ලියන්න යන්නේ එහෙම වැඩක් ගැන. ඔයාල දැකලත් ඇති හිටපු ගමං සමාජ මාධ්‍ය ඇතුළෙ සංසරණය වෙන ෆොටෝ එකක් තියෙනවා අප්‍රිකානු අලියෙක් සිංහ පැටියෙක්ව තමංගෙ හොඩෙං උස්සං යද්දි සිංහ ධේනුව පැත්තකිං යනවා. මේක සෑහෙන වයිරල් උන වැඩක් උනා මොකද ස්වභාවික පරිසරයෙදී මෙහෙම එකක් වෙන එක සෑහෙන පුදුමාකාර වැඩක් නිසා. දැං මේක ඇත්තටම උන දෙයක්ද? එහෙම හිතං හිටියනං කණගාටුයි. මේක බොනිකර තරැවක්. මෙහෙම දෙයක් මේ කපේට වෙලත් නෑ. වෙන්නෙත් නෑ. ඉතිහාස කතාව බලමු ඕකේ.
දෙදාස් දහ අටේ අප්‍රෙල් පළවෙනිදා කෘගර් සයිටින්ග්ස් ( Crooger sightings) කියන ට්විටර් ගිණුමෙන් තමයි මේක පළවෙලා තියෙන්නේ. මේකෙදී පෝස්ට් එක දාලා තියෙන්නේ සිංහ මව සහ පැටියා සැවානාව හරහා වතුර හොයන් යන අතරෙදී අලියෙක් පැටියව හොඩේ තියං වතුර වලට අරං ගියා කියල. හැබැයි මේ පෝස්ට් එකේම “Tinged by Sloof Lipra” කියලත් සඳහන් වෙනවා. අනිත්පැත්ත ගහල බැලුවොත් පෙනෙයි මේ කියන්නේ අප්‍රේල් මෝඩයා කියන එකම කියල. හැබැයි ඉතිං එදා සිට අද දක්වා ලෝකේ පුරා මිනිස්සු මේ ලණුව ගිලිනවා. සත්තුන්ට මෙහෙම පුළුවන් නං ඇයි මිනිස්සුංට මෙහෙම බැරි? සත්තු ළග මිනිස්සුන්ට වඩා හොද ගති තියෙනවා වගේ කතන්දර මේ ෆොටෝ එක එක්ක ඈදෙනවා. හැබැයි ඉතිං එයාලා දන්නෑ තමං බොරුවකට රැවටෙන ගමං අනිත් අයවත් රවට්ටනවා කියන එක.
මේ පින්තූරේ ෆොටෝ කෑලි තුනක මැනිපියුලේශන් එකක්. අලියගේ ෆොටෝ එක 2005 දී කෘගර් ජාතික උද්‍යානයේදී ගත්ත එකක්. සිංහ ධේනුවගේ ෆොටෝ එක 2012 දී ලොන්ඩොලෙසි ජාතික උද්‍යානයෙදී ගත්ත එකක්. මේ සිංහ ධේනුව ඊට මාස දෙකකට විතර පස්සේ මැරිලා කියලයි කියන්නේ. එතකොට පැටියගේ ෆොටෝ එක අඩුමගානේ අප්‍රිකාවෙදි ගත්ත එකක්වත් නෙමෙයි. ඒක ඔස්ට්‍රේලියාවේ සත්තු වත්තකදී ගත්ත එකක්. මේ ෆොටෝ කෑලි තුන එකතු වෙලා තමයි අදටත් ලෝකේ තැං තැං වල සංසරණය වෙන ලෝක බොරුවක් නිර්මාණය උනේ. සමාජ මාධ්‍ය ඇතුළේ යන බොහෝ දේ මෙහෙමයි. ඇත්ත වගේ පෙනුනට ඇත්තම නෙමෙයි හොදේ. කොහොම උනත් මේ ගැන වැඩි විස්වාසයක් නැති කෙනෙක්ට පුළුවං කැමතිනං මේක හොයල බලන්නත්.
උපුටා ගැනීම: Dinuka Liyanage