මගේ බොක්කෙ ෆිට් එකක් වෙච්ච රසික අයියා මෙතන නැති එක මම දකින්නෙ ලොකුම ලොකු පාඩුවක් හැටියට. මොකද බුවා තරම් දක්ශ කතන්දර කාරයෙක් මට මගෙ ජීවිතේටම හම්බෙලා නෑ. කතාවකට හොඳට ලුණු ඇඹුල දාලා ඒකෙ රසය තීව්ර කරලා ගන්න රසික අයියා තරම් දක්ශයෙක් මම තවමත් දැකලා නෑ. මේ මාතෘකාවට අදාල කතාව කිව්වෙ රසික අයියා මේ ලිපිය කොටන්න විනාඩි දහයකට විතර කලිං. තවමත් මට හිනාව නවත්තගන්න බෑ. මොකද පොර කතාවක් කියන කොට ඒකෙ හරිම සියුම් තොරතුරු රඟපාලා පවා පෙන්නලා තමා කතාව කියන්නෙ. ඉතිං මේ ලිපිය කියවනකොට ඒ රසයම මට දෙන්න හැකියාවක් නැති වෙයි ඕං. ඒකට සමාව භජනය කරත්වා….
කතාවට එන්න කලිං රසික අයියාට උපහාර පිණිස ඔහුගෙ කතා කියවීමෙ හැකියාව මතුවෙන කතාවක් කියන්නම්. පොර වෘත්තියෙන් ඖෂධවේදියෙක් උපාධිය ගත්තෙ පේරාදෙණිය විශ්වවිද්යාලයෙන්. දවසක් අපි ඔය රේඩියෝග්රැෆර්ස්ලාට (එක්ස්-රේ ගන්න විකිරණශිල්පීන්ට) තියෙන සෞඛ්ය අවදානම ගැන කතා කර කර හිටියා. එතකොට රසික අයියා එයාල කොයිතරම් විකිරණ වලට නිරාවරණය වෙනවද පෙන්නන්න එයාගෙ අත්දැකීමක් කිව්වා පේරාදෙණිය විශ්වවිද්යාලයේදි වෙච්ච.
“මල්ලි උඹට කියන්න ඔය එක්ස් රේ කට්ටිය ප්රැක්ටිකල් කරපු බිල්ඩින් එක ගාව තඩි අඹ ගහක් තිබ්බා. ඒ අඹ ගහ ගාවම කාමරේ තමා ඔය එක්ස් රේ මැශින් තියලා තිබ්බෙ. එක්ස් රේ ගහන උන් පැත්තක දාමුකො, උඹට කියන්න මල්ලි ඔය අඹ ගහේ අපි හිටපු අවුරුදු 4ටම එකම එක අඹ ගෙඩියක් තියා අඹ මලක්වත් එනවා අපි දැකලා නෑ.”
“කොයිතරම් ඒ ගහ ගාව අප්සට් ද කියනවා නම් ඒ ලඟ පාත බිම බැලුවොත් හැමතැනම කෙල.”
දැන් මට ඔය අන්තිම වාක්යය තේරුනේ නෑ හරියට. අඹ ගහ යට කෙල මොකෝ කියල මම කල්පනා කලා. මට හිතුනේ අර විකිරණ ප්රමානය වැඩි නිසා ඉගෙන ගන්න ලමයින්ට වමනෙට යන්න වගේ එනවා ඇති. එතකොට එතනට කෙල ගහලවත්ද කියල. ඒම හිතනකොට මෙන්න මූ කියාපි,
“ඇයි බං හැමදාම උදේට පේරේ ඉන්න ලේන්නු අඹ ගහ ගාවට ඇවිල්ලා තූ… තූ…. කියල කෙලගහනවා නෙදකින් මේ සක්කිලි ගහේ අඹයක් තියා ඇටයක්වත් නෑනේ කියල. ඉතිං බං ඒ තරමට අඹ නැති වෙලා වඳ වෙලා යන්න එක්ස් රේ වලින් පුලුවන් නම් අවුරුදු ගානක් එක්ස් රේ ගැහුවාම අරුන්ට මොනවා වෙනවා ඇත්ද? කියල”
මම විනාඩි පහක් විතර තක්බීරි උනා සහෝදරවරුනි මූ මේ කියන හරුපෙ මොකද්ද කියල තේරුම් ගන්න. බලද්දි අර කෙල කතාව සේරම කියල තියෙන්නෙ අඹ නෑමයි කියල උලුප්පලා පෙන්නන්න. ඉතිං කෝමහරි අද මම මේ කියන්න යන්නෙ රසික අයියගෙ බම්බරේ සීයට වෙච්ච ඇබැද්දියක් ගැන.
