බහිරව කන්දෙ සුන්දරත්වය ප්රාර්ථනාව වෙනමම ලෝකෙකට අරන් ගියා.ඇත්ත තමයි.මැදවච්චියෙ කාෂ්ඨක ඉරිතැලුණු පොළවට වඩා මේ ප්රාණවත් පරිසරය කොයිතරම් සොඳුරුද.සමීර ඇයගෙ රසවින්දනයට බාධා නොකලෙ ඒ නිසාමයි.
“පුංචි දොස්තර නෝනා….අපි යමු නේ දැන්.හවස් වෙලානෙ.ඔයාට හොඳ නෑ රෑවෙනකල් කොල්ලෙක් එක්ක ඇවිදින එක….”
“ඉතින් මම ඇවිදින්නෙ මගේ සුදු අයියත් එක්කනෙ….”
ඇය කිවුවෙ රවලා අහක බලාගෙන….
නුවරට අලුත් වුවත් ඒ තරම් ම බියක් ප්රාර්ථනාට නොමැති වීම සමීරට පුදුමයක්.
“ඒ උනාට ඒක හරි නෑනේ පැටියො.මට අවුලක් නෑ.ඔයාටයි හොඳනැත්තෙ…..”
ප්රාර්ථනා සමීරත් සමඟ තවත් තර්ක කලේ නෑ.තර්ක කලත් ඒ විහිලුවට කියලා සමීර දැනන් හිටියා.
දෙන්නම නුවර ස්ටෑන්ඩ් එකෙන් පිළිමතලාව බස් එකක නැග්ගා.බස් එක හිමින් එන නිසා දෙන්නා ගොඩක් දේවල් කතා කලා.මේ වෙනකල් පවුල්වල විස්තර විතරක් දෙන්නම කතාකරලා තිබුණෙ නෑ.ඒ හැමදේටම බස්එකේදි වෙලාව වෙන්වුනා.
ගලහා හන්දියෙන් සමීරත් බැස්සා.වෙලාව හවස 3.35.පාන්දර පිටත් වූ නිසා බොහෝ සවස් වීමට කලින් එන්න සමීරටත් ප්රාර්ථනාටත් හැකිවුණා.සමීර ප්රාර්ථනාව බෝඩිමටම එක්කගෙන ගියේ වැඩි ආරක්ෂාවට.
“සුදු අයියේ ඔයා පරිස්සමින් යන්න ඕනි හොඳේ.ගිය ගමන් මට මැසේජ් එකක් දාන්න ඕනි.හරිද!!!!!”……
ප්රාර්ථනා උපදෙස් මාලාවක් දුන්නා.සමීර ඒ සියලු දේම පිලිගත්තෙ සිනාමුසු මුහුණින්.ඇයගෙ හිස ආදරණීයව අතගා සමීර නිවසට පැමිණීමට පිටත් වුනා.
දවස පුරාම ඇවිදපු නිසා සමීරට යන්තමින් වෙහෙසක් දැනුණා.දළදා මාලිගාවෙ ඉඳන් බහිරව කන්දටම පාගමනින්ම ගිය නිසයි එතරම් වෙහෙසක් දැනුනෙ.ඒත් ප්රාර්ථනා එයින් සතුටු වුන නිසා සමීරත් සතුටින් හිටියෙ.
සමීර නිදාගන්න ගියෙ ඒ මහන්සිය නිසාමයි.ප්රදීප්ට කියලා අදත් නිවාඩුවක් ඉල්ලගත්තෙත් බස් එකේ වැඩකරන්න අපහසු නිසා.හදිසියේම රාත්රියේ සමීරගේ දුරකතනය නාද වුනා.
සමීර බැලුවෙ වෙලාව කීයද කියලා.බිත්තියෙ තිබුන රතුපාට ඔරලෝසුවෙ රාත්රී 12 ලෙස වෙලාව සඳහන් වෙලා තිබුණා.සමීර දුරකතනය අතට ගත්තෙ හිතින් බැණ බැනමයි.
“හෙලෝ…….”
සමීර නිදිමත නිසාම කතාකලේ තරමක් තදින්.
“හෙලෝ සමියා….”
කටහඬ හුරු නිසා දුරකතන තිරය දෙස සමීර බැලුවෙ ඊටපසුවයි.Pradeep.සමීර පියවි සිහියට පත්වුණේ එවිටයි.
“ආ ප්රදීප් කියපන් බන්.මොකෝ මේ මහ රෑ.”
ප්රදීප්ගෙ හඬ කලබල බවක් සමීරට දැනුණා.
“මාර සීන් එක බන්.දැන් ටිකකට කලින් මඩාටුගම දි අපේ බස් එකට ගහලා බන්.මඩාටුගම රේවත විද්යාලෙයි මහවැලි අධිකාරිය තියෙන හරිය අතරෙදිලු ගහලා තියෙන්නෙ.”
“මොකා…කවුද ගහලා තියෙන්නෙ.තුෂාර අයියට එහෙම කොහොමද? ඩැමේජ් ද බස් එකට…..?”
සමීර එකදිගටම ඇසුවෙ මේ හීනෙන්වත් බලාපොරොත්තු වූ පණිවිඩයක් නොවූ නිසයි.
“කොහොමහරි , බස්එක එද්දි පාරඅයිනෙ ඉඳන් ගහලා තියෙන්නෙ.ගල්වලිනුයි පොලුවලිනුයි බන්.ඉස්සරහා වීදුරු දෙකම කුඩුවෙලාලු.තුෂාර අයියලාට එහෙම ලොකු තුවාලයක් වෙලානෑ.වීදුරු කෑලි වලට යන්තම් අත් එහෙම හීරිලාලු……”
“ගහපු උන්ව අල්ල ගෙනද?”
