මේක වුනේ අපි 10 වසරෙ ඉන්නකොට. සාමාන්යයෙන් හොස්ටල් එකේ 10 වසර සහ 11 වසර අතර හැම අවුරුද්දෙකම දවසක් දාගෙන තියෙනවා මහා බුලට් යුද්ධයක්. මේකට සහභාගී වෙන්න පුලුවනුත් 10 11 දෙකට විතරයි. යුද්ධේ පටන් ගන්නෙ 10 වසර හොස්ටල් එකෙන් එළියේ 11 වසර උන් හොස්ටල් එක ඇතුලේ. 10 උන් රෑ ඕක ඉවර වෙන්න කලින් එළියේ ඉදලා ඇතුලට ගහලා ඕක අල්ලන්න ඕනි. හිතන තරම් කොහොමත්ම ලේසි නෑ. යුද්ධේ 75% ක විතර වාසියක් තියෙන්නේ ඇතුලේ ඉන්න උන්ට. අයියලා නිසා හැම පාරම ඇතුල හම්බෙන්නෙ 11 ට තමයි.
හවස පාඩම් කරන වෙලාව එදාට සම්පූර්ණයෙන්ම යන්නෙ රබර් බෑන්ඩ් ගැටගහලා විදින්න හදන ඒවයි කොල ගලවලා බුලට් හදන එකයි තමයි. සාමාන්යයෙන් රබර් බෑන්ඩ් 200ක් 300ක් විතර සල්ලි දාලා ගේනවා. හොස්ටල් එක පුරාම අතෑරලා දාලා තියෙන කොපි පොතේ ඉදලා අච්චු පොත් වෙනකන් හොයාගෙන ඉර ඉර හදනවා. පැය 2ක් විතර සෙට් එකම ඕක කරන්නෙ ඩෑන් බිල්සේරියන් වෙපන් හදනවා වගේ. සමහර විදින ඒවා රබර් බෑන්ඩ් 7ක් 8ක් එකට ගැටගහලා හදන්නේ. බුලට් හදනවා 2000 කට කිට්ටු වෙන්න වගේ. හවස තේ වෙලාව එද්දි ආයෙ සේරම හරි.
ඇතුලේ ඉන්න උන් ඇදන් වල එහෙම ගැටගහලා රබර් පටි 25ක් 30ක් එකතු කරලා හදනවා ඒවා නිකම් කාලතුවක්කු වගේ. ඒ අස්සේ වයර් නමලා බුලට් හදනවා. ඒවා වැදුනොත් ඉතින් සතියක් විතර ඉදිමිලා තියෙනවා. ඒවට කියන්නෙ බරඅවි ප්රහාර කියලා. වයර් වැඩිය හොයාගන්න බැරි හින්දා බරඅවි වැඩිය නෑ. කලාතුරකින් තමයි බරඅවි ප්රහාර එල්ල වෙන්නෙ. මේකෙ ට්රයල් එක වගේ යන්නෙ හවස 5 ඉදලා 6 වෙනකන් වගේ. රෑ පාඩම් කරන වෙලාව පන්නලා කාලා බීලා එහෙම 8 30 වගේ වෙද්දි තමා යුද්ධය ක්රියාත්මක වෙන්න පටන් ගන්නෙ.
මේක කොච්චර ආතල්ද කියනවා නම් සමහර උන් රබර් පටි 2ක් වගේ එකතු කරලා වළල්ලක් හදාගෙන ඒ වළල්ල ඉන වටේට බැදගෙන ඉන්නෙ. ඇගට තද වෙලා තියෙන රබර් පටිය වටේට උණ්ඩ. හරියට නිකම් කොටින්ට ගහන්න යද්දි T56 උණ්ඩ වැල පිටින් බෙල්ලෙ ඔතාගෙන යනවා වගේ.
සමහර උන් ඒක ඔතාගෙන ඉන්නෙ බෙල්ලෙ. අංගුලිමාල වගේ. ඒ අස්සෙ ක්රිකට් ගහන උන්ගෙ බඩු හොයාගන්න සමහර උන් ආම් ගාඩ් එකේ ඉදලා හෙල්මට් එක වෙනකන් හැම බඩකඩිත්තුවම දාගෙන තමයි යුද්ධෙට යන්නෙ. දැන් ඔහොම ෆුල් ආතල් එකේ පටන් ගත්ත යුද්ධෙට වෙනම බාහිර සංවිධානෙකින් අත දාන්න ගත්තා. හරියට නිකම් ලංකාවයි කොටියි යුද්ධ කරද්දි නෝර්වෙන් අත දාලා අරම කරහන් මෙහෙම කරහන් ඕක නවත්තපන් කිව්ව වගේ. වොඩා නෙමෙයි. ඊළගට තව සර් කෙනෙක් ඉන්නවා ඉස්කෝලෙන් දාලා MIC සර්. පොර ඉන්නෙ උඩ. කලාතුරකින් තමයි පල්ලෙහාට එන්නෙ. ඒ වගේම ලොකුම නඩු තමයි එයා ගාවට යන්නෙ. පොඩි නඩු වොඩාගෙ මට්ටමෙන් විසදගන්නවා.
