සුද්දො හන්ටිං මනියොක්කා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සුද්දා..

සැලියුට්.. ජා මපෙල් ඉල්ලංකනසිංහ.. බොන්ජූර්…

එදා තක්සිලා කිව්වා වගේ 2020 අපි ඵලදායිව ගත කරන්න ඕනා කියලා මාත් හිතාගෙන උන්නේ. ඒ හින්දා මේ කොරෝනා කාලේ නිකන් ඉන්න එකේ මන් හිතුවා ෆ්රෙන්ච් ඉගෙනගන්න ඕනා කියලා.. ඔහොම කියලා යූ ටියුබ් එකේ ෆ්රෙන්ච් ෆො බිගිනර්ස් කියලා සර්ච් කරලා තමා ඔය උඩ තියෙන කෑලි ටික අහුලා ගත්තේ. ඒත් ෆ්රෙන්ච් මහා නෝටියි.. කෙල්ලෙක් කොලෙක්ගෙන් අහනවා “” සාවා”” කියලා.. එතකොට අර කොල්ලා කැත නැතුව කියනවා… “” මැරියන් **සි “”කියලා.. ඕක අහලා මන් බය උනු පාර ආයෙ පාරක් හොදට ඇහුවා.. එ පාර කියන්නෙ “” මැරියන් බේසි “” කියලා.. කෝකටත් සබ්ටයිටල් දාලා බලපුවාම ඒ කියලා තියෙන්නේ “” ටෙරියන් බේසි “” කියලා.. ඒකත් වැරදිද දන්නැ.. දන්න අය නිවැරැදි කරන්නල ඈ.. ඒ වගෙම මට ෆ්රෙන්ච් ඉගෙන ගන්නත් උදව් කරන්න කියලා කියනවා ආදරෙන්.. ඔව්වා ඉගෙන ගන්නකොට මට කතාවක් මතක් උනා. මොනා උනත් ඇහෙන විදියට ලැන්ග්වෙජ් ඉගෙන ගෙන මන් කොහෙ හරි රටකට ගියොත්.. මට නම් සුවර් වැටක් අයිනෙ මන් මැරිලා ඉදියි…

මාත් දහම්පාසල් ගියා.. හොදට ඉගෙන ගත්තා… කවි පාඩම් කරා.. සිරිත්මල්දම කියෙව්වා.. අඹ ගස්වලට පොලු ගැහුවා.. තැඹිලි කැඩුවා.. කුරුම්බා බෑවා.. දානෙ කෑවා.. අපේ සෙට් එකෙ කොල්ලො තුනයි කෙල්ලො දෙකයි.. සේරම 5යි.

ඔන්න ඉතින් අපේ දහම්පාසලෙන් චාරිකාවක් යනවා.. ජීවිතේ මන් ගියපු එපාම කරපු ට්රිප් එක. යනකන් එනකන් බක්ති ගීත විතරමයි.. ඊට වඩා සැපයි දෙයියනේ ගෙදරට වෙලා රෙද්දක් පොරෝගෙන බුදියාගත්ත නම්.

කෝමහරි සීගිරියෙන් බැහලා දෙන්නා දෙන්නා අත් අල්ලන් යනවා.. අපි ලොකු පන්තිවල හින්දා පෝලිම පිටිපස්සෙම අපි.. ඊටත් වඩා අපි දැන් හොද නැති ළමයිනෙ.. ඒ හින්ද පිටී..පස්සෙම පෝලිමේ අන්තිමටම අත් අල්ලන් යන්නෙ අපේ සෙට් එක. වස කම්මැලියි දැන්… කිසිම ආතල් එකක් පේනතෙක් මානෙකවත් නෑ.. ඔහොම කුලෑටි වෙලා වකුටු වෙලා ඉන්න අතරේ ඉස්සර මගෙ පුරුද්දක් තිබ්බා සුද්දො හන්ටින් කරන. ඒ කිව්වේ.. සාමාන්යයෙන් සුද්දෙක් එක්ක කතා කරන්න ආසාවක් තිබ්බා.. දැන් මේ ඈයෝ වැරදි අර්තකතන ගන්න එපා.. එයාලගෙන් ලංකාව ගැන අදහස් දැනගන්න ඒවගෙ එව්වා තමා කතා කරේ. ඉතින් දැන් ඕක අනිත් අයටත් කියලා යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන අපි යනවා. දැන් අපි යන ගමන් රේඩාර් ඔන් කරලා සිග්නල් දාලා හිනාව පනාව වගේ කරගෙන යනවා වදින සුද්දෙක්ට වැදියන් කියලා.. ඒ උනාට ගොඩක් වෙලාවට අහු උනේ ලෝකල් අන්කල්ලා ඇන්ටිලා.. මොකද ළමාසාරිත් ඇදලා අපි දැක්කමත් හරි සිරියාවයි. අදටත් එහෙමයි.

