මේ රස කතාව 2017 පවත්වපු අපේ විද්‍යා දිනේ ගැනයි. මහනුවර තියෙන ප්‍රධාන බාලිකා පාසලක මම ඉගෙන ගත්තේ කියමුකෝ. එහෙම කිව්වේ අපේ ඉස්කෝලේ විද්‍යා දිනේ තරම පැහැදිලි කරන්න ඕනෙ නිසයි.. දන්නෝ දනිති. ඕක එනවැයි කියන්නේ ඉතින් කඨින පිංකමයි, අවමංගල්ල 2යි, මඟුල් ගෙවල් 4ක් එකවර සෙට් උනා වගේ තමා.
කියන්න සන්තෝසයි සහෝදර සහෝදරියනි, ඔය සමහර ඉස්කෝලවල වගේ ගොට්ට ඇල්ලූ පමණින් අපේ ඉස්කෝලේ සංගම් වල සභාපතිකම් දෙන්නෙ නෑ. පෝලිමේ ඇවිල්ල ඡන්දෙ දාලා තමයි නිලධාරි මඩුල්ල පත්කර ගන්නේ. කොටින්ම කිව්වොත් මේ ආණ්ඩුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න වත් ඒ තරම් මහන්සි වෙන්න නැතුව ඇති. පන්තියෙන් තෝරලා, ශ්‍රේණියෙන් ආයෙ තෝරලා, ඒ තෝරපු ඈයො අතරින් ආයෙත් ඡන්දයක් තියලා තමයි ලොකු ලොකු පුටුවලට එයාලා මෙයාල පත්වෙන්නේ.
ඉතිං ඇත්ත වශයෙන්ම මම යනු ඉස්කෝලේ සංගමයක් සමිතියක් ලේසියෙන් අත් ඇරපු කෙනෙක් නෙමෙයි අයියේ අක්කේ. ගුරු සුබසාධක සමිතිය හැරුණුකොට අනිත් හෑම සංගමයකම ලඟින් හෝ ගිහින් තියෙනවා. (එහෙම ගිහින් වැටුණ බාල්දි ගැන වෙනම ලිපියකින් කියන්න පුළුවන්)
ඉතින් මිත්‍රවරුණි එහෙව් මම විද්‍යා සංගමේ කොමිටියට නොගිහින් කොහොමද. (මම නොගියත් යාළුවො ටික කොයි විදිහකින් හරි මාව බිලි දෙන එක වෙනම කතාවක්) කොහොමින් කොහොමහරි ඒ මහා ඡන්දෙ මැතිවරණ ප්‍රතිඵලේ කැන්ටින් එක ගාව ස්පීකර් එකෙන් ඇහෙද්දි , උප සභාපති පුටුව මගේ බෙල්ලේ එල්ලෙන තැනට අපේ දායක සභාව කටයුතු කරලා තිබුණා.
ඒ විද්‍යා දිනේ මම මුලින් ගිලී ගිය එක අවිද්‍යාවක් තිබුණ මිත්‍රවරුණි ඒ, “උප සභාපති යනු පහසුම පට්ටමයි. වැඩ නැත, වගකීම් නැත” කියන එකයි. වැඩි කල් නොගිහින් ම ඒ මෝහාන්ධකාරයෙන් ගැලවී, මෝක්ෂයට පත බෑවී පශ්චාත් බාගය ඇනී ගියේ විද්‍යා දිනේ නාට්ටිය ගෙඩි පිටින් මගේ ඔළු ගෙඩිය උඩට වැටුණු වෙලාවෙදියි. දැන් මේ ඇත්තෝ කල්පනා කරගන්නවා ඇති, ඉතින් ‘නිකං එක නාට්ටියක්’ නෙව, ඕක මහ වැඩක් ද කියලා. මම මුලින්ම කිව්වනේ අපේ ඉස්කෝලේ විද්‍යා දිනේ මංගල්ලෙකට දෙවැනි වෙන්නෑ කියලා. කිව්වත් වගේ පින්වතුනි, විද්‍යා දිනෙන් 3 එකක් Quiz competition එක ප්‍රධාන අනිත් විවිධාංග, අනෙක සැරසිලි සංග්‍රහ කටයුතු වෙද්දී ඉතිරි කොටස ගෙඩි පිටින් නාට්ටියයැ කිව්වාට පව් නැත.
එහෙම කියන්නේ මොකදැ කියනවානන් සික්ක සික්කාවෙනි, ඔය සමහර ඉස්කෝල වල වගේ, ප්‍රින්සිපල් පුටුවෙන් නැගිට්ටවෙන, අංශ ප්‍රධානි තැන උත්සවේ අවසානයේ ජාතිය අමතන තැනට පත් කරන නාට්ටිය කෙරුවාවල්, අපේ ඉස්කෝලේ කරන්නට ඉඩ ලැබෙන්නේ නැ. පෙර විපරම උපරිමයි. නාට්ටියම විතරක් නෙමෙයි, හැම එකක්ම එහෙමයි.
