ලොව එකම, දෘෂ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනියගේ කඳුළු කතාව

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලෝක ප්‍රකට බී.බී.සී. නාලිකාව 2019 වසර සඳහා තෝරා ගන්නා ලද, ලෝකයට වඩාත්‌ ම බලපෑම් කළ හැකි කාන්තාවන්‌ 100 දෙනා අතරට එක්වන්නට ශ්‍රී ලාංකික  මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩි සමත් වුණා. ඇය එතරම් විශේෂ ඇයි? ඇගේ අරිම පුදුම ජීවිත කතාව ගැන ප්‍රවීණ ලේඛිකා අනිශා ජයකොඩි තැබූ සටහනයි මේ..

ඒ 2000 වර්ෂයේ එක දවසක්,අවුරුදු  20 ක  විතර සුරූපී තරුණියක් කාසල් වීදිය හරහා  සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියා ,
ඇසිල්ලකින් පළාතම දෙදරමින් , ඇහුණ අධික ශබ්ධය නිසා ඉබේටම ඇගේ ඇස් පියවුණා .
ඒ එක්කම හෝන් හඬ, නලා හඬ, වගේම වෙඩි හඬවලුත් ඇහුණා ,
ඊට එහා මුකුත් මතක නැහැ ,
ඒ පිපිරුවේ ත්‍රස්තවාදී ක්ලේමෝ බෝම්බයක් බවත් , බොහෝ පිරිසක් මිය ගිය බවත් දැනගන්නකොට ඇය සිටියෙ ඇඳක් උඩ,  රෝහලේ ..
වාසනාවට හෝ අවාසනාවට ඒ පපුව නැවතුනේ නැහැ ,බෝම්බෙට අහුවුනත්  ඇයට  ජීවත් වීමේ වාසනාව ඉතුරු වෙලා තිබුණා.
හැබැයි ,කාසල් වීදියේදී තදකරලා පියාගත්ත ඒ ඇස් දෙක සදහටම  පියවෙලා ඉන්න තීරණය කරලා තිබ්බා…
ඔව් ඇය අන්ධ වෙලා තිබ්බා ..
ඒත් එක්කම ගඳ , සුවඳ දැනෙන එකත් අහවර වෙලා තිබ්බා ,
ධනවත් පවුලක එකම ගැහැණු ළමයා වෙලා ඉපදිලා , භාව්තික සැප සම්පත් උපරිමයෙන් විඳිමින් ඉඳලා, තරුණ අවධියට අඩිය තියනකොටම බෝම්බෙකට අහුවෙලා ඇස් දෙක පේන්නේ නැතුව ගියාට පස්සෙ තව දුරටත් ජීවත් වෙන්න තරම් හයියක් ඉතුරු වෙයිද කියල හිතෙනව නේද  ?
උපතින්ම ඇස් පෙනීම නැති කෙනෙක් නම්  , ඉර එළිය  කියන්නෙ මොකක්ද කියල දැකලා නැහැ , ගස් , මල් , සමනලයෝ දැකලා නැහැ , පාට දැකලා නැහැ , මිනිස්සුන්ට ලෝකේ පේනවා පේනවා කිව්වට පේනවා කියන්නෙ මොකක්ද කියල දන්නේ නැහැ , එහෙම කෙනෙකුට තමන්ට කැමති විදිහට ලෝකය හිතින් මවාගෙන ඒකට හුරුවෙන එක අපි හිතන තරමට අමාරු නැතුව ඇති , මොකද එයා උපතින්ම පේනවා කියන්නෙ මොකක්ද කියල  දන්නේ නැති නිසා ,
ඒත් ,අවුරුදු 20ක් තිස්සෙ  මේ හැමදේම දැකපු , විඳපු , කෙනෙකුට එක පාරම  පෙනෙන එක නතර උනොත් මොනව හිතෙයිද ? කොහොම දැනෙයිද ?
නිකමට විනාඩි 10ලක් ඇස් පියාගෙන ඒක විඳලා  බලන්න , ඒ දැනෙන දේ හිතාගන්නත් අමාරුයි නේද ?