ඔන්න ඔය අතරේ එක සුදු කපල් එකකට රේඩාර් වැදිලා සිග්නල් පත්තු උනා. දැන් වැඩේ හරී.. මෙයාලට දැන් ළමාසාරි ඇදලා නැශනල් එක ඇදලා සීගිරි ගල නගින පෙරහැර දැකලා හරි සතුටුයි.. එකටම පොටො ගන්නවා දැන්.. ඒ අස්සෙ අපි වැඩියෙනුත් හිනා වෙලා බෙල්ල නම නම ඉන්න ජපනා වගෙ තව තව අරුන්ට ලංකාවෙ හොස්පිටෑටලි එක පෙන්නනවා. සුද්දා අපි ගවින් යන ගමන්…

හලො.. යු ලුක් ඇමේසීන්.. සෝ ප්රිටී.. බ්ලා බ්ලා බ්ලා.. ( සුද්දා කීව වචනයක් ගානේ මතක නෑ.. මට මතක තියෙන විදියට කියන්නෙ.. වැදගත්ම කාරනේ ඌ කීවෙ ඔව්වමද දන්නෙත් නෑ.. මොකද කියපු ගොඩක් එව්වා අපිට තේරුනේ නැ )

අපිත් ඉතින් පොර කියන කියන එකට තැන්ක් යු.. අනේ තැන්ක් යූ සෝ මච් කියනව..

මන් කතාව කන්ටිනිව් කරන්න ඕන හින්දා ඇහුවා.. යන්න යන සුද්දගෙන් බලෙන් මැද්දට පැනලා ඇහුවා…

වට් ඩු යු තින්ක් අබවුට් ස්රී ලංකා? කියලා..

ම්ම්ම්ම්ම් යා.. යා… යා… කියලා අම්මටසිරි මේකා දැන් කඩ්ඩ වනනවා වැනිල්ලක් දෙයියනේ.. අපේ ඇස් හිස් මස් ලේ එතනම දාලා ආපහු හැරිලා එන්න හිතුනා. ඒ අස්සෙ අනිත් එවුන් මට ඇගිල්ලෙන් ඇන ඇන රවනවා…. උබනෙ ඇහුවේ උබ කියපන් දැන් මොනාහරි කියලා. අංශක තුන්සිය හැටටම කැරකිලා බැලුව මුන් දෙන්නට ගයිඩ් කෙනෙක් ඇවිල්ලත් නෑ. ඒ අස්සෙ අපේ දහම්පාසලම සීගිරි ගලේ. එක මිස් කෙනෙක් නැවතිලා ඉදගෙන හිටියා ළමයෙක් එක්ක. එ හින්දා හිත හදගෙන අපි අපේ ෆුල් අවදනය සුද්දට යොමු කරා.

හරි අවුලක් නෑ.. අහපුටික තේරුනේ නෑ.. ඉතින් මන් ආයෙ කීවා සොරී.. ?? කියලා..

ඕන් එතකොට නැවතිලා තිබ්බ සුද්දගෙ කට ආයෙ සට සට ගාලා හෙල්ලෙනවා.. මගෙ කට දැන් ස්ට්රෝබෙරි වෙලා.. ඒ අස්සෙ සුද්දා එකටම අදහස් ප්රකාශ කරනවා…

ස්රී ලංකා.. සෝ බියුටිෆුල්.. වී ලයික්.. වෝට ෆෝල්ස්…. රේන් ෆොරස්ට්.. ඩිලීසියස්… හනිමූන්..

වගේ කෑලි කෑලි වචන ටිකක් යන්තන් අහුල ගත්තු මන්.. සමීක්ෂණයක් දාලා විසදාගත්තා මේකා මොකක්ද මේ කියන්නෙ කියලා.. හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් හරී හරී හරි… මූ මේ කියන්නෙ…

ලංකාව හරි ලස්සනයි ය.. අපි කැමතියිය.. දිය ඇලි ගංගා ගලා බසිනවාය.. වැසිවනාන්තර තියනවාය… ඩිලිසියස් හනිමුන් එකකට මුන් දෙන්නා මෙහෙ ආවාය.. කියලා..

