( ගැමි වහරේ මිහිර)
මෑතකදි මහාවිශාල මැණික්ගලක් ලැබුණ කියල ලොකු කතාවක් ගියා නෙ! සමහරු ඒක වටිනව කිව්ව.සමහරු කිව්ව ඒක ගල්පැලෙන බොරුවක් කියල .
ලංකාව එදා ඉඳලම මැණික්ගල්වලට ප්රසිද්ධයි. මැණික්ගලක් අතේ තියන් කන්කසන්තුරේ ඉඳල දෙවුන්දර තුඩුවට ගෑනුළමයෙක්ට ඒකාලෙ එන්න පුලුවන් උනාලු!! අද නම් ගල් ඉබ්බෙකුටවත් වැඩිදුරක් යන්න ලැබෙන්නෙ නෑනෙ. හැබැයි එහෙම කරන අයට උරුම ගල් පල්ලිය තමයි !
ලොකු ගලක් ආසන්නයේ හදපු නගරයකට ඇතුගල්පුර වගේ නම් දාපු අපේ ඇත්තො ගල උඩ සටන් තිබ්බෙත් ( තාමත් ඒ වගේ ඒව තියෙන්නෙ ) ඒ වගේ ගල් උඩ තමයි ! එහෙම සටන් වැදුණු හැමෝම ගල් හිත් ඇත්තන් නම් නෙවෙයි !
ගලේ කෙටූ අකුර වගේ කියල කියමනක් තියෙන නිසා දෝ අපේ ආදි මුතුන්මිත්තන් නොයෙක් තොරතුරු ගල්වල කෙටුව අපිට අදටත් බලාගන්න පුලුවන් විදියට .
ගල්ලෑල්ලෙ ගල්කූරෙන් අකුරු ලියපු අයත් තාමත් ගස් ගල් වගේ ජීවතුන් අතර ඉන්නව. ඒ අයගෙන් ගල් ඉන්න කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් නිවැරදි උත්තරය කිව්වට ඒ අය පුංචිකාලෙ ගල්කටස් ගැන නම් අහල නැතුව ඇති ! .
තමන් තියපු මුල්ගල් පැලවෙනව නේද කියල වෙන කවුරුහරි චෝදනා කලොත් ගල් ගිල්ල වගේ ඉන්නෙ නැතුව ඒ ගැන ගල්පැලෙන බොරු කියන අයත් අපි අතරෙ ඉන්නව. එහෙම අයට ගල්වරුසාවක් වහින්න ඕන කියල සමහරු සාප කලාට ගලේ ඔලුව ගහගන්න බෑ කියන සමහර අය මේ වැරදි නොදැක්ක ගානට ඉන්නව.
කඩුගන්නාව කන්දෙ තියෙන ගල සුද්ද විද්දෙ නැත්නම් තාමත් අපේ සෙංකඩගල නුවර ඇත්තො මූදෙ තියෙන ගල්පර දැකල නෑ කියල එයාලගෙන් බැණුම් අහන දකුණේ අය කියනව. මේ දෙගොල්ලම වාදභේද අතෑරල යන තැනක් තමා ගලේ දේවාලෙ!
සුද්දට පෙන්නල අපි ගතමනාවක් හොයාගන්න ගල තමයි සීගිරි ගල. දඹුලුගලත් ඒ වැඩේට මුක්කු ගලක් වගේ සහායක් දෙනව. අපි අවුරුද්දකට ඩොලර් මිලියන පහ හයක් මේක සුද්දට පෙන්නල හම්බකරගන්නව.
රතුකැට, නිල්කැට, ආරනූල් , වෛරෝඩි මේ හැම එකක්ම අපේ පොලොවෙන් ලැබෙන වටිනා ගල් විශේෂ .හැබැයි ගල්කැට වගේම වක්කරපු ගල් ( ව්යාජ මැණික්)නම් ඒ වගේ වටින්නෙ නෑ.
නිල්ගල , රතුගල තමයි වැද්දන්ගේ උරුමය පෙන්නන ගල්. මේවයෙ තිබ්බ ගල්කුළුවල ස්වාභාවික ව ම පිහිටි ගල්ගුහාවල ඒ අය ගල් ආයුධවලින් දඩයම් කරගෙන ගල් යුගේ ඉඳන් අනාදිමත් කාලයක් පදිංචිවෙලා හිටිය නිසා ඒව ගල්ගෙවල් වුණා.
ගොයම් කොලය කියන්නෙ ඉස්සර ගොයම් කපල ගොඩගහන එකට . එහෙම ගොඩගහන තැනට මුලින්ම චාරිත්රානුකූලව ගලක් තියල ඒක වටේ තමයි ගොයම් අඩුක්කරන්නෙ. ඒ ගලට කියන්නෙ ‘මුත්තා’ කියල !( හක්ගෙඩියක් තියන අයත් ඉන්නව)
ගල භාවිත කල ආකාරය අනුව ඒ ඒ ගල්වලට දාපු නම් තමා බෙහෙත් ගල/ මිරිස් ගල/ බැලුම්ගල/ ගිනිගල/ නයිගල/ ලිග්ගල / උරගල/ කරගල /කුරහන් ගල/ සෙක්කුගල/ මායිම්ගල.
නයිගල කියන්නෙ සර්පවිෂ උරාගන්නා බව කියන ගලක්. කරගල කියන්නෙ ඉස්සර මිනිස්සු දැලිපිහිය මුවාත් තියාපු ගල.
බෙහෙත්ගල කියන්නෙ බෙහෙත් අඹරපු ගලට. මේ තියෙන ඡායාරූපවලින් එකක් අපේ තාත්ත ඉන්න කාලෙ බෙහෙත් අඹරපු බෙහෙත්ගල.
