ස්නාන කළාව (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපේ පාසලේ යම් උප සංස්කෘතියක් වාගේ එකක් පවතී.අපේ ජීවිතයේ ලොකු කොටසක් වූයේ අයියලා ය.ගුරුවරුන්ට පසු (ඇතැම් විට ගුරුවරුන්ටත් වඩා) අපේ ජීවිත වලට ගුරුහරුකම් ලබා දුන්නේ අයියලා ය.මේ ආදර්ශය හා ඔවුන්ගේ නායකත්වය ඉස්කෝලේ සමිති සමාගම්,ක්‍රීඩා වැනි දේ වලදී නොඅඩුවම ලැබුණි.ඒවා බලා සිටි,ඇසුරු කළ අපි එයින් පොත් සීයක් කියවලා වත් නොගත හැකි තරම් අවබෝධයක් ලැබුවෙමු.අපේ ජ්‍යෙෂ්ඨ අයියලා අපිට පෙන්වූ පාරේ අපේ මල්ලිලා ද ඇදගෙන ගියෙමු.දැන් ඒ මල්ලිලා ද,ඔවුන්ගේ මල්ලිලා ට පාර පෙන්නමින් සිටී.ඒ පරම්පරා ආගමනය බලා සිටීම හරිම සුන්දර ය.
ඉතිං මේ කියන්නට යන්නේ අයියා කෙනෙක් ද සම්බන්ධ රස කතාවකි.

අපේ ඉස්කෝලේ සංගම් එලෝකෝටියක් පමණ තිබේ.ඇත්තවසයෙම්ම මෙතෙකැයි කියා කිව නොහැකි තරම් ය.ඔය සෑම සංගමයක් ම පාහේ project කරයි.event කරයි.අපේ ඉස්කෝලේ ශාලාව ලබන අවුරුද්දේ දිනයක් සඳහා book කිරීමට නම් මේ අවුරුද්දේ ගොස් දින ලබාගත යුතුය.ඒ තරමට ඒකේ සෑම දිනකම event ය. event එකක් යනු (අමු සිංහලෙන් කියනවානං) ජීවිතේ පට්ටම අත්දැකීමකි.කාලයක් තිස්සේ නැහීගෙන කට්ට කා සංවිධානය කරන event එකට ඉතිං දිනය උදා වූ පසු,වචනයෙන් විස්තර කළ නොහැකි ආධ්‍යාත්මික සුවය ෆීලින්ස් එකක් දැනේ.
Not Registered Yet Website view

ඉතිං අපේ සාහිත්‍ය සංගමය වාර්ශිකව කලා උළෙලක් සංවිධාන කරයි.මේක සෙල්ලං පරිමාණයේ එකක් නොවේ.ලංකාවේම සිසුන්ගේ නිර්මාණ දායක කරගෙන,එදාට ඔවුන්ට ද එන්නටැයි කියා බෙර ගසා කොඩි දමා ජැන්ඩි පහට කරන්නකි.ඇඩ් එකක් ගන්ඩ ගියත් සාහිත්‍ය විකුනන්නට බැරි ය.සාහිත්‍ය කන්ඩදැයි අසයි.නමුත් කෙසේ හෝ රෝල ගසන්නෙමු.කොච්චර රෝලක් ගැසුවාද කියනවානං මරදානේ සමහර මුද්‍රණාල වල,කෑම කඩ වල , අදටත් මාගේ නාමය රන් අකුරෙන් ණය පොතේ ලියවී ඇත.මාස ගානක් තිස්සේ ලෑස්ති වුව ද,වැඩ බෙදා ගත්ත ද,ඒක නිකං ආණ්ඩුව ඇමතිවරුන්ට විද්‍යාත්මක ව අමාත්‍යංස බෙදා දුන්නා වැනි වැඩකි.උසස් අධ්‍යාපන හා මහා මාර්ග එකට ගැලපිය හැකිවාක් මෙන්,කෑම බාරදුන් එකාටම අන්තිමට සුවිනියර් එකටත් කර ගහන්නට වේ.ඔය මොන දහිරවාට්ටුව දැම්මත් ගල් කෑලි ටිකක් පූට්ටු කර රෙද්දක් දමා,අඩුගානේ ප්‍රධාන අමුත්තා පත්තු කර ඉවරවෙන තෙක් වත් ආයුකාලය පවතින ලෙස පොල්තෙල් පහට අටෝ ගන්නේ එදින උදේට ය.මෙය නං අනිවාර්‍ය සාර්වත්‍ර නියතයකි.ඉතිං කෙසේ හෝ සිද්දිය ඔහොමය.