බම්බරේ සීයා කියන්නෙ රසික අයියගෙ තාත්තගෙ තාත්තලු. පොරගෙ කියුම් කෙරුම් අපිට කියපුවා එමටයි. මේ කියන්න යන්නෙ එයා හරක් හොරු මට්ටු කරපු වික්රමාන්විතය ගැන. එයාලගෙ ගමේ හරක් හොරු ගහනය වැඩි වෙලා හරක් එකා දෙන්නා අඩු වෙන්න ගත්තලු ගාල් වලින්. අනේ ඉතිං මේ බම්බරේ සීයත් දහ අතේ කල්පනා කර කර් එක එක දහම් ගැට ගගහා ඉඳලා තියෙනවා දිවා රෑ රැකගෙන එයාගෙ හරකව.
ඔන්න දවසක් රසික අයියගෙ තාත්තා රෑ ජාමේ උවමනාවකට බම්බරේ සීයා ඉන්න ගෙදරට ගිහිල්ලා තියෙනවා පයින්. ඒ කාලෙ මග දිගට ලයිට් නෑනෙ අද වගේ. හුළු අත්තක් පත්තු කරං තමා ගිහිල්ලා තියෙන්නෙ. කෝමහරි එයා ගෙදරට එද්දි බම්බරේ සීයගෙ ගෙදරත් ලාම්පු නිමලා කට්ටිය නිදිලු. රසික අයියගෙ තාත්තා කාටවත් කතා කරන්න කලින් අර අරං ආපු හුළු අත්ත නිවලා තියෙනවා. හුළු අත්ත නිවන්නෙ සාමාන්යයෙන් අර ගින්දර පත්තු වෙන කොන පොලවෙ ගහලනෙ. හුළු අත්ත නිවලා තප්පර පහක් යන්නත් කලිං දඩ බඩ ගාලා සද්දෙකුත් එක්ක කලු තඩි සතෙක් රුං ගාලා පිඹගෙන දුවන සද්දයක් ඇහුනලු තාත්තට. ඒ ගොහිං ඊලඟ තප්පරේ තාත්තගේ මූන ඉස්සරහින් බම්බරේ සීයා ගිහිල්ලා තියෙනවා මිත්රවරුණි පැයට හැතැප්ම හැටේ වේගෙන් හරියට කොච්චි ඉස්ටේසමේ ඉද්දි එතනින් නවත්තන්නෙ නැති එක්ස්ප්රස් කෝච්චියක් කඩාගෙන බිඳගෙන නන්ස්ටොප් යන්නා වගේ වේගෙන්. ඔක්කොමත් හරි බම්බරේ සීයා ගිහිල්ලා තියෙන්නෙ හරහටලු. මේ සේරම වෙන්න තප්පර විස්සක්වත් ගිහිං නෑ.
බලද්දි මොකද දන්නවද වෙලා තියෙන්නෙ. ඉස්සර පවුලෙ ගෘහමූලිකයා නිදා ගත්තේ ඉස්තෝප්පුවෙ පොඩි බූරු ඇඳක් වගේ එකක් දාගෙනනේ. අනේ ඉතිං බම්බරේ සීයගෙ හරකා හොරු අරං යයි කියන බයට ඒ උන්දෑ අර හරකව ගැටගහලා එයා නිදාගෙන ඉන්න ඇඳේ කකුලක. රසික අයියගෙ තාත්තා හුළු අත්ත නිවද්දි විසික්වෙච්ච ගිනි පුපුරක් අර හරකගෙ ඇඟේ වැදිලා ඌ කුලප්පු වෙලා බම්බරේ සීයවත් ඇඳ පිටිං ඇදගෙන මූ දුවාපි හුරේ දාලා හැටට හැටේ. අනේ ඉතිං අර අහිංසක බම්බරේ සීයා මර ලතෝනි දීගෙන ඇඳේ එල්ලිලා ඉඳලා මගින් ඇඳ වලකට වැටිලා සීයව හැලෙනකංම.
ඔන්න ඕමයි හිතවතුනි බම්බරේ සීයා හරක් හොරු මට්ටු කරන්න ගිහිං වලේ වැටුනේ. ආයෙත් රස කතාවකින් හමු වෙමු. ඔබට ජයින් ජයම වේවා…