රේ. වංගුව (ඉතිහාසගත කතාවක්) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ෆැකල්ටිය බොහොම “පොඩි” ප්රදේශයක් ආවරණය වෙමින් තිබුණු එකක් නිසා ෆැකල්ටිය ඇතුලෙත් අපේ ගමනාගමනය බොහෝ වෙලාවට සිද්ධ වුනේ පාපැදි රාජයන්ගේ පිහිටෙන් . තනිකඩ කාන්තා පාර්ශ්වය පා ගමනෙන් ගියාට, “දුක අහන අයියලා” එයාලව බයිසිකලෙන් එක්ක ගිය අවස්ථාත් තිබ්බා.
ඒ අතරෙ සමහර අයට මෝටර් සයිකල් එහෙමත් තිබුනා. (මෝටර් සයිකලේ හෝදන්න තියෙනව කියලා එග්සෑම් එකට නොගිහින් මෙඩිකල් දාපු ,රෑට විතරක් ඇස් පේන අයියෙකුත් හිටියා. දැං එතුමා ගුරුතුමෙක්)
හරි එහෙනම් කතාවට එමුකො ආයෙමත් .
ඔය විදියට , කොල්ලන්ගෙ සිහින අස්පයෙක් වෙච්ච පල්සර් බයික් එකක් තිබුණු , අපේ ජූනියර් බැචෙක් හිටියා. මෙයා තමන්ගෙ බයික් එක ලෝස් නැතුව අනිත් එවුන්ට පදින්නයි බයික් පදින්න පුරුදු වෙන්නයි දෙන අතලොස්සක් අතර එකෙක්. ඒ කියන්නෙ හිත හොඳ බුවෙක්.
මිනිහා ඉතිං පුලු පුලුවන් වෙලාවට සිහි කල්පනාව ඇතුවත් හිටියා.(අනිත් හැම වෙලාවෙම බඹරා වගේ තමයි හිටියෙ කියල මම කියන්නෙ නෑ)
අපේ ෆැකල්ටියේ ඒ දවස් වල මුලින්ම හම්බ වෙන හොස්ටල් එක තමයි පැරඩයිස් එක. ඒක ගැන වෙනම ලියන්න තරම් දේවල් තියෙනවා. පස්සෙ ලියන්නම්.(සමහරු ඕකට ගිය අළුත, “මම මේක **පැරඩයිස්** එකක්ම කරනවා” කියල සිංහ නාද දීපු අවස්ථා තිබුනට, අපි කැම්පස් එකෙන් අවුට් වෙනකම්ම ඒක පරණ පැරඩයිස් එකම තමයි හොඳේ)
ඔය පැරඩයිස් එක ඉස්සරහ තියෙන්නෙ කුඹුරක්. කුඹුරයි ,හොස්ටල් එකයි අතර තමයි පාර තියෙන්නෙ . පාරෙ ඔතන තියෙනවා සැර වංගුවක් . වාහනයක, විශේෂයෙන් බයිසිකලයක එන කෙනෙක්, කල්පනාවෙන් ආවෙ නැත්නම් වංගුව කෙලින් කරගෙන යන්න වෙන්නෙ “නියරේ පිය නගලා …//” තමයි.
ඔන්න අපේ මිත්රයා , එක දවසක්දා , සුපුරුදු පදමෙන් ඉන්න වෙලාවක එයාල හිටපු හොස්ටල් එකට යන්න එන ගමන්, අර එතන තියෙන කැට්ල් ෂෙඩ් එකට අරක්ගත් ගොපලු අවතාරෙට බය හිතිලද කොහෙද , සෑහෙන්න “” හෙමිහිට”” ඇවිත් තියෙනවා . පැරඩයිස් වංගුව ගාවදි ,එහෙම වෙලාවට සාමාන්යයෙන් විය යුතු පරිදි, බයික් එක ගුවන් ගත වෙලා. එහෙම්මම පැරෂුට් නැතුවම කුඹුරට ” ලෑන්ඩ්” කරලා.
