‘ලොකු පුතාගෙ පළවෙනියා දුවෙක්ද පුතෙක්ද?’
‘දුවෙක් දුවෙක්’
‘අම්මා වගේ ද තාත්තා වගේද’
‘අම්මගෙ වගේමයි මූණ, අම්මා වගේම හොඳ ගුණ යහපත් දැරිවියෙක් වෙයි කවදාහරි’
‘ලේසි නෑ, කෙල්ලෙක්නෙ, ඉස්සර වගේ සෙල්ලං කරලා බෑ දැන්, තාත්තට සුළුපටු වගකීමක් නෙවෙයි තියෙන්නේ’
මැදි රැයෙහි පාන්දර
පවා වෙනසක් නැතිව
පෙම් වදන් මුමුණමින්
ගැහැනු සිත් සැනසූව
ලෝකෙන්ම වහන් වී
ඉන්බොක්ස් තුළ ගුලිව
වචනයක් ගාණේම
උන්ව නිරුවත් කෙරුව
සිය ගණන් ඇමතුමින්
ලියන කෙටි පණිවුඩෙන්
පෙමින් මුසපත් වෙමින්
රමණයේ සුව වින්ද
සොඳුරුතම වචනයෙන්
සෙයාරූ විමසමින්
ගැහී ගැහී උන් එවන
සෙයාරූ රසවින්ද
තවත් ඇස් දහසකට
එසේයා විවර කොට
බඩුව යැයි නම තියා
උන් සැවොම මඟ හැරිය
සරණ යන්නට එහෙත්
නැවුම් කැකුළක් හෙව්ව
හැටි යළිත් සිහි උනේ
ඇගේ මුව දුටු විටය
තමන් වන් සිය ගණන්
රකුසු නෙත් සිත් වලට
විවර වන්නට නොදී
ඈව රැක ගැන්ම ඔහු
වගකීම බව සිහිව
ගතම සිහිතල වීය
කළඹමින් හදවතම
-හංසි මේද්යා