ඔබට දැනුණ ඒ හැඟීමම  ඇයටත් ඒ මොහොතේ දැනෙන්න ඇති , මේ සිද්ධියෙන් පස්සෙ ,
ඇය ඉදිරියේ  ඔප්ෂන් දෙකක් තිබ්බා එක්කො ජීවිතෙන් පලා යනවා ,
එහෙම නැත්තම් ජීවිතේට මුහුණ දෙනවා ,
ඇය එකක් තෝරාගත්තා ..
” කමක් නැහැ කොහොමහරි මම ජීවිතේට මුහුණ දෙනවා “
ඇය තමන්ටම පොරොන්දු වෙනවා .
නමින් ඇය,
“ආශ්චර්යා පීරිස් ජයකොඩි ”
නම විතරක් නෙමෙයි  ඇය කොහොමටත් ආශ්චර්යක් ම තමයි ..
කෝටි හත්සියයකට වඩා වැඩි ජනග්‍රහණයකින් 2011 වසරේ ලෝකයට බලපෑම් කළහැකි කාන්තාවන් සිය දෙනා අතරට ඇස් පෙනෙන 99 දෙනෙක් සමග  ඇස් නොපෙනන  සොඳුරු අශ්චර්යාවත් තේරෙනවා.
**********
මගෙ පියා ධනවත් කෙනෙක්  , මම සැප සම්පත් පිරිච්ච ජීවිතයක් තමයි ගත කලේ ,  බෝම්බෙට අහුවෙලා  ඇස් දෙක නැති වෙනකොට  මම පෙම්වතියක් ,
මැරුණත් අතාරින්නෙ නැහැ කියලා ආදරේ කලාට මොකද ඇස් පෙනීම නැති උනා විතරයි , ඒ ප්‍රේමය ක්ෂණිකව අතුරුදහන් උනා ,
පෙම්වතා විතරක් නෙමෙයි ඇස් දෙකත් එක්කම  මට තව බොහෝ දේවල් නැති උනා , සියල්ලම නැති උනා කිව්වොත්  හරියටම  හරි .
මගෙ නෑදෑයෝ මාව ප්‍රතික්ෂේප කළා ,
හැමෝම මාව තනිකලා ,
සමහරවිට මම මේ කියන දේ ඔබ පිළිගන්න එකක් නැහැ , හැබැයි ඔබ පිළිගත්තත් නැතත්  සිද්ධවෙච්ච දේ මන්  කියන්නම් .
ලෝකයාට විතරක් නෙමෙයි අන්ධ කෙල්ලෙක් ගේ ඇතුලේ තියාගෙන් බලාගන්න එක මගෙ අම්මටයි තාත්තටයි පවා එපා උනා ,
ගුවන් යානා ඉංජිනේරු වරයෙක් විදිහට යම් සමාජ මට්ටමක හිටපු මගේ පියා , මගේ රූපය , දැනුම නිසා දවසක පවුලට ආලෝකයක් ලැබෙන බව විශ්වාශ කළා , උපතින්ම , සංගීතයට , චිත්‍ර කළාවට දක්ෂ උනාට , ඒ දේවල් ඒ තරම් වැදකට නැති දේවල් කියල හිතපු මගේ දෙමව්පියෝ පිළිගත්ත රස්සාවල් විදිහට දැක්කේ , දොස්තරවරු , ඉංජිනේරුවෝ විතරයි..
ඇස් අන්ධ වෙලා , ගඳක් සුවඳක් වත් දැනෙන්නේ නැති මන් වගේ කෙනෙක් ගෙන් ඒ හිතපු විදිහට පවුලට  බැබලීමක්  නොලැබෙන බව හොඳින්ම දැනුනට පස්සෙ ,මාව වදපු අම්මයි , ජාතක කරපු තාත්තයි දෙන්නම කාලගුණය වගේ වෙනස් උනා .
