අළුත් මාළු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
චීන්නු ආස අළුත් මාළු වලට, අළුත් කියන්නෙ ටැංකි බෝට්ටුවේ මාසයක් අයිස් වල හිටියට පස්සේ අපි මාළු මාකට් එකට ගිහින් බොරුවට අළුත් කියල හිතින් හිතාගෙන ගන්න උන් නෙමේ, එවෙලෙ පණපිටින් අරගෙන හදන අලුත්ම අළුත් මාළු වලට.
චීන රටේ ගොන්ශුයි වල තියෙනව මාළු මාකට් එකක් හිතේ හැටියට අළුත් මාළු කන්න පුළුවන් විදියට කිලෝ මීටර් ගානක් ලොකුවට – දිගට..
එතනට ගිහිල්ල තියෙන දේවල් දැක්කම තව දවස් කීපයකින් ගඟේ මුහුදෙ කන්න කිසිම දෙයක් ඉතිරි වෙන එකක් නෑ කියලත් හිතෙනව. මාළු නම් මාළු, උන් ඉන්නෙ එක එක වර්ග වලට වෙන් කරපු වෙන වෙනම විදුරු ටැංකිවල. ඉස්සො නම් ඉස්සො, දැල්ලො නම් එහෙමයි, කකුළුවෝ ඉන්නෙ වර්ග වලට සහ ප්රමාණ වලට වෙන වෙනම, අමුතු පටියකින් හෙලවෙන්න බැරි විදියට ගැටගහලා චීන අකුරු ගහපු රත්තරන් පාට ලේබල් එකක් අලවලා, ලක්ෂ ගනනක් කකුළුවො… ඒක දැක්කම මතක් වෙන්නේ ලස්සනට වර්ග පාට වෙන් කරල ලේබල් ගහපු ඇපල් තට්ටුවක්…
කෑමට මාලුවෙක් තෝරාගන්න ටැංකියක් ලඟට ගියාම උන් අපේ ලඟට එන්නේ අපි උන්ට කෑම දාන්න හදනවා කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් වෙන්නෙ අපි උන්ව කන්න හදන එක.
ටැංකියේ කොච්චර මාළු හිටියත් අපි පෙන්නන එකාම තෝරල දෙන්න විකුණන අය හරි දක්ෂයි.
කිඹුල් මස් කන්න කැමති අය කව්රුත් ලොකු කිඹුලෙක්ම කන්නෙ නැති නිසා උන් ඉන්නෙ ලෑලි පෙට්ටිවල, කිලෝ ගානට ගන්න මරපු තඩි කිඹුලෙක් ලෑලි මේසයක් උඩ ඉන්නව.
මේක ටිකක් අප්රසන්න කතාවක් වගේ වුනාට කලින් මරපු සත්තු කන අපි වෙනස් විදියට කරන්නෙත් මේකම තමයි. ඒත් මරපු මස් – මාළු වලයි අපි වෙනුවෙන් එවෙලේම මරණ මස් – මාළු වලයි ප්රාණගාථ අකුසලයට අවශ්ය සියලු කරුණු සම්පුර්ණ වෙන්නෙ දෙවෙනි එකේදී කියලයි මම ඉගෙන ගත්තෙ.
ඉතින් අපි අපට ඕන විදියට කෑම ටික තෝරගත්තම විදුලි සෝපානෙක නැගල ඒ ගොඩනැගිල්ලේම තට්ටු හත අටක් ගියාම තියෙන්නෙ අපි ගෙනියන සත්තු එවෙලෙම අපට ඕන විදියට පිළියෙළ කරල දෙන හෝටල්. නිකම්ම හෝටල් නෙමේ තරු හෝටල් කිව්වොත් තමා හරි.
සරලව කිව්වොත් පහල අපාය, උඩ දිවිය ලෝකෙ වගේ…
ඉතින් මරණෙට නියම වුන අර අහිංසක සත්තු නොයෙක් නොයෙක් ආකාර වලට, නොයෙක් රසට හැදිලා විනාඩි කිහිපයක් ඇතුලත ගණුදෙනු කරුවගේ කෑම මේසෙට එනවා …
…………………………………………..
ලංකාවෙත් හික්කඩුව පැත්තෙ රෑ කෑමකට ගිය එක හෝටලේක ඔය විදියෙ එක ටැංකියක් තිබුණා කියමුකෝ. ඉතින් ඒකට එන සංචාරකයෝත් ඔය විදියට තෝරලා දෙන මාළු හෝටලේ සේවකයෙක් කුස්සියට ගෙනියනව දැක්කම ඒ ගැන ටිකක් විපරම් කරල බැලුවා.
ඒක මරු.
හෝටලේ කුස්සිය (වචනෙ හරි මදිද මන්ද) පිටි පස්සෙ තව ටැංකියක් …
අර ගෙනියන මාළු යන්නේ ඒකට …
මේසෙට එන්නෙ වෙනද වගේම කුස්සියේ ශීතකරණය ඇතුලෙ අයිස් උඩ ඉන්න මාලුම තමයි ….
හැබැයි වර්ගෙ එකයි …ඒ විදියට තේරුවම මෙනු එකේ මිල දෙගුණයටත් වඩා වැඩියි …
මාලුවා පණපිටින්, කස්ටමර් සතුටින්, හැබැයි වැඩේ බාලයි……
උපුටා ගැනීම:  … සමීර බෝපගේ ….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!