ලොකු ඒවා කෙලින්ම එහෙට රපෝර්තු කරන්නෙ. ඔය අතරෙ ඉස්කෝලෙට දුර ඉදලා අවුරුද්දකට වගේ පුහුණු කාලෙකට එන විද්යා පීඨ සර්ලා ඉන්නවා. ඔහොම ඉදපු පළවෙනි සර් හෙන පණ්ඩිතයෙක්. වොඩාටයි MIC ටයි දෙන්නටම උඩින් ඉදියේ. වැඩි වයසක් නොවුණට මිනිහා කොල්ලො එක්ක ජීවිතේකට ඉදලා නැද්ද කියලා වෙලාවකට හිතෙනවා. උඩයි වෙනමයි ඉඩ නොතිබ්බ නිසා කොල්ලො ඉන්න ඇතුලෙම වෙනම කාමරයක් ඔහොම එන සර්ලට වෙන් කරලා තිබ්බා.
කලින් ඉදපු බුවා ඇතුලේ සැරිසරනවා. උදේට අදින්න ඕනි හින්දා හවසට හෝදන ජොක්කු වේලෙන්නෙ දාන්නෙ ඩබල් ඇදන් වල උඩ ඇදේ අර වැටෙන්න නැති වෙන්න ගහන කෑල්ලෙ. එහෙම නැත්තන් ඇද විට්ටමේ. මොකද ෆෑන් එක වැදුනම ඉක්මනට වේලෙනවා. කොල්ලො දන්නවා නේ මොන ඇදුම තෙතට තිබ්බත් ජොකා තෙතයි නම් ඉතින්! අර යකාට ඕවා පෙන්න බෑ. මේ මොකද මේ ජංගි ඇදන් වල. ඇයි මේ ජංගි මෙහෙම කොයි වෙලෙත් කටේ ජංගිම තමයි. අන්තිමට ඌට හොස්ටල් එකෙන් කාඩ් එකක් වැදුනා ජංගියා කියලා.
පොර ඒ අවුරුද්දේ ඉදලා ගියා. ඊට පස්සෙ තව දෙන්නෙක් ආවා. අර විද්යා පීඨ උන්ට ගහන කාඩ් එක එහෙම්මම උන් දෙන්නටත් වැදුනා. එක්කෙනෙක් සුදුයි අනිත් එක්කෙනා කලුයි. සුදු ජංගියයි කලු ජංගියයි කියලා කිව්වෙ.
දැන් ආයෙම කතාව. ඔන්න බුලට් යුද්දේ දැන් මාර යුද්ධේ වගේ නැගලම යනවා. යුධ ආධාර මොනවත් නැතුව අපි දැන් වලිය. දෙපැත්තෙ උන් ඊශ්රායලයයි පලස්තීනෙයි වගේ කෙලගනිද්දි අර සර්ලා ඉදපු කාමරේ හරියෙන් ඇතුළට එන්න පුලුවන් ලේසියෙන්ම. එළියේ ඉන්න උන් එතනින් ඇතුළට එන්න හදන හින්දා ඒ හරිය නිකම් ගාසාතීරය වගේ. හෙනම භීෂණයක් තිබ්බෙ.
10 30 ට විතර මොන කෙහෙම්මලක්ද මේ වෙන්නෙ කියලා බලන්න දෙන්න එළියට ආවා. එද්දි කොල්ලො දෙකේ දාලා තියාගන්නවා. උන් දෙන්නව දැකලා දිව්වම උන් ගිහින් MIC ට රපෝර්තු කලා. අර යකා පහළට ඇවිල්ලා හෙනම සද්දයක් දැම්මා. දැන් නිදාගනින් කියලා. යුද්ධේ ප්රතිඵයක් නැතුවම ඉවර වුනා.
දැන් නිකම් කොච්චර මලක් තිබ්බත් ඇමරිකාවයි සෝවියට් දේශෙයි දෙවන ලෝක යුද්ධෙදි එකට ඉදියා වගේ යුද්ධ කරපු පාර්ශව දෙක දැන් එකට එකතු වුනා. දැන් යුද්ධේ තියෙන්නෙ විද්යා පීඨ සර්ලා එක්ක. කොල්ලො එතනින් යන ගමන්.ඒ…… උඹලා ගානට වැඩියි. ඇයි ඇයි සද්දෙද? සීන් තියාගන්න එපා
සමහරු මේ මමත් ඇතුලුව නම කියලම කියනවා අඩෝ සීන් තියාගන්න එපා කියලා. ඔය වෙලාවෙ අන්තෙටම තද වෙලා දෙන්නම එළියට ආවා. මායි තව කොල්ලෙකුයි දන්නෙ නෑ වගේ දුවලා ගිහින් ටොයිලට් පැත්තෙන් එහෙමම අත පය හෝදගෙන ආවා. මාව දැකලා කලු එක්කෙනා කතා කලා. මෙහෙ එන්න කියලා. මාත් ඉතින් වැඩ්ඩා වගේ ගියා. ඇහුවොත් මූණ හෝදපුවම පෙන්නලා කියනවා දන්නෑ සර් දැන් ටොයිලට් එකේ ඉදලා ආවෙ කියලා. මොන වචනයක් කතා කරන්න උනේ නෑ මට ගැහුවේ එස්ලෝන් බටේකින්. අනිත් එකා කලබලේට දුවන්න ගිහින් ඌව බිමත් වැටුනා. මාත් දෙකේ දාලා දිව්වා. පස්සෙ දැනගත්තේ අහුවෙන අහුවෙන එකාට අරුන් දෙන්නා නෙළලා ආයෙම කාමරේට ගියා.
