එක ගමක ගොවියෙක් හිටියලු. මේ ගොවියට තිබ්බ ලොකුම ප්රශ්නේ තමයි එයාගේ ගොවිපොළට වතුර ගන්න තැනක් නැති එක. ඉතින් එයා මොකද කළේ අල්ලපු ගොවිපොළ අයිතිකාරයට කතා කරලා එයාගේ ඉඩමේ තිබ්බ ළිඳ සල්ලිවලට ගත්තලු. හැබැයි මේ අසල්වැසියා හෙනම අණ්ඩපාලයෙක්. ඉතිං ඊළඟ දවසේ ගොවියා තමන්ට අවශ්ය කරන වතුර ටික ඇද ගන්න ළිඳ ළඟට ආවලු. ඒත් අසල්වැසියා එයාට වතුර බාල්දියක් වත් ඇද ගන්ඩ දුන්නේ නැහැ.
ගොවියා ඇහුවම ඇයි කියලා අසල්වැසියා “මම ඔයාට වික්කේ ළිඳ විතරයි. ළිඳේ තියෙන වතුර වික්කේ නෑ.. ඒ නිසා වතුර ගන්ඩ දෙන්ඩ බෑ” කියලා උත්තර දුන්නා.
බලාපොරොත්තු සුන් කරගත්තු ගොවියා තමන්ට වුණු අසාධාරණය කියන්න රජතුමා ළඟට ගියා. ගිහින් විස්තරය කිව්වා.
රජතුමාට උපදෙස් දෙන්න පඬිවරු නව දෙනෙක් හිටියලු. ඉතින් රජතුමා මේ ප්රශ්නය විසඳන්න බාර කළේ එයාගේ නුවණක්කාරම පඬිවරයට. එයාගේ නම බිර්බාල්.
දැන් ඉතින් බිර්බාල් නඩුව අහන්න පටන් ගත්තා.
”ඔබ මේ ගොවියට ඔබේ ළිඳ විකුණුවා නේද? එහෙනම් ඇයි ඔහුට ළිඳෙන් වතුර ගන්ඩ දෙන්නේ නැත්තේ….?” කියලා බිර්බාල් කපටි අසල්වැසියගෙන් ප්රශ්න කළා.
කපටි අසල්වැසියා මේ විදිහට උත්තර දුන්නා….,
“ඔවු බිර්බාල් පඬිතුමනි…, මම මේ ගොවියට මගේ ළිඳ විකුණලා සල්ලි ගත්තා තමයි. ඒත් ළිඳ ඇතුලේ තියෙන වතුර මම විකුණුවේ නැහැ. ඒ නිසා ළිඳේ තියෙන වතුර ගන්න එයාට කිසිම අයිතියක් නැහැ”
මේ යකාගේ කපටිකම බිර්බාල්ට තේරුණා.. එයා කල්පනා කරලා මෙහෙම කිව්වා.
“හරි ඔබ මේ ගොවියට ඔබේ ළිඳ විකුණුවනේ…. ඉතින් එයාට අයිති ළිඳ ඇතුළේ ඔබේ වතුර දාලා තියන්න ඔබට අයිතියක් නැහැ. ඒ නිසා ඒ ළිඳේ ඔබේ වතුර තියාගෙන ඉන්නවට එක්කෝ ඔබ ගොවියට යම් කුලියක් ගෙවන්ඩ ඕනේ… නැත්නම් හැකි ඉක්මනින් ඒ වතුර ටික ගොවියගේ ළිඳෙන් ඉවත් කරගන්න ඕනේ’
කපටි අසල්වැසියට තේරුණා එයාගේ වංචාව හරියන්නේ නැහැ කියලා. ඒ නිසා එයා ගොවියගෙන් සමාව අරගෙන ගෙදර ගියා. ගොවියා කිසිම ප්රශ්නයක් නැතිව ළිඳේ වතුරෙන් ගොවිතැන් කරගෙන ජීවත් වුණා.
(ඒ හින්දා අනුන්ට වළවල් කපන්න එපා.. වෙලාවක ඒවයේ අපිටම වැටෙන්න වෙනවා)
– අනිල් කරුණාරත්න –