කිසි දෙයක් නොපෙනෙන මම තවමත් ජීවිතේ ගැන බලාපොරොත්තුවෙන් කතා කරන එක පවා  එයාලට වදයක් උනා ,
දන්නවද පවුලේ මිනිස්සුම  මට පිස්සු කිව්වා ,
මොනවා කරන්නද  , මේ ඉතින් එයාගේ කරුමේ ,කියලා නිතරම කියනවා ඇහෙනකොට ,මට දැනුන හැඟීම ගැන කතා කරලා වැඩක්  නැහැ ,
අම්මලා මාව දාලා ගමන් බිමන් ගිහාම මට කන්න බොන්න වත් තිබ්බෙ  නැහැ ,
බඩගින්න වැඩිම උනහම, ෆ්‍රීජ් එකේ තිබ්බ ඉතුරු වෙච්ච බත් සීතල පිටින්ම කනකොට ඒ සීතල වැඩිපුරම දැනුනේ බඩට නෙමෙයි ,.. හදවතට  ,..
දන්නවද මගේම ගෙදර මගේම දෙමව්පියො ළඟ පවා  මම අනන්තවත් බඩගින්නේ ඉඳලා තියනවා ,
මටම මාව එපා කරවලා ජීවිතේ නැති කරගන්න තත්වෙට පත් කරලා මගෙන් නිදහස් වෙන්න හිතාගෙන මගේ දෙමව්පියෝ හැසිරුණ විදිහ ගැන කිව්වම ඇත්තටම ඔබ පුදුම වෙයි , ඒත් ඇත්තටම සිද්ධ වුනේ ඒක තමයි ,
දරාගන්න බැරිම තැන අන්තිමට මම ගෙදරින් එළියට බැස්සා , ගෙදරක උඩ තට්ටුවක්  කුලියට අරගෙන ජීවත් උනා , මගෙ යාළුවො උදේට වැඩට යන ගමන් එයාලගේ බත් මුල මට දීලා ගිය දවස් තිබ්බා ,දවසම කෙසල් ගෙඩියක් කාලා  හිටපු දවසුත් තිබුණා.
ඇස් දෙක පේන්නෙත් නැතුව තනියම ජීවිතේ ගැටගහගන්න මම විඳින දුක දැකලා, සමහරු
” අනේ දරුවෝ කෝ ඔයාගේ අම්මා ? කියල මගෙන් අම්මා ගැන ඇහුවා ,
ඒ වෙලාවට හිත තද කරගෙන ,
“මගේ අම්මා මාව අතහැරියා” කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ ,
අනේ දෙයියනේ එහෙම කියන්න එපා ආශ්චර්යා ,කිසිම  අම්ම කෙනෙක් දරුවෙක්ව අත්‍ හරින්නේ නැහැ , ඒක ඔයාගේ වැරදි වැටහීමක් වෙන්න ඇති , අම්ම තාත්තා ගැන එහෙම කියල පව් පුරවගන්න එපා ඩියර් ..
එහෙම කියපු අයත් හිටියා ,
ඒ හැමෝටම මම එක දෙයක් කියන්නම් , මේ ලෝකේ හැම අම්ම කෙනෙක්ම බුදු වෙන්න සුදුසු නැහැ , ළමයෙක්ව බඩෙන්  එලියට දැම්මා කියලා ගැහැණියෙක් අම්මා කෙනෙක් වෙන්නේ නැහැ ,
මොකද බල්ලෝ පූසොත් පැටව් එළියට දානවා.
සමහර අම්මලා තමන්ගෙ දරුවෝ වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක පවා  දෙනවා වගේම , තමන්ගේම දුවව සල්ලි වලට විකුණන අම්මලත් මේ ලෝකේ ඉන්නවා ,
ලෙඩ වෙච්ච අංග විකල වෙච්ච දරුවෝ කරගහගෙන හිඟා කන අම්මලා වගේම , ඉපදිච්ච ගමන් දරුවෝ මරලා කානුවලට විසිකරන අම්මලත් ඉන්නවා ..