ඔය ටිකෙන්ම මාත් කරකවලා දුන්න….. ටර්ම් ටෙස්ට් එකට කටපාඩම් කරගෙන හිටපු මයි කන්ට්රි ගැන ඉස්පිලි පාපිලි සගල වරහන්.. ෆුල්ස්ටොප් කොමා.. සේරම දලා ෆුල් රචනාවම එක හුස්මට කියලා දැම්මා… අන්තිමට තැන්ක් යු කියලා ඉවරත් කර.. අම්මේ අපේ එවුන්ගේ තිබුනු සතුට.. මුනු දිලිසෙනවා.. අපිට දැන් හෙනම ජයග්රහණයක්… රිලා නැටුම් පෙන්නලා ඉවර උනාම කාසි දෙනකන් බලාන ඉන්න අහිකුණ්ඨිකය වගෙ අපේ එවුන් සුද්ද දිහා බලාන ඉන්නවා.. අපේ ඉංග්රීසි වලට දැන් සුද්දත් හොලමන්.

පොර උපරිම පැහැදුනා කියන්නෙ කොටින්ම අපි ටිකව පෙලියට තියලා පොටෝ එකකුත් ගත්තා. අපිත් ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පලවන දිවයින පත්තරේට අපේ මූනු යනවා වගෙ පුළුවන් තරම් අත් දෙකෙන් මූනු පිහලා පිහලා පිහලා… මූන පිත්තල කරගෙන සීරුවෙන් හිටගෙන පිංතුරෙට හිටියා.

ඒ අස්සෙ අපේ එකෙක් නිදිකුම්බා පෙන්න පෙන්න අරූට ජීවවිද්යාත්මක පාඩම් කියලා දෙන්න හදනවා.. දිස් ප්ලාන්ය් ඊස් ටච් ඇන්ඩ් ස්ලීප්.. සී සී කිය කියා නිද්කුම්බා වලට ඇන ඇන.. ෆස්ට් ටච් ඇන්ඩ් සක්න්ඩ් ස්ලීප්.. ටච්.. ඇන්ඩ් සිලීප්.. ඊසී.. සිම්පල්…
කියන්න සතුටුයි මචන්ලා ඕකා ජීව විද්යාව ඉගැන්නුවට පාඩු නෑ ඌ දැන් බදින්න ඉන්නේ දොස්තර නෝනෙක්..

එතනින් නතර උනේ නෑ.. ඒ ගමන මේ සුද්දා උන් කාපු මොකක්දෝ කෑමක් ගැන කියවනවා.. මොකක් හරි වචනෙකුත් කීවා ඒත් අපි සෙට් එකම දන්නෙ නෑ.. ඒ කිව්වට අපිට මෙලෝ මලදානයක තේරුනේ නෑ.. පුස් පුස් සස් සස් බුස් බුස් කිස් කිස්.. ඔච්චරයි හිතෝතුනි අපිට ඇහෙන්නෙ..

සම් කයින්ඩ් ඔෆ් පොටැටො…. කියලා ඕන් අන්තිමට තමා කිව්වේ.

ඔය කියන්නෙ අල අල… අල ගැන බන්.. එකෙක් කීව..

ආ.. ඕ මයි ගෝඩ් මේ පොටැටෝ නේ.. සෝ සෝ.. කියලා මන් අහනකොට සුද්දා ආයෙ කියපි…

නො නෝ ඉස්ට් නොට් පැටැටෝ.. ඉට් ඊස්…. මැනියොක්..
ඈ.. මක් කීව.. මොකක්ද බන් ඒ…. එකෙක්කවත් දන්නෙ නෑ…

ආ… මේ මැනියොක් මෙහෙ නෙමෙයිනේ..

ඉට් ඊස් නොට් හියර්.. මැනික් ආ ඉන් රත්නපුර…
ඔය… ඒ කාලේ… කැලණියෙත් තිබිලා තියනවා මැනික් පුටුවක්… මනියක්කිත රජතුමා ගැනද දන්නැ බන් මූ මේ අහන්නෙ කියලා අපේ එකෙක්ගෙන් අහපුවාම… ආයෙම සුද්දා කියපී..