දැන් තව තරහයි. තරහ×තරහ දැන් තරහේ වර්ගය වෙලා කට්ටියම ප්ලෑන් කලා කාමරේ දොරට බුලට් වලින් තියමු කියලා. ඔය කාමරේ දොර ලී සහ වීදුරු පටි වලින් හදලා තිබ්බේ. වීදුරු පටි ඇත්තටම කැඩිලා තිබ්බා සමහර ඒවා. එතකොට ඒවට කඩදාසි ගහලා තමයි වහලා තිබ්බෙ. ඔතනට කොල්ලො 5ක් විතර ගිහින් දැන් එකටම තියන්න ලෑස්ති වෙනවා.
වැද්දා කියලා එකෙක් ඉදියා ඌ දණ ගාගෙන බඩ ගාගෙන නියමම ආමි සීන් එකේ වයර් බුලට් එකක් හෙවත් බර අවියක් තියාගෙන ලුතිනන් කෙනෙක් වගේ ඉන්නවා. අනිත් උන්ගෙ එච්චර ශෝ නෑ තියලා දුවන්න ලෑස්ති වෙලා ඉන්නකොට අර ලෝර්ඩ් ඔෆ් ද රින්ග් ෆිල්ම් එකේ දෙවනි එකේ යුද්ධෙදි එකෙක්ට කලින් ඊතලේ අතඇරෙන්නෙ අන්න ඒ වගේ එකෙක්ට කලින් රබර් බෑන්ඩ් එක ලිස්සුවා. කරුමෙටම ඒක අර කොලයක් කඩාගෙන ගිහින් ඇතුලේ ඉදපු දෙන්නගෙන් එකෙක්ගෙ ඔලුවේ. ඒක දැක්ක හිටගෙන ඉදපු උන් ටික දිව්වා. අරූ ශෝ දාගෙන ඉදපු හින්දා ඌට ඒක මීටර් වෙලා නෑ. දොර අරිද්දි අරූ බඩ ගාගෙන දණ ගාගෙන ඉලක්කෙ අල්ලනවා. බඩු එක්ක හොරු මාට්ටු!
දැන් මූව MIC ගාවට අරන් යනවා. වැද්දා නේ ඌට අපි කිව්වෙ. නෑ සර් මං දන්නෑ සර් කියලා මූ ඒත් කියන්නෙ කමක් නෑ කමක් නෑ යන්කෝ කියලා අරන් ගියා.පැය බාගෙකට පස්සෙ 10 වසරේ ඔක්කොටොම එන්න කියලා පණිවිඩයක් ආවා MIC ගෙන්. ගියා. යද්දි මේසෙ උඩ වෙනම වර්ග කරලා තියෙනවා බර අවි, සැහැල්ලු අවි, දිගුදුර අවි ඔක්කොම. ගැහුවා කියන්නෙ පෝළිමට තියලා ගැහුවේ. ඒ වුනාට එකෙක් වත් 11 වසර සම්බන්ධයි කියලා කටක් ඇරලා කිව්වෙ නෑ. අන්තිමට නඩුව ගියේ 10 වසරේ උන් බෙදිලා තියාගත්තා කියලා. කොහොමහරි වේවැල් කැඩිලා ඉවර වුනාම මීටර් කෝදු වලින් ගැහුවේ. ඒවත් කැඩෙනකම් කෙලියා. ගාන මතක නෑ වේවැල් 5කුයි මීටර් කෝදු 5කුයි වගේ මුළුමනින්ම කැඩෙනකන් ගැහුවා.
ඒ අස්සෙ හොදම සීන් එක තමයි පොරගෙ කාමරේ ටීවී එකේ නෝනාවරුනි මහත්වරුනි යනවා. ඒකෙ අර ගොත ගහන එකා මිස්ට පේ පේ පේ පේ පේමචන්ද්ර ගානවා. ගුටි කකා අපේ උන් ඒකට හිනා වෙනවා. ඇයි තොපිලා හිනා වෙන්නෙ කියලා ආයෙම ගහනවා. පැයකට වඩා සංදර්ශනය තිබ්බා. අපි පල්ලෙහාට ඇවිල්ලා එදා නිදා ගත්තෙ පප්පා ගමේ උන් එක්ක යුද්ධෙට ගිය රෝමන් කාරයො වගේ.
-ශාමින්ද ජයරත්න-