ඒ නිසා ඔබට හොඳ අම්මා කෙනෙක්  ලැබුන පමණින් ලෝකේ සියලුම අම්මලා ඒ වගේ උතුම් මව්වරු කියලා කියන්න ඔබට අයිතියක් නැහැ ,
තමන්ට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තු දරුවන්ගේ පිට පටවලා දරුවන්ගෙන් ගොඩ යන්න බලන් ඉන්න දෙමව්පියෝ වගේම , තමන්ගේ ජීවිත වල තියන පීඩනය , නොලැබීම , දරුවන්ගේ පිටින් යවලා දරැවන්ගේ ජීවිත අවුල් කරන දෙමව්පියොත්  මේ ලෝකේ ඉන්නවා ,
අවාසනාවටද , වාසනාවටද මන්දා ඇස් දෙක නැති උන මාව මගේ අම්මයි තාත්තයි අතෑරියා , පෙම්වතා දාලා ගියා , නෑදෑයෝ අයින් කළා ..
“නැති වෙන්න  දෙයක් නැති මිනිස්සුන්ව වට්ටන්න අමාරුයි, මොකද ඒ මිනිස්සු ළඟ බය කියන දේ නැහැ, ඉතිං ඒ නිසා  ජීවිතේට මූණ දෙන්න ලේසියි.  “
උදාහරණයක් විදිහට මිනිහෙක්ව තල්ලු කරලා, තල්ලු කරලා,  පුළුවන් උපරිමයටමත් තල්ලු කරලා අන්තිමට බිත්තියකට හේත්තු උනා කියන්නේ එතනින් එයාට ආයෙ තල්ලු කරන්න අමාරුයි , එදාට ඒ පිටිපස්සේ තියන බිත්තියේ හයියත්  වාරු කරගෙන  තල්ලු කරපු කෙනාට හොම්බෙන් යන්න ගහන්න තරම් හයියක් දැනෙනවා ,
ජීවිතෙත්  ඒ වගේ ,
දුක වේදනාව , තනිකම මේ හැමදේම දැනෙන්නේ යම් සීමාවකට විතරයි.ඒ සීමාවේ උපරිමයට ගියාට පස්සේ එතනින් එහාට තවත් රිදෙන්න දෙයක් නැහැ ,
ඊට පස්සේ තමන්ට, තමන්ව හරියටම  පෙනෙන්න පටන් ගන්නවා ,
අයිශ්ච්ර්යාගෙ කථාවත් ඒ වගේ  , හැමෝම අවසන් කරන්න හදපු  ඇගේ  කතාව ඇය  අලුතෙන්ම  ලියන්න පටන් ගත්තා ,
”වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත”
දෙවිවරු කෙසේවෙතත් දේවත්වයත් එහා ගියපු මිනිස්සු තාමත් මේ මහපොළවේ ඉන්නවා ,
රටේ පාලකයින්ගෙ වැරදි නිසා බෝම්බ කාලා,  බඩෙන් එලියට දාපු අම්මා පවා තනිකරපු
ඇයගෙ ජීවිතයට   ඒ වගේ සුන්දර
” මනුස්සයෙක්ව  හම්බෙනවා ”
හොඳට ඇස් පෙනෙන, බිරිඳට නින්ද යන ටිකට හොර අඹුවක් ලඟට දුවන පිරිමි ඉන්න ලෝකෙක , තමන්ගේ ජීවන සහකාරිය විදිහට ඇස් නොපෙනෙන කෙනෙක්ව තෝරාගන්න වගේම ඇය වෙනුවෙන් කාලය වෙන් කිරීමට රැකියාව පවා අතහැර ව්‍යාපාරයකට යොමුවෙන්න ඔහු අදටත් ඇය පසුපසින් හෙවණැල්ල වගේ  ඉන්නවා ,
ඔහු තමයි  චන්දන සේසත් ජයකොඩි..
( ඔහුව  අගය කරන්න නම් වෙනම ලිපියක් ලියන්න වෙනවා )
අද , ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් , ගෙදර  ඉවුම් පිහුම් සියල්ලම කරන  ඉතා සාර්ථක ගෘහණියක්, ආදරණීය බිරිඳක් , ඒ වගේම පෞරුෂ වර්ධන උපදේශිකාවක් , සම්මානලාභී මෝස්තර නිරූපණ ශිල්පිනියක් ,
මට අනුව නම්  ඇය..
