චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදි තිරයට පිටුපසින් සිටිමින් විශාල කාර්යබාරයන් ප්‍රමාණයක් සිදුකරමින් ඊට දායකත්වය ලබාදෙන පිරිස වැඩිය. ශබ්ද සංස්කරණය කියන්නේත් චිත්‍රපටයක නිර්මාණකාර්යේදි ඉතාමත් වැඩි වැදගත්කමක් හා අවධානයක් ලබාදෙන අංශයක්. චිත්‍රපට දර්ශණ වල පෙන්වන වැස්ස, ගෙරවුම් හඬ, සටන්, අඩි ශබ්ද, වස්තු බිඳී යන ශබ්ද ආදි විවිධ හඬවල් නිර්මාණය කරන විදිය ගැන ඔබට පුදුම හිතේවි! අද අප ඔබට කියන්න සූදානම් වෙන්නේ ඒ ආකාරයෙන් අපූරු ශබ්ද නිර්මාණය කෙරෙන හැටි ගැනයි.
- රාක්ෂ ජීවීන්ගේ ගෙරවුම් හඬවල් ඇතිකරන්නේ බැලුමක් ඇතිල්ලීමෙනි

2014 තිරගත වූ Godzilla චිත්‍රපටයේ සංකීර්ණ ගෙරවුම් හඬවල් නිර්මාණය කර තිබුණේ හුලං පිරවූ බැලුමක් ඇතිල්ලීමෙන් නැගෙන හඬ පටිගත කිරිමෙනි.
- කඩා හැලෙන වැස්සේ ශබ්දය- බැදෙන බේකන් වලින්

වැසි ශබ්දය පටිගත කිරීමට වැස්සෙක් වැටෙන තුරු බලානොසිට වෙනත් නිර්මාණාත්මක ආදේශක ක්‍රම වලට යාම ශබ්ද සංස්කරණ ශිල්පීන්ගේ ක්‍රමයයි. තෙල් වල බේකන් කැබලි බැදෙන හඬ ඔවුන් භාවිතා කරති. ඇතැම් විට සහල් වැටෙන හඬ පටිගත කරමින් යොදාගනියි.
- අස්ථි බිඳෙන හඬ- සැල්දිරි

විශාල සතුන්ගේ කකුල් වලට පෑගී දේවල් කැඩි බිඳි යන හඬ ඇතිකරන්නේ සැල්දිරි නම් එළවළු වර්ගය භාවිතා කරමිනි. එහි ක්‍රන්චි ස්වභාවය නිසා ඒවා කැඩි යන ශබ්දය අපූරුවට එම දර්ශණ වලට ගැලපේ.
- අශ්වයින් ඇවිදින හඬ- පොල් කටු

වියළි හිස් පොල්කටු ඝන මතුපිටක් මත තට්‍ටු කරවමින් අශ්ව කුර ගැටෙන හඬට සමාන ශබ්දයක් නිර්මාණය කරගනියි. මින් සැම පියවරකටම හරි අපූරු ආකාරයකට හඬ එක්කර ගත හැකියි වගේම ලාභ හා පහසු ශබ්ද ආදේශකයකි.
- දුන්නෙන් විදින විට හා ඊතල මාරු කරන හඬ- උණ ගස්

විදින හී සැර වල හඬ රූගත කිරීම් අතරතුරදි පටිගත කිරීම අපහසුය. මයික්‍රෝෆෝනය ආධාරයෙන් උණ කෝටු වලින් තමන්ට අවශ්‍ය ආකාරයෙන් හී සැර හඬ පටිගත කරගනිති.
- වෙඩි හඬ- ‘ස්ටේපල් ගන්’ (staple gun)

බරැති ස්ටේපල් ගන් එකක් ආධාරයෙන් වෙඩි හඬ පටිගත කෙරේ. ඉන් දර්ශණයට හානියක් නොවන ආකාරයෙන් සැබෑ ත්‍රාසජනක හා නියම වෙඩි හඬවල් එක්කරමින් දර්ශණ ප්‍රතිනිර්මාණය කරගැනීමට ඔවුන්ට හැකිවේ.
- හිම මත ඇවිදීන හඬ- කෝන් පිටි