සමීර ඇහුවෙ දුක මිශ්ර කෝපයකින්.
“කොහේ අල්ලන්නද බන්.කළුවරේ.ගහපු ගමන් උන් දුවලා.”
“ඔය හරියෙ යන්තම් කැලේ වගෙත් තියෙනවා බන්.ගහපුගමන් කැලේට දුවන්න ඇති.මට හිතාගන්න පුලුවන් කවුද මේක පිටිපස්සෙ ඇත්තෙ කියලා…අර සීටීබී එකේ වේ### පුතාලා දෙන්නා තමයි.වෙන කවුරුවත් අපි එක්ක ඇරියස් නෑ.දෙන්නම් මං උන් දෙන්නට වව්නියාව එපා වෙන්න…..”
සමීරගෙ කෝපය දෙගුණ තෙගුණ වෙලයි තිබුණෙ.
“මේ උඹ කලබල වෙන්න එපා.අපේ තාත්තා කථාකළා කොළඹ පොලීසියෙ යාලුවෙක්ට.උන්ව අල්ල ගනී කොළඹදි පොලිසියෙන්.”
“මොකටද යකෝ පොලීසියට කතා කලේ.කැකිරාව හරියෙදි ගහන්න තිබුනනෙ…….මම වැඩේ කරනවනෙ.මොකටද පොලීසියට කිවුවෙ.”
“කාටද ගහන්නෙ.උන්ගෙ බස් එකටද?”
” පිස්සුද බන් බස්එකට ගහන්නෑ.උන් ඒ බලුවැඩකලාට අපි එහෙම කරලා හරියන්නෑ වාහනේට.අරුන් දෙන්නට ගහන්න ඕනි බස් එක නතරකරලා.
සමීරට ලොකු දුකක් දැනුණා.ඒනිසාමයි ඒතරම් කෝපයක් ඇතිවුනේ.
” ප්රදීප් දැන් කොහෙද බන් බස් එක…..”
“ඒක කැකිරාව පොලීසියෙලු බන්.”
ප්රදීප්ගෙ හඬෙනුත් දුක්මුසු බවක් සමීරට දැනුනා”
“හෙට යමුද බස් එක ගේන්න…….”
“බස් එක දැන්ම ගේන්න බැරිවෙයි බන්.දවස් දෙකතුනක් පොලිසියෙ තියාගනී.ටෙම්පරි එකක් යවයි තාත්තා.ඒත් උඹට බස් එක ගේනකල් ගෙදර ඉන්න වෙයි බන්……”
සමීරට ලොකු හුස්මක් පිටවුණා…….
“එහෙමද.හරි හරි බස් එක ගේමුකො ඉස්සෙල්ලම මෙහෙට.ඊටපස්සෙ බලමු අරුන්ගැන.කඩනවා අතපය හතර ඕකුන්ගෙ…..”
“මේ මේ පිස්සු කෙලින්න එපා සමියො.උඹේ හැටි මං දන්නැද්ද.උඹ වලියකට ගියොත් අතපය කඩලා ඉතුරු කරන එකක් නෑ උන්ගෙ.යකෝ උඹටත් හිරේ යන්න වෙයි.
අපි පොලිස්සියට වැඩේ බාරදීලා බලන් ඉමු.වෙලාවෙ හැටියට අර විදියට කළොත් අපිට අවාසී……”
සමීරට නින්දක් ඇස් අසලකටවත් ඉන්පසු පැමිණියෙ නෑ.ඒ තරම් සමීර බස් රථයට ආදරෙයි.ඒත් මේ වෙලාවෙ කිසිම දෙයක් නොකර පාඩුවෙ ඉන්න සිදුවීම ගැන සමීරට තිබුනෙ නම් කෝපයක්.අනිත් හේතුව ප්රාර්ථනාව මේ සති අන්තයේ දකින්නට නොලැබීමයි.ඔහුගේ හිත වැඩියෙන්ම දුක්වූයේ මේ නිසායි.
සමීර අම්මට පවසා තිබුණෙ කලින් දින නුවර යාලුවෙකුගෙ ගෙදර යන බවයි.ඒත් අදත් කුමක් හෝ ගැටලුවක් බව සමීරගෙ මවට සමීරගෙ දෑස්වලින් පෙනුණා.
“මොකද පුතේ මූණ මැලවිලා වගේ.අසනීපයක්වත් ද.?…”
“න් නෑ අම්මේ.මගේ බස්එකට ඊයෙ ගහලා කට්ටියක් මගදි.ටිකදවසක් මට ගෙදර ඉන්නවෙයි….”
“හ්.ඉතින් කාටවත් තුවාලද……ඇයි ඒ ගහලා තියෙන්නෙ පුතේ…..”
“නෑ අම්මේ මේ මාත්එක්ක පොඩි වලියක් දාගත්තා තව බස් එකකින්.උන් වෙන්නඇති….”
තවත් එතන රැඳී සිටියහොත් අම්මා බනින බව දන්න නිසා සමීර එතැනින් හෙමින් සීරුවේ මාරුවුනා.සමීරගේ හිත හවස්වන විට තරමක් සන්සුන් වෙමින් තිබුණේ.ඒත් සවස 5 ට පමණ පැමිණි දුරකතන ඇමතුමක් නිසා සමීරගෙ සිත කුමක් හෝ හේතුවකට තරමක් තිගැස්සුණා.ඒත් එයට හේතුව ඔහුවත් දැනන් හිටියෙ නෑ……