ප්‍රාසාංගික කලා ඉතිහාසයේ මිලේච්ඡතම සිදුවීම

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අවවාදයයි: මෙහි අඩංගු ඡායාරූප බාලවයස්කාර, හෝ ආවෘත මනසකින් යුත් අයෙකුට නොසුදුසු යැයි හැඟිය හැකි බැව් කරුණාවෙන් සලකන්න.

මේ කියන්නට යන්නෙ වර්ෂ 1974 දී සිදුවූ සිදුවීමකි. එවකට එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ ප්‍රාසාංගික කලාකාරිනියක වූ මරීනා ඇබ්‍රමොවිච් විසින් ප්‍රාසාංගික කලා ඉතිහාසයේ වඩාත් අමරණීය, වැඩිම කතාබහකට ලක්වූ ඉදිරිපත් කිරීම සිදුකරන්නේ මෙම වර්ෂයේදීය. වඩාත් නිවැරැදි ව කිවහොත් එතෙක් මෙතෙක් කලා ඉතිහාසයේ සිදුවූ මිලේච්ඡතම සහ බිහිසුණුම සිදුවීම්වලින් එකකට ඈ නොදැනුවත්ව ම මුහුණ දෙන්නේ මේ වසරේදීය.

ප්‍රාසාංගික කලාංගය නම් කර තිබුණේ “රිදම් 0” ලෙසනි. සැලසුමේ පරිදි මෙහි ඇයට කරන්නට වැඩිමනත් දෙයක් නොතිබිණ. කලාකාරිනියට පැවරී තිබූ සරල කාර්‍යභාරය වූවේ නිශ්චලව සිටීම පමණකි. කලාව නිර්මාණය කිරීම ප්‍රෙක්ෂකයාට පවරන්නට නිෂ්පාදකයන් තීරණය කළේය. ඇය පසෙකින් වූ මේසයක් මත එකිනෙකට වෙනස් අයිතමයන් 72ක් අසුරා තිබූ අතර, ඒවායින් තමන්ට රිසිවූවක් තෝරා ගැනීමට ප්‍රේක්ෂකාගාරයට ඉඩ සලසා දී තිබුණි. මෙම අයිතම අතර මල් සහ චොකලට් බ්‍රවුනීස්, පිහි, දම්වැල් දක්වාවූ පරාසයක දෑ අසුරා තිබූ අතර එපමණකින් නොනැවතී ගිනි අවියක් සහ උණ්ඩයක්ද සපයනු ලැබීය. යහපත සහ අයහපත අතර තේරීමේ නිදහස නරඹන්නන් සතු විය. ඕනෑම අයෙකුට තමන්ට රිසි ඕනෑම දෙයක් මේසය මතින් තෝරාගෙන, ඇය හමුවේ භාවිතා කළ හැකිවිය.

සජීවී කලාකෘතියක් ලෙස තමන්වම නිරාවරණය කිරීම අරමුණු කරගත්, මුළු මහත් ප්‍රාසාංගික කාලය තුළම ඇයට තිබුණේ අප්‍රාණික වස්තුවක් ලෙස අක්‍රිය ලෙස සිටීම පමණි. කෙසේවුවද එම පැය හයේ ප්‍රාසාංගික කාලය සිය දිවියේ අඳුරුතම හෝරා කිහිපයක් වනු ඇතැයි ඇය ඒ මොහොතේ සිහිනෙකිනිදු නොසිතන්නට ඇත.

ආරම්භයේ දී ප්‍රේක්ෂකාගාරය ඉමහත් කාරුණික සහ මනා අවබෝධයකින් කටයුතු කරන බව පෙනී ගියේය. ඇතැමෙක් ගැහැනියගේ අතට රෝස මල් දුන්හ. තවකෙක් ඇයට කේක් කවන්නට වූහ. සමහරු ඇයගේ හිසකේ මඳක් පිරිමදින්නටද හා ඇයට අතට අතදී ආචාර කිරීමටද කටයුතු කළහ.


