිතා කළ වඩාත් සුන්දර අක්ෂර සහිත සාම්ප්‍රදායික ක්‍රමවේදය “දර්ශනීය භාෂාව” ලෙස හැඳින්වෙන අතර එදිනෙදා ලේඛන කටයුතුවල පහසුව උදසො මෑත කාලීන ව හඳුන්වා දුන් සරල අක්ෂර හැඳින්වෙන්නේ “වත්මන් භාෂාව” ලෙස යි.

උපුටා ගැනීම: roarmedia

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!