ලියලන ගල තියෙන්නෙ සබරගමුවෙ සමන් දේවාලෙ . මේකෙ දාල තියෙන්නෙ වීදුරුවලින් ආවරණය කරපු ඒ ගලේ ඡායාරූපයක් ! මේ ගල ලියලමින් වැඩෙන බවට විශ්වාසයක් තියෙනව.
සමහර මිනිස්සුන්ගෙ විශ්වාසයක් තිබ්බ ගෙවල් දොරවල්වලට ආශාවෙන් කෑදරකමෙන් මැරෙන අය ඒ ඉඩමේ ගල්පෙරේතයෙක් වෙලා , ඒ කියන්නෙ වත්තෙ ගලක්වෙලා උපදිනවා, ඒ ගල ලියලනවා, කැපුවම ලේ එනවා කියල !! මේ පෙරේතයින් අනිත් ඈයො වගේ සක්වල ගලෙන් එපිටට පන්නන්න බෑ.
ගල්මූසලය, ගල්බමුණා , ගල් ආඳා කියන්නෙ නම් අපි අතරෙම ඉන්න සමහරුන්ට . ඒ අයගෙන් වැඩක් ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ තමා !
ගල්බමුණ කියල නීතිවිරෝධී මත්පැන් වර්ගයක් ගම්බදව තිබ්බ කාලෙකට ඉස්සර. ඒව බිව්වෙ ගල් අරක්කුවලට වඩා ලාබ හින්දා . බිව්වම ගල් බමුණ වගේ ඉන්න නිසා තමා ඒ මත්පැන්වලට නම වැටුණේ!
ගලේ හැඩය අනුව තමයි තොප්පිගල/ දෙතනගල වගේ නම් ඒ ඒ ගල්වලට දාල තියෙන්නෙ ! ඔය දෙතනගලට පොෂ් විදියට බ්රෙෂියර් කන්ද කියලත් කියනව. ගොන්ගල කන්ද ගොනෙක්ගෙ හැඩයෙන් පේනවලු පනංගල ඉන්න මිනිස්සුන්ට.
ගල් පිළිම නෙලූ අපේ මුතුන්මිත්තන්ගේ දක්ෂතාවයන් හා කලාත්මක හැකියාවන් මූර්තිමත් කරන ගල් තමයි මුරගල්, කොරවක්ගල්.
‘ ඉසුරුමුණියෙහී පැතලි ගලෙක ඒ ආලයෙ ලීලය පෑ ‘ කියන්නෙත් අපේ ගල්වඩුවන්ගේ ඒ දස්කම් ගැන !
කලුගල් එක්ක ගෙවිච්ච ජන ජීවිතය ගැන ජනකවිය මෙහෙම කිව්ව
කලුගල් කඩාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොනු කුර ගෙවෙන්නේ
ගොනා නෙවෙයි හරකයි බර අදින්නේ
කිරිගල්පොත්ත කන්ද යි අපි නගින්නේ
## ගල් නොවන ගල්-:
‘ ගලක් පලා ගලක් දුටිමි’ කියල පටන්ගන්න තේරවිල්ලෙන් කියන්නෙ ගල් ගැන නෙවෙයි !
ගල් වශයෙන් අපි පොලොවෙන් ලබාගන්නා හෝ පොලොව මතුපිට තියෙන දේවල් ඇරුණම මේ විදියට ගල් නමින් හඳුන්වන වෙනත් දේත් තියෙනව.
1 හක්කෙ තියෙන ගල-:
දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා තමන්ව සටනකින් පරද්දපු නන්දිමිත්ර යෝධයා ගැන වෛරයෙන් ඒ යෝධයාට පහරදෙන්න හක්කෙ ගලක් තියාගෙන හිටියලු , විජිතපුර බලකොටුව බිඳින වෙලාවෙ ඇතාගෙ ඇඟට වැටෙන්න ගිය යකඩදොර නන්දිමිත්ර පැනල අහකට තල්ලුකල වෙලාවෙ තමයිලු ඒ වෛරය අයින්කරල ගල අහක දැම්මෙ.
ඉතින් මිනිහෙක් හිතේ වෛරයක් තියන් ඉන්නව නම් හක්කෙ ගලක් තියන් ඉන්නෙ කියනව.
2 හොරගල් -:
මේව ඇහිඳින්නෙ කුකුල්ලු! කාටහරි කොටන්න යනකොට ලඟට යනකම් බොරුවට බිම තියෙන ගල් ඇහිඳිනව ! මිනිස්සුත් හිතේ එකක් තියන් තව එකක් බොරුවට කරනකොට හොරගල් ඇහිඳිනව කියනව.
3 ඉරගල වැටෙනවා-:
ඉරගල වැටෙනවා කියල කිව්වට මේක ගලකින් වැටීමක් නෙවෙයි . ගැමියන් සවසට ඉර බැසයාම මෙසේ හඳුන්වනවා. ඉරගල වැටෙන වෙලාව ඉර බහින වෙලාවයි.
4 පිඩිගල්-:
මේක නම් ගලක් නෙවෙයි .
‘ ගෝනා දඩයම් කරල පිඩිගල් දෙක කපාගෙන ගිහින් ආරච්ච්ලට දුන්න ! ‘
“වැඩිය කන්න ගිය රටේ – වළහ කෑවා පිඩිගැටේ”
මේකෙ පිඩිගල් කියන්නෙ පස්සාගාතයේ තට්ටම් කොටසට!!
ලොකු පස්සක් තිබ්බ ගැමියෙකුට අක්කර පිඩියා කියල නමක් තිබ්බලු!!



උපුටා ගැනීම: Channa Witha