නො නෝ.. වී ඒට් දිස් මොනින්ග්…

ඈ යකො සුද්දො මැනිකුත් කනවද??.. වෙන්න පුළුවන් ලංකාවෙන් මැනික් පිටරට යවනවානේ..
මේකා දැන් කොච්චර කීවත් පිලිගන්නෙ නෑ මැනික් තියෙන්නේ රත්නපුරේ කියලා.. අපිත් අරින්නෙ නෑ… උන්ට වඩා යකෝ අපිනෙ දන්නෙ අපේ රට ගැන.. උන් එනවා අපිට කියන්න.. සුද්දා ආයෙ කියනවා කයින්ඩ් ඔෆ් පොටැටො ලූ.. අපි කියනවා නෝ නෝ කන්ඩ් ඔෆ් රොක්.. රොක් රොක්.. තිරුවානා.. කලුගල්… ආන්න්…. ඒ වගේ ලයික් දැට්… නොට් පොටැටෝ..

ඒත් බැරිම තැන අපේ එකෙක් සීගිරි ගලට අත දික් කරලා කීවා.. දිස් බිග් රොක් ඊස් සීගීරී.

යා යා.. වී නො.. කින්ස් කාසපස් ප්ලෙස්… සුද්දා ඔලුව වනනවා…

යෑස් දැට්ස් රයිට්.. සිගිරිය ඊස් පත රොක්.. ඕල්සෝ මනික් ඊස් රොක්.. බට් නොට් ලාජ් සයිස්.. මැනික් රොක් ස්මෝල් සයිස්. සීගිරිය ඊස් ඩබල් එක්සෙල් ලාජ් සයිස්.. කැන් යු අන්ඩස්ටෑන්ඩ්… ????? අපේ එකා උපරිමේටම බර දාලා වෙර දාලා පැහැදිලි කරනවා දැන් වෙනස.. ඌට තද වෙලා තිබ්බ හැටියට තව ටිකකින් මූ කාසප රජතුමාව වලෙන් ගොඩ ගන්නවා..

නෝ නො වී ඒට් මනියොක් විත් ඩිලිසියස් සල්මල්..

එ ගමන මෙකා මැනික් එක්ක සල්මල් කාලාලු..
හරි හරි බන් සල්මල් කනවා ඇති.. ඔය සමහර සුද්දො ගැරඩිත් කනවලු බන්…
හම්මේ යකො මට දැන් පට්ට දවාලේ කලන්තේ වගේ.. මේකව නවත්ත ගත්තට මොකද මේකා දැන් තනියම කියෝනවා.. කියන්නෙ මොනවද කියලා තේරුම් ගන්න ගූගල් ට්රාන්ස්ලේට් තියා ඒ කාලේ ස්මාර්ට් ෆෝන් එකක්වත් නෑ නේ… යන්තන් අර යැයි යැයි ගාන ෆෝන් එකක් විතරයි තිබිලා තියෙන්නේ ජීවිතේටම..

දැන් මේකා කොච්චර කොහොම කීවත් පිලිගන්නෙ නෑ මැනික් කන්නෙ නෑ කියලා.. ඒ අස්සෙ මූ කියනවා.. ශ්රී ලංකන් ෆූඩ්ස් ආ ස්පයිසී.. ඩිලීසියස්.. හව් ඩූ යු මේක් ස්පයිසි ඩිශස්…

ඩිස් ඩිස් ගානවා මිසක් ඔව්වා මන් දැන්නැ.. මන් දන්නෙ පොල් ගාන්න විතරයි… පොල් ගාන එක මූට පහදනවට වඩා ලේසියි දන්න එලවලුවක් එක්ක බතක් උයන හැටි මූට කියලා දෙන්න කියලා හිතලා.. අපිත් පටන් ගත්තා කුකරි ක්ලාස් එක..

දැන් එක එකා කියනවා… පරිප්පු උයන හැටි කියපන්.. ඒක ලේසියි.. නෑ නෑ සම්බොල හදන හැටි කියපන් ඒක ලේසියි… කිරිබත් හදන හැටි කියපන්.. ලංකාවට ආවේනිකයි නේ…

මුන් එකතුවෙලා ටෝකින් වෙඩිමක්.. හදන්න ලේසි උනාට කියන්න ලේසි මගුලක් වෙන්නත් එපැයි.. ඔහොම කියලා කොහොමහරි පරිප්පු හදන හැටි කියමු කියලා තීරණය කරා..

දැන් මන් කියනවා.. ගෙට් ටු කප්ස් ඔෆ් ඩාල්.. ඩාල් ඩාල්.. ඔරේන්ජ් කලර් සීඩ්ස්.. යු නෝ ඩාල්… කියනකොටම පුදපි යකා කියලා සුද්දා කියපි.. ඩාල් එපාලු… මනියොක් ගැන කියන්නලු..