ඉතිං සූර්‍ය දිව්‍ය රාජයා නැගෙනහිරින් උදාවූ එක්තරා අවුරුද්දක ඔක්තොබර් මාසයේ දවසක් පහන් විය.අපිත් පෙරදා රැයේ අයියලා සමග ‘නයිට’ ගැසුවෙමු.ඒ කියන්නේ මේක අයියලාගේ අවුරුද්දක කල උළෙලකි.රෑ වෙනම ආතල් එකකි.නයිට ගැසීම ගැන වෙනම ආටිකල් එකක් ලිවිය යුතුය.කෙසේ හෝ සුපුරුදු පරිදි දැන් උත්සව දින උදේ වන විට හැමෝටම පාං කියාගන්ඩ බැරි තරං හෙම්බත් ය.එක්කෝ පුටු උඩ නිදි ය.නැත්තං බිම නිදි ය.රිජිෆෝම් කපපු එවුන්ගේ කටේ රිජිෆෝම් ය.තෑගි ඔතපු එවුන්ගේ සරුවාංගෙම සෙලෝටේප් ය.අපි සරණාගත ලයින් එකේ වැලේ වැල් නැතුව පසු වුවද,උත්සව දිනය උත්සව වන්නේ අපිට පමණකි.උදේ හය හමාර පමණ වන විට සුදෝ සුදට යුනිෆෝම් ගැසූ කොල්ලෝ එකා දෙන්නා සාමාන්‍ය ලෙස ඉස්කෝලේ පැමිණේ.එතකොට ඉතිං ශීර්ශ බ්‍රමණයෙන් යුක්තව වුව ද හුන් තැන් වලින් නැගී සිටීමට සිදුවේ.

බීසනය ඇරඹෙන්නේ දැන් නොවේ.පැය කිහිපයක ඇවෑමෙන් main gate එකේ සිට පණිවිඩ කරුවෙක් පහත මාදිලියේ පණිවිඩ එකක් හෝ කීපයක් ගෙන ඒමෙන් පසුව ය.

“ඕයි,අන්න අහවල් බාලිකාවෙ කෙල්ලො ඇවිල්ලා ගේට් එක ගාව”
“අහවල් ඉස්කෝලෙ එවුන් මැඩම්ලා දෙන්නෙක් එක්ක ඇවිත්..”
“අන්න අනුරාධපුරේ ඉදං ලමෙක් ඇවිත්”

හිතවතුනි,දැන් ඒ පැත්තටත් මේ පැත්තටත් වචන හුවමාරුව ආරම්භ වේ.

“ඕයි,අරුංව වාඩි කරපිය..” “කන්ඩ දීපිය” “ගේට්ටුව ගාවට පොඩි එකෙක් යවපිය”

වැනි වාග්මාලාවකින් ඇරඹෙන සංවාදය “හු%&# කෝ හු%&# මගෙ %&&$ ගත්ත හු&$## ගෙනත් දීපිය තොගෙ $&$ නැතුව අරං වර” වැනි ප්‍රකාශයන් දක්වා මධුර මනෝහර ලෙස විකාශය වේ.

ඉතාම වැදගත් ස්වර්ණමය වදන් පෙල කිසිවෙක් ගේ මුවින් නික්මෙන්නේ දැන් ය.