ස්‍ටුඩියෝ තුල හිම පරිසරය ප්‍රතිනිර්මාණය කරගන්නේ කෝන් පිටි ආධාරයෙනි. විශාල පෙට්ටියකට කෝන් විශාල ප්‍රමාණයක් හලමින් විශේෂ පාවහන් භාවිතා කරමින් ඒවා මත පියවර තබමින් හඬ පටිගත කරයි.
- අකුණු හඬ- ඇලුමිනියම් තහඩු (aluminium sheet)

මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කරන අතර මෙය ඒ අතරින් එක් ක්‍රමයකි. ඇලුමිනියම් තහඩු සුලඟේ එහා මෙහා පැද්දීම හා සෙලවීම හරහා මයික්‍රෝෆෝනයෙන් හඬ පටිගත කෙරේ. එයට තවදුරටත් හඬ සංස්කරණයක් එක්කාසු කරයි.
- ගුටි හුවමාරු වන හඬ – මස් කැබලි

කම්මුලට පහරදීම්, ගුටි හුවමාරු හඬ නිර්මාණය කෙරෙන්නේ අමු මස් ඝන මතුපිටක් මතට වැටීමට සැලැස්වීමෙන් නැගෙන හඬ උපයෝගි කරගෙනය. ඇතැම් අවස්ථා වලදි මස් කැබලි වලට පහර ගැසීම මඟින් ද එය සිදුකෙරේ. තවත් ක්‍රමයක් ලෙස විශාල පොත් ඝනකම් මතුපිටක් මතට වැටෙන්නට සලස්වමින් අවශ්‍ය හඬ නිර්මාණය කරගනියි.
- ඔංචිල්ලා පැද්දෙන හඬ- මලකඩ කෑ සරනේරු

ඔංචිල්ලා හඬ, පැරණි දොර ජනෙල් විවෘත කරන විට නැගෙන හඬ, බිහිසිණු හොල්මන් චිත්‍රපට වල පසුබිම් හඬවල් සඳහා බොහෝ විට මෙම පරණ සරනේරු භාවිතා කරමින් හඬ නිර්මාණය කරයි.
- හෘද ස්පන්දන හඬ- කසල බඳුන්

සංවේදී චිත්‍රපට හා බිහිසුණු හොල්මන් චිත්‍රපට වල හෘදස්පන්දන රිද්මයේ හඬ භාවිතා කරයි. හෘදස්පන්දන රිද්මය නිර්මාණාත්මකව ඇතිකරගන්නේ කසල බඳුන් උපයෝගි කරගෙනය. ඒවා උඩ විසිකරමින් හරවා රිද්මයානුකූලව එහි යට කොටස මත අත තදකරවමින් අවශ්‍ය හඬ පටිගත කරගනියි.
- සිපගැනීම්- අත් සහ තොල්

සිපගැනීම් හඬ නිර්මාණය කිරීමේදි නිර්මාණශිල්පියා තම දෑත් සිපගනියි.
- යමක් වැටෙන හඬ- විශාල පොත්

විශාල පොත් බිමට වැටෙන්නට සලස්වමින් හෝ පොලොවේ ගසමින් යමක් බිමට පතිත වන හඬ පටිගත කරයි.
- ගිනි පුපුරු විසිවන හඬ- බබල් ව්රැප් (bubble wrap) හෝ කුකිං පේපර් (cooking paper)

ගිනි පුපුරු නැගෙන හඬ නිර්මාණය කරගන්නේ බබල් ව්රැප් පිපිරවීමෙන් හෝ බේකිං පේපර් රැළි කිරිමෙන්ය.
- බිත්තර පිපිරෙන හා බිත්තර කඩන ශබ්දය- අයිස් ක්‍රීම් කෝන්

බිත්තර පිපිරෙන හඬ සඳහා වියළි අයිස් ක්‍රීම් කෝන් එකක් කුඩු කිරීම භාවිතා වන එක් ක්‍රමයකි. තවත් ක්‍රමයක් ලෙස හඬ සංස්කරණ ශිල්පීන් විසින් සේදුම් දියර ගැල්වූ රබර් අත්වැසුම් පැලඳ කොමඩු ගෙඩියක් අතින් පොඩිකරමින් බිත්තරයේ තෙත් හඬ ප්‍රතිනිර්මාණය කරගනියි.
උපුටා ගැනීම: Hela Rahas