රාත්‍රි කාලයට හූ හඬක් ඇහුනම අපි හිතන්නේ නරියෙක් කෑ ගහනවා කියලනේ. ඒත් ඒක එහෙම නොවෙන්න පැහැදිලි හේතු දෙකක් තියෙනවා. පළමුවෙනි කාරණය තමයි, අපේ රටේ හිවලුන් මිස ‘නරි’ ජීවත් නොවීම. ඉංග්‍රීසි භාෂාවෙන් අපි දන්න “fox” ට සම්බන්ධ කිසිම විශේෂයක් හෝ උප විශේෂයක් ලංකාවේ දකින්නට ලැබෙන්නේ නැහැ. රූපයෙන් බෙහෙවින් නරියාට සමාන නිසා හිවලුන් ට “නරියා” ලෙස ආමන්ත්‍රණය කෙරෙනවා වෙන්න පුළුවන්. (ඇත්තෙන්ම ‘නරියා’ කියන්නේ තෙළිඟු භාෂාවෙන් අපිට එන වචනයක්.)
දෙවෙනි කාරණය තමයි නරි “හූ” නොකීම.
ඉතින් මේ ලිපිය අපේ රටේ නැති, ඒත් අපි පුංචි කාලෙ ඉඳන් කතන්දර පොත් වල අහල තියෙන “නරියා” ගැනයි.
ඇත්තටම නරියා හූ කියන්නේ නැත්නම් කොහොමද කෑගහන්නෙ? නරි කොහොමද අනිත් සතුන් එක්ක සන්නිවේදනය කරන්නෙ?
Vegard සහ Bard හෙවත් Ylvis ගායකයින් ගයන “What does the fox say?” ගීතය අසා තිබෙනවා නම් ඔබ දන්නවා ඇති නරියන්ට නිශ්චිත ශබ්ද ආකාරයක් නැති බව. ඇත්තෙන්ම හූ හඬ නගන්නේ වෘකයින් මිස නරියන් නොවෙයි. ඒ වෙනුවට නරියන් වසරේ විවිධ කාලවලදී විවිධ ශබ්ද නගනවා. ඉපදී මසක පමණ කාලයක් යනතුරු නරි පැටවුන්ට ශබ්ද ඇහෙන්නේ වත් පෙනීම වත් ලැබෙන්නේ නැහැ. ඒත් පසු කාලීනව තමන්ගේ සහකරුවන් සොයා යද්දී, අනතුරු ඇඟවීමට, අතරමං වුන පැටවුන්ට අම්මව සොයාගන්න, එහෙමත් නැත්නම් තමන්ගේ රැළේ අනෙක් සතුන් රැස් කරවන්න අවශ්‍ය උනාම එකිනෙකට වෙනස් හඬවල් ගණනාවක් නිකුත් කරන්නට ඔවුන්ට හැකි වෙනවා. සමහරවිට රාත්‍රී කාලයේදී බකමූණන් කරෙන ශබ්දයට සමාන ශබ්දයකින් නරියන් ශබ්ද කරන බව සඳහන් වෙනවා. 2004 වසරේ ජනවාරි BBC Wild Life සඟරාවට අනුව නරියන්ට එකිනෙකට වෙනස් හඬවල් 20කට අධික සංඛ්‍යාවක් තිබෙනවා . Fox Forest වෙබ් අඩවියට ගියොත් මේ අරුම පුදුම හඬවල් වලින් කිහිපයකට සවන් දෙන්න පුළුවන්.
කොහොම නමුත් නරියන් සන්නිවේදනයට පාවිච්චි කරන එකම දේ කටහඬ නම් නෙමෙයි.
උනුන් එක්ක සන්නිවේදනය කරන්න නරියන් “වලිග භාෂා” බහුල ලෙස භාවිතා කරනවා. වලිගය වන වේගය, වලිගය පවත්වාගන්න හැඩය ඔවුන්ට අනන්‍ය භාෂාවක් විදිහට යොදා ගැනෙනවා.
සාමාන්‍යයෙන් නරින්ගේ කන ඇතුල්පැත්ත සුදු පැහැයකුත් පැහැයකුත් පිට පැත්ත කළු පැහැයකුත් ගන්නවා. විශේෂඥයින්ගේ අදහස නරියන් ඒවා සංඥා පද්ධතියක් ලෙස භාවිතා කරන බවයි. උදාහරණයක් විදිහට සටනකදී තමන් පරාජය භාරගන්නා බව ප්‍රතිවාදියාට දන්වන්නට අවශ්‍ය උනාම කනේ සුදු පැහැය පිටතට දිස්වෙන්න විදිහට කන් පිට පෙරලීම සිදු කරන බව ඔවුන් අනුමාන කරනවා.
නිශ්චිතවම තහවුරු කරගෙන නැති වුණත් අන්තර් සන්නිවේදනයට නරියන් මළ මූත්‍රා ආදියත් යොදා ගැනෙන බවට අදහසක් තියෙනවා. ඒ මුත්‍රාවල අඩංගු විවිධ සංයෝගයන් වලින් පිට කරන ගඳසුවඳ අනුව කාන්තා පිරිමි සතුන් වෙන්කර ගන්නට පවා හැකි බවයි කියන්නේ. මීට අමතරව නරින්ගේ මුහුණේ, පාදවල පතුල්වල සහ වලිගයේ තිබෙන ස්වේද ග්‍රන්ථි වලින් නිකුත් කරන ශ්‍රාවයනුත් ඒ විදිහට සන්නිවේදනය සඳහා භාවිතා කෙරෙනවා.
හූ නොකියන නරි කතා කරන විදිහයි ඒ. නරියන්ගේ සන්නිවේදනය ගැන ඔබ දන්න තවත් අපූරු කරුණු comment කර බෙදා හදා ගන්න කරන්න අමතක කරන්න එපා.
මූලාශ්‍ර :
http://www.thefoxwebsite.net
https://www.nationalgeographic.com
https://www.wildlifeonline.me.uk
https://www.krcu.org
https://www.foxesworlds.com