Double meaning, පරුෂා වාචා, පොලිටිකල්, නින්දා අපහාස එකී මෙකී නොකී ආදියෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් වී පිටපත ලිව්වේ නැත්තන් වැඩේ දෙක තුන වෙනවා. සිල් බින්ද පිටපතක් නම්, බ්‍රහ්මයා ලිව්වත් මණ්ඩලෙන් රිජෙක්ට් වෙන එක නිව්ටන්ගේ නියමයකටත් වඩා සහතිකයි.
එහෙමෙයි කියලා, බලන් ඉන්න අය නිද්‍රාවට පත් වෙන ජාතියේ, අපේම අක්කලා කළින් අවුරුදු වල කරපු නාට්ටියකට දෙවැනි වෙන ජාතියේ නාට්ටියක් කරන්නත් අපේ රචක සමූහයා වත්, නළු නිළියෝ ටිකවත් කැමති උනේ නෑ.
ලංකාවෙ මිනිස්සු පිරිසක් අඟහරුවට ගිය පිටපත, අඟහරු වල ඉඳල රොබෝ හෝ පිටසක්වලයො ටිකක් පෘථිවියට ආව පිටපත, ඔය වගේ පිටපත් කීපයකට පස්සේ , අවසානයේ සම්මත උනේ ඒ කාලෙ ඉරිදට TV එකේ ගිය “විවාහ” ප්‍රෝග්‍රෑම් එක වගේ, මාරි කියුරි සහ පියරි කියුරිගේ මංගල්‍ලෙ සජීව පිට සිද්ධ කරන පිටපතයි. කවුරු කවුරුත් සම්මාදම් වෙලාබඩ පැලෙන්න හිනා යන්ඩෙයි කියල දුන්න අදහස් ටික එක පින්වතෙක්, එක රැයින් අපූරුවට ගලපලා ඊළඟ දවසේ පිටපත ලියාගෙනත් ආවා.
ඉතිං ඒ විදිහට සියළු සිල්පද සමාදන් වෙලා ලියාගත්ත පිටපත, ශනිදා ලොතැරැයි ප්‍රතිඵලේ වගේ පිළිවෙලින් අංශ ප්‍රධානතුමියගේ හිතට අල්ලලා, එක එක විෂයට අදාල කොටස් වල නිරවද්දියතාව ඒ ඒ ගුරුවරු අතින් තහවුරු වෙලා, නාට්‍ය රංග කලා ගුරුවරුන්ගේ අධීක්ෂණයටත් ලක් වෙලා පුංචි අපිව හොයාගෙන එද්දී විද්‍යා දිනේට තව ඉතුරු උණේ දවස් 4-5යි මිත්‍රවරුණි. කොහොමින් කොහොම හරි දෙබස් ටික යන්තන් පුරුදු වෙන්න ගත්තැයි කියමුකෝ. සැබෑ භීසනේ පටන් ගන්නෙ ඔයින් පස්සෙයි.
දැන් ඉතින් විද්‍යා මංගල්ලෙට දවසක් දෙකක් තියලා ප්‍රින්සිපල් මැඩම් එනවා තත්ව පරීක්ෂණයක් කරන්න. පොතේ හැටියට නම් එදාට අඳින්න ඉන්න ඇඳුම් කැඩුම් ටිකත් පෙන්නලා මෙදා සහතික කර ගන්න ඕනැ. කොහොම උණත්, පිටපත ලැබුනේ ඊයේ, චරිතෙ දැන ගත්තෙ අද උදේ, මේ අනම් මනම් කතා අදාළ ම නෑ. දැන් ඉතින් වැඩේ පටන් ගත්තා. ඉතින් අපේ අහිංසක නළු නිලියෝ ටික ප්‍රින්සිපල් ඇතුළු විද්වත් කමිටුව ඉදිරියේ හරි හරියට රඟපානවා. රඟපානවා කිව්වට මොකද, දවසින් ඉදවපු අමු කෙහෙල් ඇවරියක් වගේ තමයි. බහුතරයක ගේ චරිතෙ කොලේ, දෙබස් අල්ලෙ. කියන්න සන්තෝසයි, කොමිටිය ඉනේ අත තියාගෙන හිනාවෙලා, වැරදි 3-4 කට නොඅඩු ප්‍රමාණයක් පෙන්නා දීලා, සන්තෝස වෙලා, කෑලි හැලි හැලි තිබ්බ අපේ පිටපතේ පොටෝකොපියකුත් වැඩි හොදේටයි කියල අරන් යන තැනට කට්ටිය වැඩේ කලා. (පිටපතේ නොලියපු දෙයක් එදාට කලොත් නළු නිලියන්ට කරන්නං කිව්ව දේ මට දැං මතක නෑ)
ඉතිරි කොටස කියවන්න :
මාරි කියුරිගේ මල් පොකුර 2 කොටස (ඉස්කෝලෙ කාලෙ රස කතා)