කොහොම හරි මුගේ විලාපෙයි, තව අටෝරාසියක් සද්දයි නිසා කොල්ලො කට්ටියක් ඔතනට ඇවිදින් , මෙතුමාව පැය බාගෙන් විතර අපේ ආදරණීය ආඳපනෙ ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින්. ( ඩොක්ටර්ස්ලා කිව්වලු තව පැයකට කලින් ගේන්න තිබුන නම් ගොඩක් හොඳයි කියලා. හොඳ ඇති ඉතිං , මොකද ඒ වෙද්දි මේකා හැප්පිලත් පැය බාගයයි )
ඔන්න වැඩේ ආරංචි වෙලා අපි අර පැය ගතවෙන්නත් කලින්ම ඉස්පිරිතාලෙට කඩාවැදුනා. දැං ඔන්න මේකා ඉන්නවා ට්රොලියක පතබාලා. පණ තිබුණා එතකොටත් .(තාමත් තියෙනවා ).
මුගේ හැටි දන්න හින්දම තුවාල සුද්ද කරද්දි අපි ලඟ හිටියා. එහෙමට පුත්තරයා. සුද්ධ කරන්න පටං ගන්නකොටම ඔන්න පටං ගත්තා ධර්ම දේශනාවක් .
” ආ…ව්ව්.. රිදෙනවා යකෝව්.. තොපි මාව මරන්නද හදන්නෙ මේ.. තොපේ…. @#$%&& (හරි හරි .. ඒ වචන තමයි )”
ඔන්න ඉතිං තුවාල සුද්ධ කරන තුමාටත් මල් මදාරා වෙන්න මල පැන්නා.
” මහත්තයා මේ,, කට පොඩ්ඩක් වහගෙන ඉන්නවද අපට මේ වැඩේ කරන්න දීලා…. “
අපේ එකාත් අතාරින්නෙ නෑ
” මේ ඕයි, කෑගහන එක මගේ වැඩක්. තුවාල වලට බෙහෙත් දාන එක තමුසෙලගෙ වැඩක්. මම මගේ වැඩේ කරන්නම්, උඹලා උඹලගෙ වැඩේ කරපල්ලා”
ඒ මිනිහටත් හිනා. අපි කෝකටත් මතු ආරක්ෂාවට අපේ එකාව අල්ලගෙන හිටියෙ.
ඔන්න මූව සුද්ධ පවිත්ර කරලා වාට්ටුවට දැම්මා. අපි ඉතිං ඉන්නවා දැං නයිට ගහගෙන එලියෙ, මූ ඊළඟට මොනව කරයිද දන්නෙ නැති නිසා.
පාන්දරම අපේ මිත්රයගෙ තාත්තා ආවා වෝඩ් එකට. අපි හිතුවා දැං ඉතිං අපෙත් අවසානෙ තමයි කියල . මුගේ අත පය හතර ගැටගහලා මූට අපි බලෙන් පෙව්වා කියල හිතුවොත් එහෙම… විනාසයිනෙ .අපි ඉතින් උපක්රමශීලී පසුබැස්මක් කරලා, ඇහෙන පේන දුරින් බලාගෙන හිටියා .
තාත්තා දැක්ක විතරයි ඕං මේකා ආයෙ පරල වුනා. පටං ගත්තා දේශනාවක් . තාත්තා වචනයක් වත් කතාකරන්න කලින්ම,,
” ඔය මං විතරද බයිසිකල් වලින් වැටෙන්නෙ , තව ඕන තරම් මිනිස්සු වැටෙනව බයිසිකල් වලින්. මම මොනව කරන්නද ඒවට “
ඒ ආදරණීය තාත්තා මොනවත්ම කිව්වෙ නෑ. ඇත්තටම තේරුම් ගැනීම අතින් අති විශිෂ්ට පියතුමෙක් !
එලියට ඇවිත් ,පණ බයේ හිටපු අපිටත් කතා කරලා විස්තර අහලා තාත්තා ගියා.
අපි ඉතිං යන්තම් හොඳ වුනාම ,මේකවත් කුදලගෙන , ජාතිය අමතමින් එක්ක ගියා ෆැකල්ටියට.
පස්සෙ කාලෙක ඒ මිත්රයා , ඉතාම මැනවින් අධ්යාපන කටයුතු වල නියැලිලා , උපාධිය සම්පූර්ණ කරලා, මේ වනවිට ලංකාවේ කෘෂිකර්මය සඳහා විශිෂ්ට මෙහෙවරක් කරන සුන්දර මිනිසෙක්.
අර වංගුව ,මෙතුමාගෙ වීර ක්රියාවට උපහාර පිණිස ඒ දවස් වලම, එතුමාගෙ නමින් නම් කලා. දැන් නම් වෙනස් වෙලා ඇති ……..
උපුටා ගැනීම: Deshan Sameera Wattuhewa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!