අඩෝ වයි බන්….. දන්න දෙයක් කියන්න දීපංකො පව් නොදී.. නැත්නම් තොට ඕක කන්න දීපු එකාගෙන් අහගනින්කෝ… අනේ මට බෑ බන් කියලා මන් යන්න හැරෙනකොට එකෙක් කීවා..

ඕකෙ ගෙට් ටූ පොටැටෝස් කියලා… දැන් අපිත් කට ඇරන් බලන් ඉන්නවා මේකා මොකක්ද මේ කියන්නෙ කියලා.. එ අස්සෙ මූ මාව කොනිති ගහනවා.. ශේප් එකේ වැඩේ ඇදන් යන්න තියෙන්නේ කියලා මූ මට ඇහැකුත් ගැහුවා…. දැන් අපිට ඕනේ ඌට කොහොමහරි අලයක් තම්බන හැටි කියලා දීලා කොහෝමහරි මෙතනින් මාරුවෙන්න… හිටපන් දෙන්නම් උබට මනියොක් කියලා.. මන් කීවා..

යස්..ගෙට් ටූ පොටැටෝස්.. දෙන් බොයිල් වෝටර්.. ඇන්ඩ් පුට් පොටැටෝ ඉන් ටු බොයිල් වොටර්…

ආෆ්ටර් වෝටර් ඩාන්ස්.. අගේන් ගෙට් අවුට් පොටැටෝ… දෙන් ඇඩ් ටූ ඕ ත්රී ස්පූන්ස් ඔෆ් සෝල්ට්..

ඊලගට මොකක්ද බන් කරන්නේ… දැන් මට එතන්න් එහාට කියාගන්න දෙයක් නෑ.. එතකොටම තව එකෙක් පටන් ගත්තා..

ම්ම්ම් යු කැන් කට් කොකනට්.. ඈහ්.. කට් කොකනට්?? ඒ මොකක්ද බන් ඒ…

නෑ නෑ… පොල් ගානවට මොකක්ද බන් කියන්නෙ… ගානවට.. ගානවට…. මොකක්ද කියන්නෙ.. ඒක දන්නෙත් නෑ..

ආයෙත් දැන් මන් පටන් ගත්තා… ග්රේට් ද කොකනට්.. ඇන්ඩ්.. මිරිකනවට මොකක්ද බන්.. කියන්නේ… ඒකත් එකෙක්වත් දන්නැ.. ඒවා අමාරුයි බන්.. කිරි දාන්නෙ නැති තෙල් දාන එකක් කියපන්…. දැන් අපි සීගිරි ගල හපාගෙන දන්න එලවලු සේරම මතක් කරනවා.. කර අව්වෙ හිටන් ඉන්න බැරුව අපේ එවුන් මගෙ අම්මා මුත්තා සිහි කරනවා…

ඕකෙ ටේක් සයිඩ් ග්රේට් කොකනට්.. මේකට කොකනට් වල සම්බන්ධයක් නැ.. සොරි…

ප්ලීස් ගෙට් පෑන් ඇන්ඩ් හීට් ඉට්. දෙන් ඇඩ් ඔයිල්.. දෙන්.. මොනවද බන් දැන් තෙල් දාන්නේ… දැන් ආයෙ මාව හිරවෙලා..

අල තෙල් දාපන්.. ඕකට ඕනා කියන්නෙ අලනේ..

හා… ඕකේ… දෙන් ඇඩ් පොටැටෝ ඉන් ටු ද පෑන්.. දෙන් ඇඩ් කරි පවුඩර්ස්.. චිලීස්… සෝල්ට්.. කරපිංචා ලීව්ස්… කරද මුංගු කරාබුනැටි වසා වාසී.. ඊ. ටී. සී.එක්සෙට්ට්රා.
ඒ ගමන සුද්දා කියපි ඌ ඔව්වා දන්නෙ නෑ ලු..

හා ඒකත් කමක් නෑ ඉට්ස් ඕකේ කියලා
ආෆ්ටර් කුකින් පොටැටෝ… යු කැන් බ්ලෙන්ඩ් ඕ චොප්පා දෙම්.. ඇන්ඩ් බෝල දෙම්.. මන් දැන් තඩිවට අතින් පෙන්නවා අල බෝල කරන හැටි.. අනිත් එවුනුත් මගෙ සහයට පෙන්නවා දැන් මේම මේම මේම බෝල කරන්න කියලා.. ආෆ්ටර් යූ බෝල දෙම්.. යු කැන් ගෙට් බියුටිෆුල් ඩිස්.