කියන්නට යන්නෙ වර්ෂ 1974 දී සිදුවූ සිදුවීමකි. එවකට එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ ප්‍රාසාංගික කලාකාරිනියක වූ මරීනා ඇබ්‍රමොවිච් විසින් ප්‍රාසාංගික කලා ඉතිහාසයේ වඩාත් අමරණීය, වැඩිම කතාබහකට ලක්වූ ඉදිරිපත් කිරීම

කෙසේ හෝ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමේ කාලය ක්‍රමයෙන් ඇදී යත්ම ප්‍රේක්ෂකාගාරයේ ක්‍රියාකාරිත්වය ද වෙනස් පැහැයක් ගන්නට විය. පළමුව නරඹන්නන් අතරින් එක් අයෙක් ඇගේ කම්මුලට කුඩා අත්තල පහරක් එල්ල කළේය. ඇය සෙලවීමකිනිදු ප්‍රතිචාර නොදැක්වූවාය. ඇබ්‍රමොවිච් සැබැවින්ම අක්‍රිය ව පසුවන බව වටහාගත් පිරිසේ අයවළුන් ඇයට වඩාත් තදින් පහර දෙන්නට විය. පෙරදී ඇයට, අතට අතදී – රෝස මල් දීමට පමණක් පෙළඹුණු අය, ගැහැනියගේ ඉවසීම සහ ප්‍රචණ්ඩත්වය හමුවේ ඇති අක්‍රිය ස්වාභාවය හඳුනා ගන්නවාත් සමඟම ඇය කෙරේ වඩාත් කෲර සහ අමානුෂික පිළිවෙතක් ප්‍රදර්ශනය කරන්නට විය. නමුත් සියල්ල එපමණකින් අවසන් වූවේ නැත.

පිරිසේ වූ එක් අයෙක් ගිනි අවිය රැගෙන එය කලාකාරියගේ නළලතට එල්ල කළේය. අනතුරුව ගිනි අවිය ඇයගේම අත් මත රැදවූ හේ එහි එල්ලට ඇයගේ ගෙලට යොමුවන ලෙස තබන්නට වග බලා ගත්තේය.

ඔවුන්ගෙන් ඇතැමෙක් පෑන්වලින් ඇයගේ නළල මත අසැබි දෑ ලියන්නට වූ අතර නියම හිංසාව ඇරඹෙන්නේ ඉන් පසුවය. සමහරු තරුණ ගැහැනියගේ සිරුර මිරිකන්නටත්, ඇයව සිපගන්නට හා ඇයට කෙල ගසන්නටත් වූහ! අවසානයේ ප්‍රේක්ෂකයන් කතුරෙන් ඇයගේ ඇඳුම් කපා ඇයව නිරුවත් කර දැමූහ!

නමුත් ඔවුන් එපමණකින් හෝ තෘප්තිමත් නොවූහ.

එක් මිනිසෙක් ඇයගගේ නග්න පියයුරු උරන්නට වූ අතර පිහියක් ආධාරයෙන් ඇයගේ උදරය මත රේඛා අදින්නට විය. හේ අනිකුන්ටද එසේ කරන ලෙස දිරිගැන්වූවේය. ඔවුහු ඇයගේ ලේ නොමද වාරයක් සෙළවූහ. ඒ අතර ඇයගේ රුධිරය පවා උරා බොන්නන් සිටිය බව ඔබ විශ්වාස කරනවාද?

අනතුරුව ඔවුහු ඇයව ඩමියක් පරිද්දෙන් ඔසවාගෙන ඒ මේ අත ගිය අතර සමහරු තවත් ජුගුප්සාජනක අපේක්ෂාවන් සිතෙහි දරාගනිමින් ඇයව මේසය මත දිගා කරමින් හිංසා කරන්නට උත්සහ කළහ. නමුත් වාසනාවකට එය වළක්වන ලදි.