“ඕයි”
“අපි ලෑස්ති වෙන්නෙ නැද්ද ? ”

තමන් සිටින්නේ ඇතැම් විට දින දෙක තුනකට පෙ‍ර ඇඟලා ගත් ට්‍රැක් බොටමෙන්, ටිෂට් එකෙන් හා බාටා දෙකෙන් පමණක් බව සිහිපත් වන විට පිට ඉස්කෝල වල එවුන් කොමිටියේ අඟහරු වාමනයන් ඉදිරියෙන් දෙතුන් වතාවක් සක්මන් කර අවසාන ය.

මීළඟට ඇත්තේ මහා ජලස්නානයයි.
කොහේ හෝ පයිප්පයක් ඇති තැනක් locate කරගන්නා කොමිටි කොල්ලෝ වලිගෙ ගිනිගත් හනුමන්තා මෙන් රෙදි ටික ඔතාගෙන නාන්ඩ දුවති.බැරිම අවස්තාවක නම්,හොස්ටල් එකේ බාතෲම් එකකට පැන හෝ නාගන්නට සිදුවේ.මෙහිදී ඉතිං පොඩි කොල්ලන් වන අපට ආවතේව කරුවන් වීමට සිදුවේ.අයියලාගේ blazer,සපත්තු කුට්ටම්,කාගෙන් හරි උස්සාගත් පර්ෆියුම් හා ඇඳුම් ආයිත්තම් ඇතුලු මෙකී නොකී කලමනා උස්සාගෙන අපිත් ඔවුන් පසුපස යන්නෙමු.(අපරාදෙ කියන්නට බැරිය.අපේ මල්ලිලාත් අපිට මෙලෙසම සහයෝගය දක්වන ලදී.) කලින් සිටියාක් මෙන් නොවේ,මෙයින් පසු කොටිම්ම පෙයාර් ඇන් ලව්ලි ඇඩ් වලටත් වඩා කැටයං ය.

ඉතිං ඔය ජලස්නානයට අපේ අයියා කෙනෙක් මල්ලි ‘වර යන්ඩ ‘ කියමින් මාත් ඇදගෙන ෂවර් එක්ක් කරා දිව්වා මට මතක ය.ඉන්පසු ප්‍රශ්නාවලියකට මුහුණ දීමට මට සිදුවිය.

“මල්ලි”
“ඔව් අයියෙ”

“තමුසෙ දන්නවනෙ..දැන් මට ඇඳුම් කීයක් තියද?”
“එකයි අයියෙ”

“ඕයි,මං දැන් දවස් දෙකක් තිස්සෙ ඇඳං ඉන්නෙ එකම ඇඳුම.වෙන එකක් නෑ ඕයි.මට තියෙන්නෙ එක ජොකායි.”
“එතකොට දැන් මට ජොක්කු කීයක් තියද?”
‘එකයි අයියෙ.”

එතකොට මට දැන් නාන්ඩ එකක් ඇන්දොත් යුනිෆොම් එකට අඳින්ඩ එකක් නෑ නේද?
“නෑ අයියෙ”

“එහෙනං උඹ අහක බලාගනිං.මේ පැත්ත බලල අහුවෙන්ඩ එපා.ළග පාතින් මොකෙක් හරි ගියොත් එලෝපං.මං හෙලුවෙන් නාන්නෙ.මං නාල ඉවර උනාම උඹ නාගනිං”

කොමාන්ඩෝ මිසන් එකක යෙදුනු මම,ෂවර් එක දෙසට පැමිණි පොඩි උන් දෙතුන් දෙනෙක් හරවා යවා අයියාගේ රෙද්ද බේරාගැනීමට සමත් වුනෙමි.

වැරදිලාවත්,මං කියන්නේ අඩුගානේ පාර වැරදිලා වත්,මං මුලාවී පාර අසාගෙන වත් ආරාධිත පාසලක බාලිකාවියක් ඒ දිසාවට පැමිණියේ නම්,

Literally,වචනයේ පරිසමාප්ත අර්තයෙම්ම අපේ රෙදි නැත.

Not Registered Yet Website view


ප.ලි:

සංස්කෘතික සදාචාරය සලකා මේ ලිපියට මුලින් යොදා තිබූ “එකම ජොකා” නම වෙනස් කරන්නට තීරණය කළෙමු 😂

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!