සේරම කියනකන් ඉදල ඉවර වෙලා අර ගෙරි සුද්දා අහපි ඔයා මය කීවේ මනියොක් ගැනද කියලා…

ඕව් ඔව්ව් ඔව්ව්.. මෙව්වා ආයෙ නියම සිංහල මනියොක්.. ඔය මන් කිව්වෙ මනියොක් බෝල ගැන.. තව පුළුවන් මනියොක් කිරට උයන්න.. මනියොක් මිරසට උයන්න.. තව මනියොක් සම්බෝල හදන්නත් පුළුවන්… ඔව්වා සේරම හදන්නෙ මනියොක් වලින්… මේකට දැන් පොටැටෝ කීවමනෙ අවුල.. අපි දන්න මනියොක් එකක් නෑ.. කියන එකක් මනියොක් මුලට දාලා කියනවා කියලා හිතාන..

මහත්මයා… මනියොක් කෑලි කපලා.. ඔයා ෆ්රයි මනියොක්.. දෙන් බ්ලෙන්ඩ් මනියොක්.. ඊටපස්සෙ ඇඩ් බේකින් සෝඩා ඇන්ඩ් සොල්ට්. දෙන් ඇඩ් ටූ කප්ස් ඔෆ් වෝටර්.. දෙන් මික්ස් වෙල්.. ආෆ්ටර් මික්ස් වෙල් ඇඩ් කොකෝවා පවුඩර්. දෙන් ඇඩ් ෆයිව් එග්ස්. අගේන් මික්ස් වෙල්… නව් ලෙට් ඉට් පීස් ඇන්ඩ් කාම්.. යු ගෝ ඇන්ඩ් ස්ලීප්.. ආෆ්ටර් ටූ හවර්ස්.. බේක් ඉට්. දෙන් යු කැන් ගෙට් ඩිලීසියස් මනියොක්…

ඕහ්.. වාව් ඊස් දැට් මනියොක්… නෙදකින් යකෝ….. මේකා ආයෙත් අහනවනෙ අම්මපා……
යකෝ මේකගේ මනියොක් කන්ඩ මට…. කටවහපිය සුද්දා… !!! ඔව්ව්ව් යකෝව්ව්ව්ව්…. මනියොක්…… මනියොක්…. !! මනියොක් බැරිනම උබ මයිනෙක් හරි ගිලපන්… දැන් මගෙන් සුද්ද සිංහල නාහා…

අම්මගෙ ක්ලෝත් එකක් අහනවා… දන්න කෑලි සේරම දාලා මූට අලයක් තම්බන හැටි කියලා දුන්නම.. ඒත් මු අහනව ඒ මනියොක් ද කියලා…. ගහප් තොට සීගිරි ගල උස්සලා.. තොට ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑ නේ.. කියලා දුන්න විදියට තම්බගෙන කාපිය..

අවසානවතාවට බොහොම කාරුනිකව මන් කිව්වා….
යූ නෝ.. යු කැන් කට් මනියොක්… ඇන්ඩ් ග්රේට් මනියොක්.. දෙන් ශේක් මනියොක්… ආෆ්ටර් ඕල් යූ කැන් ඊට් මනියොක්…

පස්සෙ ඕනම අල යැයි සම්මත අලයක් උයාගන්න පුළුවන් හැම මගුලම කියලා දීල ආයේ සුද්දෙක් නෙමෙයි අහක යන කපුටෙක් දිහාවත් හැරිල බලන්නෙ නැති පොරොන්දුව මත මන් හරිම සංවරකමින් සීගිරි ගල තරණය කරා. අපි මගක් යනකොට කොටසක් පහලටත් බැහල.. මොනා උනත් ළමාසාරි ඇදගෙන සීගිරි ගල නැග්ගට අපිට සුමති සම්මාන දෙන්න ඕනා… මොනා උනත් එදා අපිට සීන් එක මතක් වෙන සැරයක් ගානේ සීගිරි ගල හපාගෙන හිනා උනා.. කොහොමහරි පස්සෙ තමයි දන්නෙ මේකා මේ අපිවත් තම්බගෙන මෙච්චර වෙලා අහලා තියෙන්නේ මඥ්ඥොක්කා අලයක් ගැන කියලා..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!