ප්‍රේක්ෂකයන් අතර වූ ඇතැම් අයෙකුට මෙම ක්‍රියාදාමයන් අපහසුවක් ගෙන දුන් නමුත් ඔවුන් කිසිවෙක් එයට විරුද්ධ වූවේද නැත. ඒ අතර තවත් කොටසක් ඇයගේ පින්තූර ගත් අතර ඒවා ඇගේ දෑත් මත රැදවූහ. මේ සියල්ල වන කාලයේදී ගැහැනියගේ දෑස් කඳුළුවලින් වෑසී තිබුණ මුත්, කිසිවෙක් එය මායිමකට ගත් බවක් නොපෙනෙණින. ඔවුන් ඇයට මුලු කාලය මුළුල්ලේම “අප්‍රාණික වස්තුවක්” ලෙස පමණක් සලකමින් වද දෙමින් උන්නේය.

අනතුරුව පිරිස අතර වූ එක් ගැහැනියක් නැඟී සිට ඇයගේ කඳුළු පිස දමා, ඇය වැළඳ ගත්තාය. ඉන් ධෛර්යයට පත්, පිරිස අතර අපහසුවෙන් හුන් සුළුතරය සිදුවීමට මැදිහත් වන්නට ගත්තේය. ඔවුන්ගෙන් ඇතැමෙක්, කලාකාරිනියගේ තුවාල පිරිසිදු කරන්නට වූ අතර, තවකෙක් ඇයගේ සිරුර ආවරණය කළහ. දුම්වැටියක් ඇයතට දුන් ඔවුහු, ඇයට සන්සුන් වීමට උපකාර කළෝය.

ප්‍රාසාංගික කලාංගයකට වඩා සමාජ පර්‍යේෂණයකැයි කිවහැකි මෙම සිදුවීම මඟින් බහුතරය තුළ පවත්නා “දුෂ්ට සහ අනර්ථකාරී” ස්වාභාවය කෙතරම් පහසුවෙන් මානුෂවාදී සීමාවෙන් අතික්‍රමණය කරයිදැයි පෙන්වා දෙයි. ඒ සඳහා සෙස්සන්ගෙන් ඉතා කුඩා දිරිමත් කිරීමක් ප්‍රමාණවත් වෙයි.

මෙම සිදුවීමෙන් වැටහීයන අනෙක් ප්‍රධාන කාරණය නම්, එවන් සිදුවීමක් අරඹයා විරෝධාකල්පයක් ඉදිරිපත් නොවීම හෝ එවැන්නක් සිදුවීමට ප්‍රමාද වීම හේතුවෙන් ඇති විය හැකි තත්ත්වයේ බරපතළ ස්වාභාවයයයි.

පැය හයකට පසු ප්‍රාසාංගික කලාංගය අවසාන වීමෙන් අනතුරුව ඇබ්‍රමොවිච් නැවතත් චලනය වීමට පටන් ගන්නවාත් සමඟම, බියටපත් පිරිස පලා යන්නට වූවේ, ඔවුන් භයානක ගැහැනියකට බියපත්ව පලා යන්නන් පරිද්දෙනි.

තමන්ගේ අති අමානුෂික ක්‍රියාවන්ගෙන් පෙළීමට නොපැකිලව ඉදිරිපත් වූ ඔවුහු, වින්දිතයාට මුහුණ දීමට ධෛර්යයක් සොයා ගැනීමට අසමත් වූහ.

කතාව සමස්තයක් ලෙස: එක් කාරුණික ගැහැනියකගේ නිවැරැදි ක්‍රියාව, සෙස්සන් වෙනස් කිරීමට තරම් ප්‍රබල විය.

ඉතින් “මගේ කුඩා යහපත් ක්‍රියාවෙන්, වචනයෙන් වන මහා වෙනස කුමක්දැ”යි නොඅසන්න.

Source:
Quora – Ayse T. Dogu
පරිවර්තනය: නිලේකා ධනංජනී ගුණවර්ධන

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!