”ගැහැණියකගේ හිතේ හයිය ලෝකෙටම පෙන්නපු යකඩ ගැහැණියක්  “”
බඩ වැඩියි කියලා , හම කළුයි කියලා ,තට්ටේ පෑදුනා කියලා ,යාලු වෙලා හිටපු කොල්ලා දාල ගියා කියල , සැමියා දික්කසාද වුනා කියල , දරුවෝ නැහැ කියලා ,විභාග ෆේල් උනා කියලා
සසර කලකිරවගෙන හොටු පෙර පෙර අඬලා , කෝච්චියට පනින්න හිතන  , එල්ලිලා මැරෙන්න හදන  ,බොන්න වහ හොයන , සීනි බෝල බබාලට එකක් කියන්නම් …
ආශ්චර්යාගේ කතාව එක සැරයක් අහන්න , ජීවිතේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා එතකොට තේරෙයි .හැමදේම පෙනිලත් ගඳ සුවඳ දැනිලත්  අපි මෙච්චර කල් ජීවිතේ දිනාගත්තේ මොනවද  කියලා හිතිලා ඔයාට  ඔයා ගැනම  ලැජ්ජා හිතෙයි  ,
මූණේ පොඩි බිබිලක් ආවම දවස් ගණන් නොකා නොබී කල්පනා කරන ,  කැරපොත්තෙක් දැක්කම බුදු අම්මෝ කියල කෑ ගහන, තනියම කඩේකට ගිහින් පරිප්පු පන්සීයක් ගේන්න බැරි , සුමුදු මුදු මට සිලිටු ගැහැණු රොත්තක් මැද , හැමදේම නැතිවෙලා , ලෝකෙන්ම ප්‍රතික්ෂේප වෙලා , අන්ධකාරේ තනි වුනාට පස්සෙත් , හිනාවෙලා හිත හදාගෙන ” හෙන ගැහුවත් දරාගන්න පුළුවන් ” ගැහැණු ආත්ම මේ ලෝකෙ ඉන්නවා  කියලා දැනුනම ගැහැණියක් විදිහට , දැනෙන මොරාල් එක ගැන නම් කතා කරල වැඩක් නැහැ.
ඇයගේ වචනෙන්ම කියනවනම්..,
“මම ජීවිතේ හරියටම දැක්කේ , හරියට වින්දේ අන්ධකාර වුනාට පස්සේ , මම හරිම සංවේදියි , ඇස් නොපෙනුනාට ඇස් පෙනෙන මිනිස්සුන්ට වඩා හොඳට  මට ලෝකය පේනවා , ඒ වගේම හැමදේම දැනෙනවා..”
මම ඔබට යමක්  කියන්නම්
”මේ මුළු ලෝකයම ඔබව අතහැරියත් , ඔබ ඔබව අත්හරින්න එපා, ඔබ ඔබව අත නොහරින තාක් ඔබව පරාද කරන්න මේ ලෝකෙ  කාටවත්ම බැහැ  “
ගැහැණුත් හරියට කෝපි කුඩු වගේ ,
නිකම්ම තිබ්බම ඔහේ දිය වෙලා ගියාට , තම්බන්න තම්බන්න ලස්සනට පාට වෙනවා,ඒ වගේම රසවත්  වෙනවා ..
හයිය ගෑණියෙක්ගේ ආත්ම ශක්තිය ඉස්සරහ , නැතිවීම් , අහිමිවීම් , තනිවීම් කියන්නෙ නිකම්ම නිකන් වචන විතරයි ..
ලොවම අශ්චර්යයට පත්කල, සුරූපී ආශ්චර්යාවනි…
අන්ධකාරය තුල හිඳිමින් ජීවිතය යහමින් දකින, ඔබේ පරිචය ඉදිරියේ  ඇස් පෙනෙන මම තාම කිරිබොන ළදරුවෙකි.. 💙

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!